රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත

මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (ජූලි 5 වැනිදා ) නියෝග කළේය.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් නියෝගය නිකුත් කරනු ලැබීය.

ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අප්‍රේල් මස කොළඹ පැවති "මෝඩාභිමානය" නැමැති වැඩ සටහනකදී සැකකාරිය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාස කළේ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගත් ඇය මේ වනවිට එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව සඳහන් කළේය.

ඇය ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් බවත් ඇය විසින් කළ ප්‍රකාශය තුළින් බුදු දහමට හෝ බුද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

කෙසේ වෙතත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටින බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.



"ස්වාමීනී.. මෙම තැනැත්තිය "මෝඩාභිමානය" වැඩ සටහන් තුනක් පවත්වා තිබෙනවා. තුන්වෙනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු දහමට නිග්‍රහ කිරීමටයි. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උගත් තැනැත්තියක්. ඇය 2017 වසරේ සිට විශාදය නමැති රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බවටත් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයෙන් පෙළෙන බවටත් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම කොයිතරම් භයානක ද කියලා එකෙන් පේනවා. ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්තයි. අසභ්‍ය හා අශ්ලීල බව සරල කරමින් සමාජගත කිරීම තමයි ඇය සිදු කර තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේ වගේ වීඩියෝ පට යූ ටියුබ් නාලිකාවට උඩුගත කරලා ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14 ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා"යනුවෙන් සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණයට කිසියම් ලේඛණයක් ද ඉදිරිපත් කළේය.




යූටියුබ් වීඩියෝ වලින් අදායම් ඉපයීම නීතිවීරෝධී යැයි නීතියක් තිබේද?

ලේඛනය පරික්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා" ඕනම පුද්ගලයෙකුට යූටියුබ් නාලිකාවට වීඩියෝ උඩුගත කරන්න පුළුවන්. ඒ තුළින් උපයාගන්නා ආදායම නීතිවිරෝධී කියලා කොහේ හරි නීතියක් තිබෙනවද? " යනුවෙන් විනිසුරුවරයා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ එසේ මුදල් උපයා ගැනීම නීති විරෝධී නොවන බවය.



මෙම පුද්ගලයින් ද්වේශ සහගත තොරතුරු ඇතුළත් වීඩියෝ යූ ටියුබ් නාලිකාව මුදා හැර මුදල් උපයා ගන්නා බව සඳහන් කිරීම සඳහා තමා මෙම ලේඛනය ඉදිරිපත් කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.


‘ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද?’



මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ඇමතූ විනිසුරුවරයා " මේ තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. නමුත් යම්කිසි දෙයක් ඉදිරිපත් කළ පමණින් ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? යම් යම් ප්‍රකාශ වලින් විවිධ පුද්ගලයින්ගේ හා ජන කණ්ඩායම් වල සිත් රිදීම් හා සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලක්ම වෛරී ප්‍රකාශ යන්නට ඇතුලත් කරන්න බැහැ. " යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා බුදුරජාණන් වහන්සේ පවා තමා යමක් කී පමණින් එය විශ්වාස නොකරන ලෙසත් හොඳින් සොයා බලා යමක් විශ්වාස කරන ලෙසත් දේශනාකර ඇති බවත් සඳහන් කර සිටියේය.



අනතුරුව විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ "එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා විසින්. එසේ ඉදිරිපත් කරමින් එම පනත් කෙටුම්පතේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් කිරීම සඳහා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත තුළ අන්තර්ගත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් වශයෙන් පිළිගෙන නොමැති අයිතිවාසිකම් මෙරට තුළ තහවුරු කිරීම සඳහා තමයි අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකය සම්මත කළේ.



