Paul Verlaine and Arthur Rimbaud, by Henri Fantin-Latour, 1872
ෆ්‍රන්සක්කාර මහා කවීන් දෙදෙනකු වන පොල් වෙර්ලෙන් සහ ආචූ රම්බෝ අතර ඇතිවුණු උන්මානදනීය මහා ආදරයේ ආදර සමය, ෆ්‍රන්ස කාව්‍ය නූතනත්වයේ ම ප්‍රකාශනයක් බව මම ඔබට කියමි සංඛේතවාදී නූතන ෆ්‍රන්ස කවියේ බලකණුවක්ව සිටි පොල් වැර්ලෙන්ට රම්බෝ අබිමුඛ වූයේ ඔහුගේ විශ්මිත කවියෙනි. ගැටවර වියේ සිට රම්බෝ වෙරලෙන්ට ලියුං කරදහි ලියා තැපෑලට දැම්මේ ය. ඒ් අතරතුර කවි බහා තැබුවේ ය. මේ තරං නව යෞව්වනයෙක්ට මේ තරං බරපතළ ලෙස සංඛේතකර කාව්‍යමය ආඛ්‍යනයන් අතර එකෙලෙ මෙකෙල වන්නට පුළුවන් වන්නේ කොහොමද? ඇත්තෙන්ම වෙරලෙන්ගේ හදවත පවා සසල වන්නට විය. රම්බෝ නම් ඉස්කෝල කොලුවා පැරීසියට එන්නේ වෙර්ලෙන්ගේ ඇරියුමිනි.
1995 නිනිර්මාණකරණ කෙරුණු Total Eclips සිනමාපටයේ රම්බෝ ලෙස ලියනාඩෝ ඩිකැප්‍රියෝ. පොල් වැර්ලෙන් ලෙස ඩේවිඩ් තව්ලිස්.
ෂල බෝද්ලෙයා පසුකලෙක ලියූ ‘මත්වීම’ නම් කවියේ වරනැඟෙන සේ ඔවුන් දෙදෙනා කවියෙන් මත්ව සිටියේ ය යන්න තහවුරු වන, මෙකී ආදර අන්දරයේ භෞතිකව හෙළිදරව් ව ඇති කරුණුමය සංසිද්ධි හැරුණු කල දෙදෙනාගේ ආත්මය හරහා පැන නැඟි කාව්‍යමය අතිරික්තය සමිපව නිරක්ෂණය කිරීමෙන් අවබෝධයට පත්වන්නට පිළිවන් ය.
ශාපලත් කවියන් පමණක් නොව ශාපලත් පෙමවතුන් ලෙසද මේ මහා කවීන් දෙදෙනා හංවඩු ගසන්නට ෆ්‍රන්ස සංස්කෘතික සමාජය පසුබට වූයේ නැත. කොටින්ම දෙදෙනාට පැරිසියේ වසන්නට පවා බැරි විය. ස්වයං පිටුවහල තෝරා නොගත්තේ නම් කුමකින් කුමක් වන්නට සිදුවේදැයි සාක්ෂි දරන්නට සිදුවන්නේ ඉතිහාසයට ම ය. නමුත් දෙදෙනා ඊට ඉඩ නොතබා 1872 සැප්තැම්බරයේ ‘වික්ටෝරියානු’ ලන්ඩනයට පිටුවහල් වූවාහු ය. ඒ් වන විට රම්බෝ දහහත් හැවිරිදි කොලුවෙකි. වැර්ලෙන් රම්බෝට වඩා වසර දශකයකින් පමණ වැඩිමහලු විය. ප්‍රශ්නය වී තිබුණේ රම්බෝ යෞවනයකු වීම යැයි බැලුබැල්මට පෙනුණද, සැබෑව ඒය නොවේ. වැරලෙන් ඒ් වන විටත් විවාහක එක් දරු පියෙකු වීම ය. මැතිල්ද් මවුතේ නම් වූ වැර්ලෙන් බිරින්දෑට අත්පත් වූ ඉරණම දුටු ඇයගේ සොහොයුරා රම්බෝට කීවේ ‘දරුණු, නීච, පිළිකුල් සහගත ඇට්ටර ඉස්කෝල කොල්ලා’ කියා ය.

