leader s

උදේ වගේ ම දෙමළෙන් මොනවද කියල හයියෙන් කෑ ගහපු වේටර් කෑම පැන්ට්‍රිය පැත්තට ගියා. මට භාෂාව නොතේරුණාට උදේ සිද්ධිය නිසා හිතුණ අනිවාර්යයෙන් ඒ ඕඩර් කරන්න ඇත්තෙ අපේ කෑම එක කියල. ඒ එක්කම ලොකු කෙහෙල් කොළයකුයි, වතුර කෝප්ප දෙකකුයි, අත හෝදන කෝප්පෙකුයි ගෙනත් තියපු වේටර් ආ සැණින් ම ආපහු ගියා.

ඊළඟට ආවෙ ලොකු බත් බේසමක් අරගෙන. අපි අත හෝදගන්නත් කලින් කෙහෙල් කොළේට බත් බෙදුව වේටර් ආයෙත් ගිනිකසය වගේ ගියා. ඒ බත් එක දැක්කම මට මතක් වුණේ පුංචි කාලෙ කුඹුරුවල වැඩ කරන ගොවියන්ට වෑදම් බෙදපු විදිය. මේ බත් ප්‍රමාණය ඒ වෑදම් බත් දෙකක් විතර ඇති. ඒ නිසාම තමයි මම සුසන්තගෙන් ‘‘මේ එක කෑම එකක්ය?’’ කියල ඇහුවෙ.

‘‘ඔවු ඔවු... ඒකනෙ මං කිව්වෙ... මෙහෙ දෙන්නෙ පත බත් එකක් කියල.’’

ඊළගට වේටර් ආවෙ එකිනෙකට සම්බන්ධ කරපු පුංචි බාල්දි පහක් එල්ලගෙන; ඒ ඇවිත් ඒ එක එක බාල්දියෙ තියෙන එක එක වර්ගයේ එළවළු වර්ග බෙදාගෙන බෙදාගෙන ගියේ කිසිම ලෝබකමක් නැතුව. ඒකත් හරියට වෑදම බෙදනව වගේ ම තමයි. වෑදම බෙදද්දිත් බෙලෙක් පිගාන හරි නෙළුම් කොළේ හරි අතේ තියාගෙන ඉන්න කෙනා ඇති කියනකම්ම බෙදනව නෙ. 

වෑදම බෙදද්දිත් බෙලෙක් පිගාන හරි නෙළුම් කොළේ හරි අතේ තියාගෙන ඉන්න කෙනා ඇති කියනකම්ම බෙදනව නෙ.

එළවළු බෙදපු ගමන් ම බාල්දි සෙට් එකත් අරගෙන ගියපු වේටර් ඊළගට ආවෙ පිඟානක් විතර ලොකු පපඩමකුයි මිරිස් හොදි කෝප්ප දෙකකුයි අරගෙන. මේ මිරිස් හොද්දට කියන්නෙ ‘රසම් එක’ කියල. ඒක නම් මම ගාල්ලෙ පැවිලියන් එකේදිත් බීල තියෙනවා. හැබැයි මේ තරම් විශාල පපඩමක් නම් මගෙ ජීවිතේට ම දැකල තිබුණෙ නෑ.

මම හිතුවෙ අපිට කන්න බොන්න දෙන දේවල් ඉවර ඇති කියල. මම එහෙම හිතුවට මෙන්න ආයෙත් වේටර් අපේ ගාව...! ඒ වතාවෙ මනුස්සය අරගෙන ආවෙ පුංචි කිරි කෝප්ප දෙකක්. කිරි කිව්වට ඒ බීම වර්ගයට කියන්නෙ ‘‘කිරි මෝරු’’ කියල. මේ බීමට කිරි විතරක් නෙවෙයි: අමුමිරිස්, ඉඟුරු, රතුලුනු වගේ ම කරපිංච කොළ කිහිපයකුත් දාල තියෙනවා. සමහර තැන්වල මිංචි කොළ කියන කොළ වර්ගයත් පාවිච්චි කරනවා. මේ බීමත් මම ගාල්ලෙදි බීල තිබුණා. හැබැයි මෙච්චර ගොඩක් දෙන්නෙ නෑ. මේක දැක්ක ගමන් ම මට උගුරක් දෙකක් බොන්න හිතුණා.


