ඉල්ලුම්කරුවන් 11 දෙනාගෙන් 9 දෙනෙකුම ඉවත් කිරීමෙන් තරගකාරීත්වය නැති වී ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් චෝදනා
කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ (JCT) ස්ථාපිත කර ඇති කිලෝග්‍රෑම් ලක්‍ෂ 20කට අධික බරකින් යුත් ‘ගැනට්‍රි දොඹකර’ (Gantry Cranes) හතරක් කපා ඉවත් කිරීමට අදාළ රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් ටෙන්ඩරය ප්‍රදානය කිරීම තෙවැනි වරටත් කල්දැමීමට පියවර ගෙන තිබේ.
මෙලෙස ටෙන්ඩර් ප්‍රදානය කිරීම අඛණ්ඩව ප්‍රමාද වීමත් සමඟ අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලුකාරී සහ සැකසංකා සහිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඉල්ලුම්කාර සමාගම් සහ වරාය ක්ෂේත්‍රයේ පාර්ශ්වයන් පෙන්වා දෙයි.
ටෙන්ඩර් ක්‍රියාවලිය කල්දැමීම සහ ජනාධිපතිවරයාට පැමිණිලි
මීට පෙර මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ දින වකවානු ජූලි මස 16 වැනිදා සිට ජූලි 28 වැනිදා දක්වා කල්දමා තිබූ අතර, නවතම තීරණයට අනුව එය ලබන අගෝස්තු මස 11 වැනිදා දක්වා නැවතත් කල්දමා ඇත.
මෙම තේරීම් ක්‍රියාවලියේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සහ පක්ෂපාතී තීරණ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකරන ලෙස ඉල්ලමින් අදාළ ටෙන්ඩරයට ඉල්ලුම් කළ සමාගම් කිහිපයක් විසින් ජනාධිපතිවරයා වෙත ද පැමිණිලි යොමුකර ඇති බව වාර්තා වේ.
තරගකාරීත්වය නැතිවීම සහ පළපුරුදු සමාගම් ඉවත්කිරීමේ චෝදනාව
වරාය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ පරිපාලකයන් සහ ඉල්ලුම්කරුවන් පෙන්වා දෙන්නේ, මෙම කොන්ත්‍රාත්තුව සඳහා මුලින් නිල වශයෙන් ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කළ සමාගම් 11 අතුරින් සමාගම 09ක්ම අවසන් තේරීම් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි. අවසන් වටය සඳහා සුදුසුකම් ලබාදී ඇත්තේ සමාගම් දෙකකට (02) පමණි.
කොළඹ වරායේ මීට පෙර ගැනට්‍රි දොඹකර කපා ඉවත්කිරීමේ කොන්ත්‍රාත්තු සාර්ථකව නිමකළ ප්‍රධාන සමාගම සහ දෙවැනි පාර්ශ්වකරු ලෙස අදාළ කාර්යයන්හි නිරත වූ පළපුරුදු සමාගම් පවා මෙලෙස අවසන් ලැයිස්තුවෙන් කපාහැර ඇති බවට චෝදනා එල්ල වේ.
තරගකාරී ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා අවම කිරීම හරහා ටෙන්ඩර් පටිපාටිය තුළ පැවතිය යුතු විනිවිදභාවය සහ සාධාරණ තරගකාරීත්වය අහිමි වන බවත්, එමගින් රජයට සහ වරාය අධිකාරියට විශාල මූල්‍ය පාඩුවක් සිදුවීමේ අවදානමක් පවතින බවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ වැඩිදුරටත් අවධාරණය කරති.




