විනිශ්චයකාරවරුන්ගේ හා නීතිඥ වෘත්තියේ ගෞරවය සුරැකීමට ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගේ මැදිහත්වීම සහ නීතිමය පියවර ඉල්ලයි
අධිකරණයේ ස්වාධීනත්වය, ස්වාධීන නීතිඥ වෘත්තිය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිමින්, පසුගිය දිනවල දිවයිනේ අධිකරණ ක්ෂේත්‍රයට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නිලධාරීන්ට එල්ල වූ අසත්‍ය හා මඩ පදනම් කරගත් චෝදනා හෙළා දකිමින් කොළඹ නීති සංගමය (Colombo Law Society) විසින් විශේෂ යෝජනාවලියක් සම්මත කරගෙන තිබේ.
පසුගිය ජූලි 28 වැනිදා පැවැති කොළඹ නීති සංගමයේ කාරක සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ මෙම යෝජනාවලිය මගින්, අධිකරණ පද්ධතියේ ගෞරවය හා අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම සඳහා වහා පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඇතුළු අදාළ රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
මෙම පියවරට ආසන්නතම හේතුව වී ඇත්තේ, ජූලි 23 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් කරන ලද ප්‍රකාශයක් සහ ඊට සමගාමීව යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන්හි දියත් වූ ප්‍රචාරයන්ය. නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය භාරගැනීමට එකඟ වූ බවට අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබිණි.
කෙසේ වෙතත්, අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජූලි 24 වැනිදා නිල නිවේදනයක් නිකුත් කරමින් එම චෝදනා සෘජුවම ප්‍රතික්ෂේප කළේය. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම මගින් මහජනතාව නොමග යැවීමට දරන උත්සාහය දැඩි ලෙස හෙළා දුන් නීතිඥ සංගමය, අදාළ අභූත චෝදනාව පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් තොරව පිටතදී ප්‍රකාශ කරන ලෙසද අදාළ මන්ත්‍රීවරයාට අභියෝග කර සිටියේය.
මෙම තත්ත්වය හමුවේ කොළඹ නීති සංගමය පෙන්වා දෙන්නේ, යූටියුබ් නාලිකා, සමාජ මාධ්‍ය සහ ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා සේවයේ නියුතු විනිශ්චයකාරවරුන්ට මෙන්ම නීතිඥ සංගමයේ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වන අපහාසාත්මක හා අසත්‍ය ප්‍රචාරයන් මගින් මහජනතාව තුළ අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටීමේ දැඩි අවදානමක් පවතින බවයි.
කොළඹ නීති සංගමයේ කාරක සභාව විසින් සම්මත කරන ලද යෝජනාවලියට අනුව පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.
මඩ ප්‍රචාර සම්බන්ධයෙන් දැඩි කණගාටුව:
විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ විනිසුරුවරුන් සහ නීතිඥ සංගමයේ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන ද්වේෂසහගත හා පදනම් විරහිත චෝදනා ව්‍යාපාරයන් පිළිබඳව දැඩි කණගාටුව පළ කිරීම.
අධිකරණ ස්වාධීනත්වය සුරැකීම:
අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ගෞරවය සුරැකීම වෙනුවෙන් නොසෙල්වෙන කැපවීම යළි අවධාරණය කිරීම.
ගරු බුහුමනින් යුත් ප්‍රකාශනයේ සීමා:
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක භාෂණයේ නිදහස සහ සාධාරණ විවේචනය පිළිගන්නා අතරම, විනිසුරුවරුන් අපහසුතාවයට පත් කිරීම හෝ අගතියට පත් කිරීම සඳහා කෙරෙන සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාර සාධාරණීකරණය කළ නොහැකි බව පෙන්වා දීම.
වගකීම්සහගත හැසිරීම:
නීතිඥ වෘත්තිකයන්, මාධ්‍ය ආයතන, සිවිල් සංවිධාන සහ මහජනතාවගෙන් අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වයට හානි නොවන පරිදි වගකීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටීම.
නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව:
අපරාධමය වරදක්, අපහාසයක් හෝ තර්ජනයක් සිදුවන අයුරින් කෙරෙන ප්‍රකාශන සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නීතියට අනුකූලව වහාම ක්‍රියාත්මක වන ලෙස අදාළ නීති බලාත්මක කිරීමේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම.
රාජ්‍ය නායකයා දැනුවත් කිරීම:
අධිකරණයේ ගෞරවය සහ ස්වාධීනත්වය සුරැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම කාරණය ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් වෙත නිල වශයෙන් දැනුම් දීමට තීරණය කිරීම.
BASL විශේෂ මහ සභාවේදී සාකච්ඡා කිරීම:
ජූලි 29 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ සාධාරණ මහා සභා රැස්වීමේදී (Special General Meeting) මෙම පදනම් විරහිත ප්‍රහාරයන් පිළිබඳව අවධානය යොමු කර සභාගත කරන ලෙස නීතිඥ සංගමයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටීම.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත පාලනය තහවුරු කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, කොළඹ නීති සංගමය සෑම විටම අධිකරණයේ ආරක්ෂාව සහ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.





