අතීතයේ මෙන්ම වත්මන් තත්ත්වය හමුවේ ද ප්‍රතිපත්තිගරුක ස්ථාවරයක් ගන්නා ලෙස නීතිඥ සංගමයේ සභාපති හිටපු සාලිය පීරිස්ගෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නඩු ප්‍රමාදය අවම කිරීම අරමුණු කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා රජය විසින් පසුගියදා ලබාගත් කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය, දේශපාලන සහ සිවිල් සංවිධාන අතර දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ.
අධිකරණ සංඛ්‍යාව ඉහළ නැංවීම, පළාත් මට්ටමින් අභියාචනාධිකරණ සේවාවන් ව්‍යාප්ත කිරීම සහ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම වැනි කරුණු මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලියට ඇතුළත් වන බව රජය පවසයි. තදබදයෙන් යුත් අධිකරණ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ පළපුරුද්ද පද්ධතිය තුළ රඳවා ගැනීමට මෙය අත්‍යවශ්‍ය පියවරක් බව රජයේ පාර්ශ්වයන් පෙන්වා දෙයි.
''නවතම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක්''
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළකරමින් 'දිනන දකුණ' සාමූහිකය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් එල්ල කරමින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී උත්සාහයක් බවයි.
අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම වැනි පරිපාලනමය කරුණු ජනප්‍රිය යෝජනා ලෙස ඉදිරිපත් කරමින්, ඊට මුවාවී විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ යෝජනාව අමුණා ඇති බවත්, එමගින් වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ නිල කාලය දීර්ඝ කරගැනීමට විධායකය පාර කපාගන්නා බවත් එම සාමූහිකය චෝදනා කරයි.
එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, යම් රජයකට සිය අභිමතය පරිදි තමන්ට අවශ්‍ය පරිදි නිල කාල සීමාවන් වෙනස් කිරීමට ඉඩ සලසා දීම මගින් අධිකරණය, විධායකය මත යැපෙන තත්ත්වයක් නිර්මාණය වන බවයි. රජයේ චේතනාව සදභාවයෙන් යුක්ත වන්නේ නම් මෙම නව සංශෝධනය ඉදිරියට පත්වන විනිසුරුවරුන්ට පමණක් බලපැවැත්වෙන පරිදි සකස් කළ යුතු බවත්, දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ කරන්නේ නම් එය දේශපාලන අරමුණක් සහිත එකක් බවත් පෙන්වා දෙන 'දිනන දකුණ' සාමූහිකය, ඉදිරියේදී නීති කෙටුම්පත් සම්පාදකවරයා සකස් කරන කෙටුම්පත පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් සහ සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටියි.



මේ අතර, පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ, බලවත් පාලන තන්ත්‍රයන් වැරදි තීරණ ගත් සෑම අවස්ථාවකදීම නීතිඥ ප්‍රජාව ඊට එරෙහිව ප්‍රතිපත්තිගරුකව පෙනී සිටි බවයි.
1988 දී විජේදාස ලියනආරච්චි ඝාතනය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීම, මන්නාරම අධිකරණයට එල්ල වූ ප්‍රහාරය, 2013 දී ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය, 2022 අරගලය මෙන්ම 2023 දී විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට කැඳවීමට ගත් උත්සාහය වැනි අතීත සිදුවීම් පෙන්වා දෙන ඔහු, එදා මෙන්ම අද ද දේශපාලන මතිමතාන්තරවලින් ඔබ්බට ගොස් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නීතිඥ ප්‍රජාව එකහෙළා ප්‍රතිපත්තිගරුක ස්ථාවරයක් ගතයුතු මොහොත එළඹ ඇති බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ඉතිහාසය තුළ විධායකය සහ අධිකරණය අතර ඇති වූ මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් ජාත්‍යන්තර ප්‍රජාවේ ද අවධානයට ලක් වූ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහ ජාත්‍යන්තර නීතිඥ සංගමය (IBA) වැනි සංවිධාන ද අතීතයේදී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමේ අගය නිරන්තරයෙන් අවධාරණය කර ඇත.
නව සංශෝධන කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන නෛතික සහ දේශපාලනික සංවාදය තවදුරටත් තිවුර වනු ඇතැයි අනුමාන කෙරේ.