ඒ උගුර දෙක බිව්වම මට දැනුණෙ ගාල්ලෙදි මෝරු කියල බීල තියෙන්නෙ වතුර නේද කියල. ඒ කියන්නෙ ඒ කිරිවලට වතුර කවලම් කරලා. නමුත් මේ මෝරු එකට නම් වතුර කවලම් කරල නෑ.

දැන් ඔයාල හිතයි මම මෙච්චර හරියක් කරන අතර සුසන්ත මොනවද කරේ කියල... එහෙම නේද?

සුසන්ත

මම මොනව කරන්න ද...? මට නම්: මේ කෑම එක, මේ පපඩම, මේ රසම් එක, මේ කිරි මෝරු එක මහා අමුතු දේවල් නෙවෙයි. මොකද කොළඹ හුඟාක් සයිවර් කඩවල මේ කෑම බීම මේ වගේ ම තමයි. ඉඳල හිටල තැනක තමයි රස ගුණ අඩු කෑම බීම තියෙන්නෙ. අනික ඔයාල දන්නව ද... මම කොළඹ කරක් ගහන්න අරගෙනත් දැන් අවුරුදු තුන හතරක් ම වෙනව නෙ. මේ අවුරුදු තුන හතර ඇතුළත එළවළු වර්ග, පොල්, එළ කිරි වගේ හැම දෙයක් ම සැරින් සැරේ ගණන් ගියානෙ. ඒ එක්ක ම කෑමවල මිලත් පොඩ්ඩක් විතර ගණං ගියා තමයි. හැබැයි අපේ හෝටල්වල වගේ නෙවෙයි... සයිවර් කඩවල කවදාවත් කිරි හොද්දෙ රස අඩු වුණේ නෑ; දෙන ප්‍රමාණය අඩු කරෙත් නෑ. සාම්බාර් හොද්දෙ රස අඩු වුණේ නෑ; දෙන ප්‍රමාණය අඩු වුණෙත් නෑ. රසම් එකයි කිරි මෝරු එකයි වුනත් එහෙම තමයි. හැබැයි අපේ කඩවල නම්: එක්කො හොදි දෙන්නෙ අඩුවෙන්; එහෙමත් නැතිනම් හොද්දෙ රස අඩුයි. ඒත් සයිවර් කඩවල එහෙම නැත්තෙ ඇයි කියල මම හැමදාම හිතුවා; මේ දැනුත් හිතුණා.


කාල ඉවර වෙලා අපි දෙන්න ම පාරට ආවෙ කිසිම අරමුණක් නැතුව. සුසන්තට කොහොම වුනත් මට නම් අරමුණක් තිබුණෙ ම නෑ. මොකද මම පය ගහල තියෙන්නෙ වෙනම ම ලෝකයකට කියලයි මට හිතුණෙ. ඒ නිසා සුසන්ත කරන කියන ඕන ම දේකට හා කියනව හැර වෙන කිසිම දෙයක් කරන්න මට ඉතුරු වෙලා තිබුණෙ නෑ.  

‘‘අපි දැං මක්කයි කරන්නෙ...?’’

කඩෙන් එළියට බහිනකොට ම මම සුසන්තගෙන් ඇහුවෙ ඇත්තට ම මට කිසිම අදහසක් නොතිබුණ නිසා.

සුසන්ත මොනවත් ම නොකියා මහ පාරයි පදික වේදිකාවයි වෙන් කරන්න සවි කරල තියෙන වැටට හේත්තු වුණේ මොනව ම හරි කියන්න හිතාගෙන කියල මට හිතුණා.

‘‘අපි පිටකොටුවට යං...’’

 

ඒ එක්ක ම සුසන්ත ‘‘පිට කොටුව කියන්නෙ කොහේද කියල නෙ අහන්න හැදුවෙ නේද? යං... මං කියන්නං,’’

තත්පර කිපයක් මගේ දිහා බලාගෙන හිටපු සුසන්ත එක පාරට ම එහෙම කිව්වම ‘‘පිටකොටුව’’ කියන්නෙ කොහේ ද කියල මට අහන්න හිතුණා. ඒ එක්ක ම සුසන්ත ‘‘පිට කොටුව කියන්නෙ කොහේද කියල නෙ අහන්න හැදුවෙ නේද? යං... මං කියන්නං,’’ කියපු සුසන්ත ආයෙත් මගේ අතින් අල්ලගෙන සිග්නල් වයර් තියෙන තැනට ගිහින් වාහන නතර වුණ හැටියෙ ම පාරෙන් එහා පැත්තට පැන්නා.

