නෛතික ක්ෂේත්‍රය වෙනස් කරන 'Cognitive Outsourcing' හරහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට ගෝලීය දොරටු විවර වෙයි.
ඕස්ට්‍රේලියාව පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ නෛතික තාක්ෂණික (Legal Technology) සමාගමක් වන 3Rive Technologies, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Anthropic හි 'Claude Partner Network' සන්ධානයේ නිල පාර්ශ්වකරුවකු ලෙස මෑතකදී එක්වී තිබේ. මෙම සන්ධානය සඳහා ලොව පුරා තෝරාගත් විශිෂ්ටතම ආයතන කිහිපයක් පමණක් ඇතුළත් කරගන්නා අතර, මෙම පියවරත් සමග කොළඹ පිහිටි 3Rive Technologies හි ඉංජිනේරු සහ AI සංවර්ධන මධ්‍යස්ථානය කෙරෙහි ජාත්‍යන්තර තාක්ෂණික ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව ඇත.
ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සඳහා පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යන වටපිටාවක, ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත තාක්ෂණික ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය සහ නම්‍යශීලී බව මෙම ජාත්‍යන්තර එකඟතාව මගින් යළිත් තහවුරු කෙරේ. කොළඹ පිහිටි ඉංජිනේරු මධ්‍යස්ථානය හරහා 3Rive Technologies සමාගම දැනටමත් ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කලාපවල නීතිඥ සමාගම් හා ආයතන සඳහා සේවාවන් සපයන අතර, ඉදිරියේදී එක්සත් රාජධානිය තුළ සිය මෙහෙයුම් ජාලය තවදුරටත් පුළුල් කිරීමට ද කටයුතු යොදමින් සිටියි.
නෛතික තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළන 'Cognitive Outsourcing'
3Rive Technologies හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චක් සිල්වා (Chuck Silva) පෙන්වා දෙන්නේ සම්ප්‍රදායික මෘදුකාංග ආකෘති වෙනුවට ආරම්භයේ සිටම AI තාක්ෂණය මුල් කරගත් නව පරම්පරාවේ සේවාවන් නිර්මාණය කිරීම සමාගමේ ප්‍රධාන අරමුණ වූ බවයි. පවතින සාම්ප්‍රදායික පද්ධතිවලට AI එකතු කරනවාට වඩා, AI පදනම් කරගෙන සමස්ත කාර්යපරිපාටියම අලුතින් සැලසුම් කරන ආයතනවලට ඉදිරි දශකය තුළ නෛතික ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට හැකියාව ලැබෙන බව ඔහු සඳහන් කරයි.
මෙහිදී සමාගම විසින් හඳුන්වා දී ඇති 'Cognitive Outsourcing' නම් සේවා ආකෘතිය ජාත්‍යන්තරව අවධානයට ලක්වූවකි. මෙම ක්‍රමවේදය යටතේ සේවාදායක ආයතනයක පරිපාලන සහ මෙහෙයුම් කටයුතු සමාගම භාර ගන්නා අතරතුර, වසර කිහිපයක කොන්ත්‍රාත් කාල සීමාව තුළ AI තාක්ෂණය ඔස්සේ එම කාර්යයන් පූර්ණ ලෙස නවීකරණය කරනු ලැබේ. එහිදී නිර්මාණය වන AI තාක්ෂණික පද්ධතිවල පූර්ණ අයිතිය සේවාදායක සමාගම වෙතම පවරාදීම (AI Handback) විශේෂත්වයකි.
එමෙන්ම, තමන් අලෙවි කරන තාක්ෂණික විසඳුම් අභ්‍යන්තරව ද ප්‍රායෝගිකව භාවිත කිරීමේ ප්‍රතිපත්තියක් 3Rive Technologies අනුගමනය කරයි. ඒ අනුව Anthropic හි Claude AI තාක්ෂණය සමාගමේ ඉංජිනේරු, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අලෙවිකරණ සහ පරිපාලන යන සියලු අංශ සඳහා සක්‍රියව යොදා ගැනේ.
කොළඹ කේන්ද්‍ර කරගනිමින් ගෝලීය AI පරිසර පද්ධතියක් ගොඩනැගීමේ සැලසුම්
මෙම වාණිජමය වර්ධනයට අමතරව, ශ්‍රී ලාංකික තාක්ෂණික ප්‍රජාව සබල ගැන්වීම සඳහා ද විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සමාගම සැලසුම් කර ඇත. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් තාක්ෂණික වැඩමුළු, ප්‍රායෝගික ප්‍රදර්ශන සහ ජාලකරණ හමුවීම් සංවිධානය කිරීමට නියමිතය. දේශීය මෘදුකාංග ඉංජිනේරුවන්ට AI යෙදවුම් ගොඩනැගීම පිළිබඳ සෘජු ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම මෙහි මූලික අරමුණ වී තිබේ.
මීට අමතරව, Anthropic සමාගමේ 'Claude Community Ambassadors' වැඩසටහන සමග ද එක්වෙමින් local tech community තුළ AI අධ්‍යාපනය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට 3Rive සූදානම් වේ.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ AI ඉංජිනේරුවන් බිහිකරන ප්‍රධාන මධ්‍යස්ථානයක් වීමේ ඉහළ හැකියාවක් පවතින බව පෙන්වා දෙන චක් සිල්වා, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම ඉගෙන ගැනීමට දේශීය සංවර්ධකයන්ට අවස්ථාව සැලසීම මගින් නවෝත්පාදනයන් වේගවත් කළ හැකි බව අවධාරණය කරයි.
ගෝලීය වශයෙන් රටවල් රැසක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණික හැකියාවන් සංවර්ධනය කරගැනීමට උත්සාහ කරන මොහොතක, මෙවැනි ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් හරහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට ගෝලීය මට්ටමේ ව්‍යාපෘති සඳහා දායක වීමට මෙන්ම රටේ තාක්ෂණික ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය තවදුරටත් ඉහළ නැංවීමට ද මංපෙත් විවර වේ.
(සටහන | සම්පත් ධීරසේකර)
Australian AI Partnership Puts Sri Lanka’s Tech Talent in Spotlight




