දින 23ක් ගතවීත් අතුරුදහන්වූ රැඳවියන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු ලබා නොදීම හමුවේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳ පනත යටතේ පියවර
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මාරාන්තික ගැටුම්කාරී සිදුවීමෙන් අනතුරුව, අධිකරණය මගින් ඇප නියම වූ රැඳවියන් පිරිසක් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටව යාමට නොදී නීතිවිරෝධී ලෙස රඳවාගැනීම සහ අතුරුදහන් වූ රැඳවියන් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදීමට එරෙහිව බන්ධනාගාරගතවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවේ සිටි රැඳවියන් තිදෙනෙකු පිළිබඳව සිද්ධිය සිදුවී දින 23ක් ගතවන තෙක් කිසිදු තොරතුරක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම හමුවේ, CPRP සංවිධානය විසින් 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ මෙම පැමිණිල්ල ගොනුකර ඇත.
ඇප ලත් රැඳවියන් නීතිවිරෝධී ලෙස රඳවාගැනීමේ චෝදනාව
බන්ධනාගාරගතවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දෙන්නේ, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සුළු වරදවල් සඳහා ඇප නියම කරන ලද රැඳවියන් කිහිපදෙනෙකුම බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටව යාමට ඉඩ නොදී නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින බවට අදාළ පවුල්වල ඥාතීන්ගෙන් තොරතුරු වාර්තා වන බවයි.
අලුතින් නිකුත් වූ අධිකරණ නියෝගයකින් තොරව, මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී ගැටුම සම්බන්ධයෙන් සාක්ෂි මර්දනය කිරීමට හෝ ප්‍රකාශ ලබාගැනීමට මෙලෙස ඇප ලත් පුද්ගලයන් රඳවා තබා ගැනීම බරපතළ නීති උල්ලංඝනයක් බවත්, අවම වශයෙන් මෙලෙස රැඳවියන් 15 දෙනෙකු පමණ නීතිවිරෝධී ලෙස තවමත් බන්ධනාගාරය තුළ සිරවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.
අතුරුදහන් වූ රැඳවියන් සහ OMP පැමිණිල්ල
එමෙන්ම බන්ධනාගාර ගැටුමෙන් පසු අත්අඩංගුවේ පසුවූ රැඳවියන් තිදෙනෙකු පිළිබඳව අදාළ ඥාතීන්ට කිසිදු තොරතුරක් ලබාදී නොමැති බව පවසන CPRP සංවිධානය, ඔවුන් දැනට සිටින ස්ථානය, ඔවුන් මුණගැසී සාකච්ඡා කිරීමට ඇති ඉඩකඩ, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විස්තර සහ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙසත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් (OMP) ඉල්ලා සිටී.
මෙම අත්තනෝමතික රඳවාගැනීම් සහ තොරතුරු වසන් කිරීම් සම්බන්ධයෙන් වහාම අධිකරණමය හා මානව හිමිකම් මැදිහත්වීමක් අවශ්‍ය බව ද CPRP සංවිධානය අවධාරණය කරයි.