හම්මේ මේක නං පුදුම වාහන ගොඩක්. ඒ මදිවට සද්දෙ... මිනිස්සු... මිනිස්සු හරියට එහෙ මෙහෙ යන්නෙ කොතනක හරි අමතක වුණ දෙයක් ගේන්න දුවනව වගේ. තමන් ළඟින් ම යන මිනිහ ඇඟේ හැපුනත් කිසිම ගානක් නෑ. මට වට පිට බලන්නවත් වෙලාවක් නෑ. සුසන්ත තාමත් මගේ අතකින් අල්ලාගෙන.


‘‘ආ... සීයක් එනව... නගිමු නගිමු...’’ කියපු සුසන්ත මාවත් ඇදගෙන ටිකක් ඉස්සරහට ගිහින් බස් එකකට ගොඩ වුණා. ‘‘සීයක්’’ කිව්වෙ මොකක් ද කියලත් මට නම් තේරුණේ නෑ.

‘‘යසේ සල්ලි ගන්න,’’ කියල මට කියන ගමන් ම කොන්දොස්තර දිහාට හැරිල ‘‘පිට කොටුව දෙකක් දෙන්න,’’ කිව්වෙ කිසිම අමුත්තක් නැතුව. මට නම් කිසිම දෙයක් හිතාගන්න බෑ.

ඒ එක්ක ම ‘‘ආ... එකයි පනාක් දෙන්ඩඅඅඅ’’ කියපු කොන්දොස්තර මගේ අතට පුංචි ටිකට් දෙකක් දුන්නා. මට වට පිට බලන්න ආසාවක් තිබුණත් එහෙම කරන්න වෙලාවක් තිබුණෙ නෑ. බස් එක ටිකක් වේගෙන් යනවා. මම අතට ගත්තු රුපියල් දෙකේ කොලේ කොන්දොස්තරට දුන්නා. කොන්දොස්තර ශත පනහක් මගේ අතේ තියල ‘‘යන්ඩ යන්ඩ... ඉස්සරාට යන්ඩ...’’ කියල කිව්වෙ මායි සුසන්තයි එනකම් කවුරු හරි ඉස්සරහ බලාගෙන ඉන්නව වගේ. මම සුසන්තගෙ මුණ දිහා බලද්දි සුසන්ත යාන්තමට හිනාවෙන ගමන් ම මට ඔළුව වැනුවා; ඒ කියන්නෙ සුසන්තගෙ පස්සෙන් ම එන්න කියල ඔළුව වනල කිව්වා. මමත් සෙනඟ අස්සෙන් රිංගගෙන බස් එකේ ඉස්සරහට ගියේ එහෙම ගියොත් වට පිට ටිකක් බලන්න පුළුවන් කියල හිතාගෙන. හැබැයි මට එහෙම කරන්න වුණේ නෑ.


‘‘ආ ස්ටේසන් බයින අය බෑගන්ඩ... ස්ටේසන් බයින අය බෑගන්ඩ...,’’ කියල කොන්දොස්තර කැගහනකොට ම සුසන්ත  මගේ අතින් අල්ලගෙන බස් එකෙන් බැස්සා. එතන කලින්ටත් වඩා සද්දෙ, සද්දෙ විතරක් නම් මොකද... වාහන... මගෙ අම්මේ එහෙම වාහන තොගයක් තත්ත්පරයට වාහන දහයක් විතර එහාට මෙහාට යනවා. වැඩියෙන් ම යන්නෙ බස්. බස් කියන්නෙ ගමේ වගේ සිටීබී බස් නෙවෙයි. ගාල්ලෙ ස්ටෑන්ඩ් එකේ නම් දිගට ම නවත්තල තිබුණෙ සිටීබි බස්නෙ. මෙහේ එහෙම නෑ. තිබුණෙ ම වෙන වෙන බස්. එව්වට සුසන්ත නම් දවසක් කිව්වෙ ‘‘එව්ව ප්‍රයිවෙට් බස්’’ කියල.


