* ඩෙංගු මර්දනය උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමෙරිකානු නියෝජිත පිරිස අතර විශේෂ සහයෝගීතාවක්
ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,011 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එමෙන්ම ඩෙංගු ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දිවයින පුරා අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන තිබේ.
ලබාදී ඇති දත්තයන්ට අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 43,388 කි. දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,395ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,294ක් වාර්තා වී ඇත. දෙවනුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන දකුණු පළාතෙන් රෝගීන් 12,419ක් සටහන් වේ.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සහාය
මේ අතර, මෙරට ඩෙංගු මර්දන වැඩසටහන් ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව විශේෂ මහජන සෞඛ්‍ය පළිබෝධ පාලන සහ වාහකයන් මගින් බෝවන රෝග මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඇමෙරිකානු පැසිෆික් හමුදා නියෝජිතයන් (USARPAC) සහ 18 වන තියටර් වෛද්‍ය බලකායේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා රෝග නිරීක්ෂණය, කීට විද්‍යාත්මක පරීක්ෂණ සහ වාහකයන් පාලනය කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට නියමිතය.
ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විදේශීය මානුෂීය, ආපදා සහ සිවිල් සහායක (OHDACA) වැඩසටහන යටතේ අරමුදල් සපයන මෙම ව්‍යාපෘතිය, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ පෙර දැනුම්දීම් පදනම් කරගත් වැළැක්වීමේ ක්‍රමවේද නංවාලීම වෙනුවෙන් යොදවනු ලබයි.




