*සයින්දමරුදු පිපිරීම, කටුවපිටිය පල්ලිය අසල සැකකටයුතු නිරීක්ෂණ සහ අසාද් මවුලානාගේ ප්‍රකාශ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (ජූලි 28) යළි කැඳවීමට නියමිතය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (ජූලි 27) මෙම පෙත්සම සලකා බැලූ අතර, අද දිනයේදී පෙත්සම විභාගයට ගන්නා ස්ථිර දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන්ගේ කරුණු දැක්වීම
ඊයේ පැවැති පෙත්සම් සලකා බැලීමේදී, පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු අනාවරණය කළාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට සුරේෂ් සලේ බාධා කළ ආකාරය එවකට CID නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ලබාදුන් කටඋත්තරයේ සඳහන් වන බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය, 2019 සයින්දමරුදු පිපිරීමෙන් 'සාරා ජස්මින්' මියනොගිය බවට සහ ඩී.එන්.ඒ (DNA) පරීක්ෂණ නිසියාකාරව සිදුනොවූ බවට චෝදනා කරමින් සුරේෂ් සලේ ජනාධිපතිවරයා ලවා නැවත DNA පරීක්ෂණයක් කරවා ගැනීමට කටයුතු කළ බව අවධාරණය කළාය. එම කරුණු 2026 මාර්තු 11 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ 'බී' වාර්තාවට ද ඇතුළත් කර ඇති බව සඳහන් විය.
විදේශ ගමන් බලපත්‍ර සහ තොරතුරු වසන් කිරීමේ චෝදනා
2019 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ආරක්ෂක පාඨමාලාවක් සඳහා ඉන්දියාවේ රැඳී සිටි බවත් එරටින් බැහැර නොවූ බවත් පෙත්සම්කරු ප්‍රකාශ කළද, ඔහු අධිකරණයට ඉදිරිපත් කළ විදේශ ගමන් බලපත්‍ර පිටපත්වල 2019 මැයි සහ ජූනි මාසවල ඉන්දීය ආගමන විගමන මුද්‍රා ('Departure' සහ 'Entered') සටහන්ව තිබීමෙන් ඔහු එරටින් බැහැරව සිට ඇති බව පැහැදිලි වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නාය.
එමෙන්ම පාස්කු ප්‍රහාරයට මසකට පමණ පෙර එවකට යුද හමුදාපති මහේෂ් සේනානායක ගේ දැනුම්දීම මත සුරේෂ් සලේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හමුවී ඇති බවට හේමසිරි ප්‍රනාන්දු ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බවත්, මෙම කිසිදු කරුණක් පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් නොකර වසන් කර ඇති බැවින් පිරිසිදු දෑතින් අධිකරණය හමුවට පැමිණ නොමැති බවත් ඇය අවධාරණය කළාය.
ශානි අබේසේකර කෙරෙහි පෞද්ගලික ද්වේෂයක් ඇති බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ, මෙම විමර්ශනයට අදාළ මුල් 'බී' වාර්තාව 2024 නොවැම්බර් 11 වනදා ඉදිරිපත් කරන අවස්ථාවේ ශානි අබේසේකර පොලිස් සේවයේ පවා නොසිටි අතර, හිටපු CID අධ්‍යක්ෂ මංගල දෙහිදෙනිය සහ හිමේෂා මුතුමාලී යන නිලධාරීන් යටතේ ද මෙම බරපතල විමර්ශන සිදු වූ බවයි.
කටුවපිටිය පල්ලිය අසල සැකකටයුතු චලනයන් සහ ප්‍රංශයේදී ගත් ප්‍රකාශ
හමුදා ඔත්තුකරුවෙකු වන ජූඩ් රොෂාන් ක්‍රිෂාන්ත පෙරේරා (හෙවත් පෙත්තා) CIDයට ලබාදී ඇති ප්‍රකාශයක් උපුටා දක්වමින් රජයේ නීතිඥවරිය පැවසූයේ, සුරේෂ් සලේ ගේ දැනුම්දීමකට අනුව පැමිණි වෑන් රථයක සිටි මුස්ලිම් ජාතිකයන් පිරිසක් මීගමුව මුස්ලිම් ගම්මාන නිරීක්ෂණය කරනවා වෙනුවට කටුවපිටිය පල්ලිය අසලට ගොස් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කර ඇති බවයි.
එමෙන්ම CID නිලධාරීන් ප්‍රංශයට ගොස් අසාද් මවුලානාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව පෙත්සම්කාර පාර්ශ්වය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ ඇය, 2018 අංක 24 දරන අපරාධ කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ විදේශීය පොලිස් නිලධාරීන් හා එක්ව ප්‍රකාශ සටහන් කරගැනීමට නීතිමය ඉඩකඩ පවතින බව ද අධිකරණය හමුවේ වැඩිදුරටත් තහවුරු කළාය.