‘‘මෙහ්... අපි යං ද මල්වත්ත පාරට...’’

සුසන්ත එහෙම ඇහුවෙ හරියට මම ‘‘මල් වත්ත පාර’’ දන්නව වගේ. මම ඒ වෙද්දි දැනගෙන හිටියෙ ගාල්ලෙ මල්වත්ත විතරයි. මල්වත්ත පාරක් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. මං ඉතිං ‘‘හා’’ කියන්නෙත් නැතුව ඔළුව දෙපැත්තට වැනුවා.

සුසන්ත

ඔවු... ඇත්තට ම මම මල් වත්ත පාර කියල කිව්වෙ මම දන්න නිසා වුනාට යසේ මේ මොනවත් දන්නෙ නැහැ නෙ. ඒ නිසා මං යසේගෙ අතින් අල්ලගෙන ඉස්සරහට ඇවිත් වම් පැත්තට හැරිලා මල්වත්ත පාරට ඇතුළු වුණා.

 

malwaththa road‘‘මේක තමයි මල්වත්ත පාර... මේ පාරෙ තමයි වැඩි ම කැසට් කඩ තියෙන්නෙ. ඇහෙනවනෙ සිංදු සද්දෙ...’’

‘‘මේක තමයි මල්වත්ත පාර... මේ පාරෙ තමයි වැඩි ම කැසට් කඩ තියෙන්නෙ. ඇහෙනවනෙ සිංදු සද්දෙ...’’

ඒ වෙද්දි: ජොතිපාලගේ, මොහිදින් බෙග්ගේ, සුජාතා අත්තනායකගේ, මිල්ටන් මල්ලවආරච්චිගේ සිංදු හැම පැත්තෙන්ම ඇහෙනවා. මං හිතන්නෙ යසේට මේ සිංදු ඇහෙන්නෙ මොන රෙකොඩ් බාර් එකෙන්ද කියල හිතාගන්න බැරුව ඇති. ඒ නිසා තමයි මිනිහ පුදුමයෙන් වගේ වට පිට බලන්නෙ. මට නං ඉතිං එව්වා හොඳට ම හුරුයි නෙ.

ඒකනං ඇත්ත... සිංදු ඇහෙනවට නම් මම ආසයි. හැබැයි එක සිංදුවක්වත් හරියට ඇහෙන්නෙ නෑ. එක සිංදුවකින් තවත් සිංදුවක් වැහෙනවා වගේ තමයි මට දැනුණෙ. අනිත් එක මේ විනාඩි ගාණට එක එක ගායක ගායිකාවන්ගේ සිංදු කෑලි කෑලි ගොඩක් තැනින් තැනින් ඇහුණා. ඒ ඇහෙන්නෙ මොන කඩෙන් ද කියල හිතාගන්න බැරි තරම්.


‘‘මේ හැම කඩේක ම තියෙන්නෙ සිංදු ද...?’’

 

road එක සිංදුවකින් තවත් සිංදුවක් වැහෙනවා වගේ තමයි මට දැනුණෙ. අනිත් එක මේ විනාඩි ගාණට එක එක ගායක ගායිකාවන්ගේ සිංදු කෑලි කෑලි ගොඩක් තැනින් තැනින් ඇහුණා.

මම එහෙම ඇහුවම සුසන්ත ඉස්සරහට ඇවිදගෙන යන එකත් නවත්තලා මගේ දිහා බලල හිනා වුණේ ‘‘අනේ ඔහේ මක්කයි දන්නෙ...?’’ කියල අහනවා වගේ.

‘‘සිංදු... සිංදු නෙවෙයි යසේ... මෙව්වයි විකුණන්නෙ කැසට්... සිංදු කැසට්...’’

අන්න එතකොට තමයි මට හරියට ම තේරුණේ. හැබැයි මං මේ වෙනකම් ම ඔය කියන කැසට් පාවිච්චි කරල නෑ. අපේ ලොකු නැන්දගෙ දුව ලොකු ළමයෙක් වෙලා එහේ තිබුණ පාටියෙදි නම් මම ඔය කියන කැසට් දැකල තිබුණ; ඒ වුනාට ඒවා අල්ලන්නවත් ලැබුණෙ නෑ. මොක ද එක කැසට් එකක එක පැත්තක් ඉවර වෙද්දි ම නැන්දගෙ ලොකු පුතා, ලොකු අයිය හරි එයාගෙ යාළුවෙක් හරි ඉක්මනට ම ඇවිත් ඒ කැසට් එක අනිත් පැත්ත දානවා; ඒ පැත්ත ඉවර වුනාම ඉක්මනට ම ඇවිත් වෙන කැසට් එකක් දානවා. මට කරන්න පුළුවන් වුණේ ළගට වෙලා බලාගෙන ඉන්න එක විතරයි.