ඉතින් ඒ පනත් කෙටුම්පතේ 3 (1) වගන්තියේ සඳහන් වෙනවා "වෛරී ප්‍රකාශ" පිළිබඳව. මේ වෛරය ප්‍රකාශය මොනවාද? යන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ වෛරී ප්‍රකාශ පිළිබඳ වැඩ සටහනේ සඳහන් වෙනවා. එක්සත් ජාතීන්ගේ නිර්ණායකයට අනුව වෛරී ප්‍රකාශ වර්ග තුනක් තිබෙනවා. සමූල ඝාතන පිළිබඳ වෛරී ප්‍රකාශ, මධ්‍යම මට්ටමේ වෛරය ප්‍රකාශ සහ හුදු නඩු පැවරීම් වලට හේතු වන වෛරී ප්‍රකාශ.

ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ සඳහන් "වෛරී ප්‍රකාශ" යන්න අර්ථකථනය කිරීමට සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ නිර්ණායක සමඟයි.

එසේ නොකොට භික්ෂූන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් "වෛරී ප්‍රකාශ" යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය මතුවෙනවා.

මොකද මෙරටට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත හඳුන්වා දීමේදී ව්‍යවස්ථාදායකයේ අරමුණ වුණේ මෙරට මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම. ඊට පටහැනිව මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කළහොත් ව්‍යවස්ථාදායකයේ අරමුණු බිඳ වැටෙන්න පුළුවන්" යනුවෙන් විනිසුරුවරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය.



එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව දැනටමත් තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක් සිටින රටක් බවය.

මෙවැනි ප්‍රකාශ හරහා ආගමික යුද්ධයක්ද මතු වීමට ඉඩකඩ පවතින නිසා බැලූ බැල්මටම වරදක් අනාවරණය වන හෙයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණ ආයතන වලට සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.

කෙසේවෙතත් සැකකාරියක් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පශ්චාත්තාපයට පත්ව සමාව අයදින බව ප්‍රකාශ කරන නිසා ඇයට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.

ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවන හෙයින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියේය.

( උපුටා ගැනීම් -BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

 
 

නතාෂා වෙනුවෙන් විහාරස්ථාන අසල 'කාලාම සූත්‍රය' බෙදයි


මුතුරාජා හා සාංඝික රට - (තිසරණී ගුණසේකර)

නතාෂා : මාධ්‍ය හමුවෙන් අධිකරණයට අපහාසවීදැයි සොයන නියෝගය බලරහිත කරන්නැයි පෙත්සමක්

වර්තමානයේ බුදු හාමුදුරුවො ලංකාවෙ පහළ වුනා නම් ඇප නැතුව රිමාන්ඩ් -(කලුබෝවිල ආනන්ද හිමි)

නතාෂා නිදහස් කර චෝදනා ඉවත් කරගන්න - CIVICUS, ගෝලීය සිවිල් සමාජ සන්ධානය

අපිටත් වඩා රනිල් ගැන විශ්වාසෙන් ඉදලා තියෙන්නෙ ජවිපෙ සහ ජනරජ පාක්ෂිකයන්- (චින්තන ධර්මදාස)

නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි - (චින්තන ධර්මදාස)

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! - කොළඹ ක්‍රියාකාරී කමිටු ප්‍රකාශය

ආර්ටිස්ට් කෙනෙක් කිසි විටෙක ආර්ට් එක වෙනුවෙන් සමාව නොගත යුතුයි - (මිස්ටර් බීන්)

පැමිණිල්ලක් වූ පමණින් අත්අඩංගුවට ගැනීමක් සිදු විය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! (චින්තන ධර්මදාස)

ආගමේ සැරෑටිය වැනිමේ නිදහස

මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය ඇයි ?

නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අලුත් දෙවියෙක් හොයන ආධ්‍යාත්මික රෝගීන්....(මහේෂ්ගේ වීඩියෝවක්)

නතාෂා අත්අඩංගුවට ගැනීම රුපවාහිනී පුවත් සිරස්තල ඇසින් - (Ethics Eye)

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි! -((ජීවන්ත ලියනගේ)

කොමඩිය script එකක් ද? - (වරුණ රාජපක්ෂ)

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

#හෑයිය : නතාෂා කියන කතාව නුතන මව්වරුන් ඇසිය යුතුම කතාවක්

මෙන්න නතාෂාගේ ඔය කියන ආන්දෝලනාත්මක කතාව

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්