සංවිධානාත්මක අපරාධකරුවන් මත පෙරහැර සංස්කෘතිය තීන්දු වීමට ඉඩ නොදිය යුතු බවට අවධාරණයක්
රජය විසින් නොයෙකුත් ආයතන වෙත මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් සමීක්ෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කරනවාට වඩා, පළාත් සභා මැතිවරණය පවත්වා රටේ ජනතාවගේ නිවැරදි ජනමතය උරගා බැලීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වීමට සූදානම්ද නැද්ද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බවත්, ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට රටේ ජනතාවගෙන් සියයට කීයක ප්‍රසාදයක් තිබේද යන්න නිවැරදිව තක්සේරු කරගැනීමට ඇති හොඳම ක්‍රමවේදය පළාත් සභා මැතිවරණය පැවැත්වීම බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුව විසින් සිදුකරනු ලබන සමීක්ෂණ වාර්තාවලම රටේ ජනතාවගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ජීවන වියදම් සහ ආහාර හිඟකම හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටින බව සඳහන් වන බවද පැවසීය.
නීතිඥ සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය ඇතුළු නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ සහ පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ මෙන්ම සමස්ත ජනතාවගේ මතයට විරුද්ධව යමින් ආණ්ඩුවේ තනි කැමැත්තට ව්‍යවස්ථා සංශෝධන ගෙනැවිත් බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන්නේ නම් එය අසාර්ථක වන බවද නාමල් රාජපක්ෂ සඳහන් කළේය. අතීතයේ මෙලෙස ජනමතයට පිටුපා කටයුතු කළ ආණ්ඩුවලට අත්වූ ඉරණම පිළිබඳව වත්මන් පාලකයන් අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
රටේ ජාතික ආරක්ෂාව සහ සංස්කෘතික උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, අතීතයේ කතරගම පෙරහැරට සහ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවල පවා එවකට පැවති ආණ්ඩුවල මැදිහත්වීමෙන් ආරක්ෂාව තහවුරු කරමින් පෙරහැර මංගල්‍යයන් පවත්වන ලද බව මතක් කර දුන්නේය. සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයවීම් මත ආගමික සහ සංස්කෘතික පෙරහැරවල පැවැත්ම තීරණය වන්නේ නම් ආණ්ඩුවක පැවැත්ම පිළිබඳව ප්‍රශ්න මතුවන බවත්, කාවඩි සහ නර්තන ශිල්පීන්, අලි ඇතුන්, නිලමේවරුන් මෙන්ම වන්දනාකරුවන්ගේද ආරක්ෂාව තහවුරු කිරීමේ පූර්ණ වගකීම රජය සතු වන බවත් ඔහු අවධාරණය කළේය.
ඉදිරි දේශපාලන සන්ධානගතවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, තම පක්ෂය දේශපාලන සාකච්ඡා කිසිවක් රහසිගතව සිදු නොකරන බවත්, විපක්ෂය ඇතුළු ඕනෑම පාර්ශවයක් සමඟ සාකච්ඡා කරන්නේ නම් එය විනිවිදභාවයෙන් යුතුව එළිපිට සිදුකරන බවත්ය. පුද්ගලික අවශ්‍යතා මත නොව රටේ සහ ජනතාවගේ අවශ්‍යතාව මත පක්ෂයේ මතවාදයට එකඟ වන ඕනෑම කණ්ඩායමක් සමඟ ඉදිරියේදී සන්ධානගත වීමට සූදානම් බවද, පක්ෂයෙන් ඈත්වූ බලවේග නැවත එකතු කරගනිමින් ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනැගීම තම මූලික වගකීම බවද ඔහු වැඩිදුරටත් පැවසීය.




