* ආරක්ෂක, ආර්ථික සහ ඉන්දු-පැසිෆික් කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරෙයි
* නියෝජ්‍ය ආරක්ෂක ඇමති, නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක ඇතුළු ඉහළ පෙළේ දේශපාලන හා හමුදා ප්‍රධානීන් හමුවෙති
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ සහ නිදහස්, විවෘත මෙන්ම සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් උදෙසා වන පොදු ප්‍රමුඛතාවන් ඉදිරියට ගෙන යාමේ අරමුණින්, එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ක්‍රිසී හූලහෑන් (Chrissy Houlahan) ගේ නායකත්වයෙන් යුත් විශේෂ කොංග්‍රස් නියෝජිත පිරිසක් (CODEL) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙති.
එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ක්‍රිසී හූලහෑන්ජූලි 27 වනදා ආරම්භ වූ මෙම සංචාරය ජූලි 30 වනදා දක්වා පැවැත්වෙන අතර, සංචාරය අතරතුර නියෝජිත පිරිස ශ්‍රී ලංකා රජයේ, හමුදාමය සහ ප්‍රාදේශීය නායකයන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඉහළ පෙළේ හමුවීම් සහ සාකච්ඡා වට
කොළඹදී පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් එක්වීමට නියමිතව තිබේ.
එක්සත් ජනපද ගුවන් හමුදාවේ හිටපු නිලධාරිනියක වන කොන්ග්‍රස් සභික ක්‍රිසී හූලහෑන්, වර්තමානයේ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුවේ (House Armed Services Committee) සාමාජිකාවක ලෙස කටයුතු කරන අතර, එහි හමුදා කාර්ය මණ්ඩල උපකමිටුවේ (Subcommittee on Military Personnel) ප්‍රධාන සාමාජිකාව (Ranking Member) ලෙස ද තනතුරු හොබවයි. ඊට අමතරව ඇය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ස්ථිර බුද්ධි අංශ තේරීම් කමිටුවේ (House Permanent Select Committee on Intelligence) සාමාජිකාවක ලෙස ද කටයුතු කරන්නීය.
ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාව කෙරෙහි අවධානය
කොන්ග්‍රස් සභික හූලහෑන් ගේ මෙම සංචාරය හරහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් කිරීම අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම, දෙරට අතර වාණිජ සබඳතා හා ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම, කලාපීය ස්ථාවරත්වය පවත්වාගෙන යාම මෙන්ම ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වැනි පොදු ප්‍රමුඛතා කෙරෙහි මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.