වසර දෙකකට ආසන්න ඉතා කෙටි කලක් පුරා භෞතිකව පැවති කවියන් දෙදෙනාගේ ආදර අන්දරයේ, පදාසයක් දරා ගත් කාල් මාක්ස්ගේ දේශපාලන පංති පවා ගිය ලන්ඩන් ජීවිතය විශාල මතක ප්‍රමාණයක් ලන්ඩන් සාහිත්‍ය ප්‍රේමීන්ට මතක කන්දරාවක් ශේෂ කළ ඉතිහාස සංසිද්ධියකි. ඉත්බිති කවීන් දෙදෙනාට තිබුණේ කෙටිකලීන බෙල්ජියම් දිවියකි.
කාව්‍ය ඉතිහාසයට අතිශය වැදගත් නිර්මාණාවලියක් උත්පාද කරලන්නට හැකිවුව ද, එය සැබැවින්ම කල කෝලහල ගහණ කාව්‍ය පෙම් පළහිලව්වකි. දෙදෙනාගේ මත් දියරපේමී - මත් ධූමකාමී විකාරරූපී ප්‍රේම සෙයියාවන් එකල පැවති සාහිත්‍යය කවයන්හි පවා ගර්හාව පාත්‍රවන්නට විය. මෙම මරු විකාර ප්‍රේමය අවසන් වූයේ වෙර්ලෙන්ගෙන් පිස්තෝල උණඩ දෙකක් තරුණ සහකරු වෙත ඒල්ල වීමෙනි. ඉන් එකක් රම්බෝගේ මැණික් කටුව පසාරු කළ අතර අනෙක වාසනාවට මෙන් මඟ හැරුණි. ආදරය ඇණ හිටීමටත් වෙර්ලෙන්ට සිරබත් කෑමට ඒ් උණ්ඩ දෙක ප්‍රමාණවත් විය.

වෙඩිකෑමෙන් ඉක්බිති ‘අපාගත ඉර්තුවක්’ යන අරුත් දෙන ‘උන් සෙයිසොං ඔන් ඔන්ෆේ (Une saison en enfer) බඳු කාව්‍යාවලි සම්ප්‍රදානයක් කළ අතිශය තරුණ රම්බෝ වසර පහක් බඳු අතිශය සජීවී, අතිශය සකර්මණ්‍ය කෙටිකාලීන කාව්‍යමය ජීවිතය අවසන් කර දැමුවේ ය. ආදරය බිඳ වැටීම ඔහුගේ අභිනික්මනට හේතු වූයේ යැයි කියන්නට බැරි කමක් නැත. ඉක්බිති උදා වූයේ පසුව ප්‍රකට වූ, ස්වයං පිටුවහලක් බඳු රම්බෝගේ අප්‍රකට අප්‍රිකානු දිවැ සැරියයි.
රම්බෝගේ ස්වයං පිටුවහල් සමයේ දී ඔහු කෙමෙන් සිය රටතුළ ප්‍රකට කවියකු බවට පත් වෙමින් උන්නේ ය. සන්නිවේදනය මෙතරම් දියුණු නොවුණු සමයක් වූ බැවින් ඇතැම් විට ඔහු එය නොදැන සිටියා වන්නට ද පිළිවන. පොල් වැර්ලෙන් විසින් සමකාලීන කවියන් පිළිබඳව ලියැවුණු රචනා සංගෘහිත ‘ලෙ පොයෙත් මොදි’ (Les Poètes maudits) එක වෙලුමක ඔහු සිය ප්‍රේම හිතෛෂියා වූ රම්බෝ ගැන රචනාවක් ඇතුළත් කළ අතර රම්බෝගේ කාව්‍ය නිර්මාණ කිහියක්ද ඊට එකතු කළේ ය. රම්බෝ විසින් ලියැවුණු බොහෝ කවි ඇතැම් විට සියල්ලම පාහේ වැර්ලේන් සන්තකයේ තිබිණ. තමන්ට වධ දුන් කරදරකාරී වල්ලභයකු වූ තරුණ කවියා සදහටම අතුරුදහන් කිරීමට වැර්ලෙන්ට ඉතා පහසුවෙන් කළ හැකිව තිබූ දෙයකි. නමුත් රම්බෝ නම් ආශ්චර්යමත් කවියා ඉතිහාසය තුළ ඔහුට හිමි ස්ථානය අත්පත් විය යුතු බව විශ්වාස කළ සංඛේතවාදී වැර්ලෙන් රම්බෝගේ ගද්‍ය කාව්‍යාවලිය ‘ඉලුමිනස්ස්‍යෙං’ (Illuminations) මැයෙන් සංගෘහිත කරන ලද අතර පද්‍ය කාව්‍ය විටින් විට