‘‘ඒ පාර මක්කයි කල්පනා කරන්නෙ...?’’

සුසන්ත ඇහුවෙ මම කිසිම සද්දයක් නැතුව ඔහේ සුසන්තගෙ පස්සෙන් ම යන නිසා වෙන්න ඇති.

 

casat මට මේ අපේ ලොකු නැන්දගෙ දුව ලොකු ළමයෙක් වුනාට පස්සෙ එහේ තිවුණ පාටි එක මතක් උණා. එදා එහේ තිවුණ ඔය කැසට් දාන කැසට් රෙකෝඩරයක්.

‘‘නෑ... මට මේ අපේ ලොකු නැන්දගෙ දුව ලොකු ළමයෙක් වුනාට පස්සෙ එහේ තිවුණ පාටි එක මතක් උණා. එදා එහේ තිවුණ ඔය කැසට් දාන කැසට් රෙකෝඩරයක්. පාටි එක ඉවර වෙනකංම ඒකෙ සිංදු දැම්මා. වැඩිපුර ම දැම්මෙ ජෝතිගෙ සිංදු. ඇන්ටන් ජෝන්ගෙ සිංදුත් දැම්ම මට මතකයි.’’

‘‘ආ... ඔවු ඔවු... මෙහෙත් සමහර කඩවල ඒ කැසට් රෙකොඩර් විකුණන්න තියෙනවා. එව්වා විතරක්ම තියෙන කඩේකුත්... කඩයක් කියන්නෙ මහ විසාල කඩයක් තව ඩිංගක් ඉස්සරහ තියෙනවා. ඒකට අපි කියන්නෙ ‘‘පැනසොනික් කඩේ’’ කියල.’’

‘‘ඒ මොකෝ කැසට් රෙකෝඩර් විකුණන්න තියෙන කඩේට පැනසොනික් කඩේ කියන්නෙ...?’’

‘‘පැනසොනික් කඩේ කියන්නෙ ද... මෙහෙමයි...  ඒ කඩේ තියෙන්නෙ නැෂනල් පැනසොනික් කියන කොම්පැනියෙ කැසට් රෙකොඩර්. එතන පොඩි කැසට් රෙකෝඩරයෙ ඉඳල විසාල සෙටප්වලට යනකන් තියෙනවා. ඉතිං ඔය අලුත් සල්ලිකාරයො වගේ ම කැසට් රෙකෝඩරයක් ගන්න ආසාවෙන් ඉන්න කොල්ලො කෙල්ලො එහෙම ඉන්නව නේද... එවුන් ඔය කඩේට ගිහින් ලොකු සෙටප් එකක් හරි පොඩි කැසට් රෙකෝඩරයක් හරි අරගෙන... ඒ කෙළවරේ ඉඳල මේ කෙළවරට වෙනකං තියෙන රෙකොඩ් බාර්වලින් කැසට්පීසුත් අරගෙන තමයි යන්නෙ. ඉතිං දැං ඒ මහා සාප්පුවට හැමෝ ම කියන්නෙ පැනසොනික් කඩේ කියල.’’


සතියකින් හමුවෙමු...




| ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024/12/21


ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

ගෙන්දගම් පොළොව 04 : මෙහෙ දෙන්නෙ පත බත් එකක් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

ගෙන්දගම් පොළොව 03 : ''ඒ තමයි මෙව්වයි වේටර්ලගෙ හැටි...'' - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

ගෙන්දගම් පොළොව 02 : 'ඌ ගිහින් තියෙන්නෙ යට තට්ටුවත් උස්සගෙන'

ගෙන්දගම් පොළොව 01 : 'අපිට ඇඩ්‍රස් නෑ අක්කෙ'

ගෙන්දගම් පොළොව - (ජයසිරිගේ අලුත් වැඩක් )

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්