එකල ප්‍රකාශයට පත් වූ සංඛේතවාදී කවියට ආලෝකයක් වූ ‘ල වොග්’ ( La Vogue) වාර සඟරාව හරහා ෆ්‍රන්ස සහෘද සමාජයට මුදා හරින ලදි. වාර සඟරාවේ සඳහන් වන පරිදි රම්බෝ යනු ජීවිතයෙන් නික්ම ගිය කවියකි. එහෙත් අවසානයේ රම්බෝට තමන්ගේ කවි ප්‍රචලිත වෙමින් පවතින බව දැනගන්නට ලැබිණ. ඒ තමන්ගේ පාසල් මිත්‍රයෙකු වූ පොල් බූර්ද් (Paul Bourde) එවු ලියමනකිනි. මිත්‍රයා සඳහන් කළේ රම්බෝගේ නම පෙරටුගාමී කවින් අතර බුහුමන් ලබමින් පවත්නා බවකි. මේ අතර රම්බෝ ඉතියෝපියාව තුළ සැළකිය යුතු තරමේ ධනයක් රැස්කරගෙන සිටි නමුත් 1981දී දණහිසේ හටගත් තඩිස්සිවීමක් මත යළි ෆ්‍රන්සය බලා එන්නට සිදුවිය. ඒ ගමන අවසන් වූයේ මාසේයි හි (Marseille) කෙරුණු සැත්කමකින් දකුණු කකුළ කපා ඉවත් කරලූ වේදනාව සමඟිනි. නමුත් වේදනාව යටපත් නොවුණු අතර අවසන් රෝග විනිශ්චය වූයේ රම්බෝට ඇත්තේ පිළිකාවක් බව යි. එ් සොයාගැනීම 37 හැවිරිදි වියේ සිටි රම්බෝ නම් අපූර්ව වූත් අසාමාන්‍ය වූත් සදාතනික ගැටවර කවියාගේ වීර චාරිකාවේ අවසානය බවට පත් විය.
අනවධානී ඔලමොට්ටලකම් හා ලෝකාපවාද මෙන් ම, අහේතුකව කාව්‍යකරණයෙන් බිදී යෑම ඔස්සේ සිදුකළ තෘෂ්ණාධික ධන ලුහුබැඳීම් ඇතුළු ගර්හිත පාදඩ ජිවිතයක් ගෙවා දැමී යයි කීවද, මේ කවර පසුබිමක් යටතේ වුව රම්බෝ සතුවූ ඩයිනෝසියානු ජව සම්පත්තිය නිසා ඔහු කෙරෙන් මතුව ආ නිර්මාණ නූතවාදී ෆ්‍රන්ස කාව්‍යයේ පූරෝගාමී පීතෘවරයකුගේ තත්වයකට ඔහු ඔසවා තබා ඇත.
ඔහුට කාව්‍ය ඉතිහාසය තුළ ලබා දී ඇති තැන සැබැවින්ම ඔහුගේ කාව්‍ය භාවිතය නිවැරදිව තක්සේරු කිරීම මත පදනම්ව සිදුවී ඇත්තක්ද නො එසේ නම් ඔහුගේ විස්මකුරු ජීවන චර්යාව මත විමෝහනය විමක් ද යන්න තවමත් නො නිමි අඛන්ඩ සංවාදයකි. ඒ් කුමක් වුව රම්බෝ සඟවා නොදමා කරලියට ගන්නා ලද්දේ ඔහුගේ කවියටත්, ඔහුටත් ඇත්තමට ආදරයෙන් බැඳුණු මහා අධ්‍යාත්මයක් සහිත පොල් වැර්ලෙන් මහා කවියා බව ලියා තැබීම යුක්ති සහගත ය. මේ මහා කවීන් දෙදෙනාගේ කාව්‍යන්දරය පාදක කර ගත් කලාත්මක නිර්මාණ රාශියක් බිහිවී ඇත. ඉඩ ලද විටෙක ඒ්වාට අත තබමි.
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )
සබැඳි ලිපි:
ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ ; ආතුරසහගත ප්‍රේමය දක්වා ජීවිතය | මංජුල වෙඩිවර්ධන
ෆ්‍රන්සක්කාරයෝ : සෝබර ය, වෙනසකුදු නැත දවස රැය සදිසිමය | මංජුල වෙඩිවර්ධන
ෆ්‍රන්සක්කාරයෝ : ඔන්ද්‍රෙ ෂෙනියේ පුරාවත | මංජුල වෙඩිවර්ධන








