1200 x 80 DMirror

 
 

‘‘ප්‍රතිෂ්ඨ... ඔයා දන්නව ද ඒ කවුද කියල...?’’



ඇගේ හඬ ළයාන්විත ය; මන්දගාමි ය; ආයාචනාත්මක ය.



ප්‍රතිෂ්ඨ නිහඬව ම ඇගේ පියකරු උවන මත ඔහුගේ දෙනෙත් සිසාරන අතර ඇය යමක් පැවසී ය. ඇගේ ඒ මෘදු වදන් ප්‍රතිෂ්ඨගේ දෙසවන් කරා ඇතුළු වන විට ඔහුට දැනුණේ වේදනාවක් ද මිහිරක් ද යන්න පවා නිශ්චය කරගැනීමට ඔහු අසමත් විය. ඇය යළිත් එම වදන් පෙළ ම තෙපළුවා ය.


‘‘ඔවු ප්‍රතිෂ්ඨ... ඒ මගේ ලොකු පුතා...’’

ඒ වදන් පෙළ ගිලිහුණේ සචේතනීගේ මුවෙන් ද එසේත් නොමැති නම් අසල සිටි වෙනත් කාන්තාවකගේ මුවකින් ද යන්න නිශ්චය කරගැනීමට ප්‍රතිෂ්ඨ අපොහොසත් විය. ඔහු: මුව ද, දෙනෙත් ද එක විට ම අයාගෙන එතුළට සචේතනීගේ උවන ඇද ගැනීමට මෙන් මොහොතක් බලා සිටියේ ‘මොකක්...! මේකිට එච්චර ලොකු පුතෙක්...!! එහෙම වෙන්න පුළුවන් ද...’ යන සිතුවිල්ලෙන් මනස පුරවාගෙන ය.

සචේතනී, අවිහිංසක මෙන් ම ආයාචනාත්මක බැල්මක් හෙළමින් යළි ඇගේ හඬ අවදි කළා ය.

‘‘ඔවු... මං දන්නව... මං දන්නව ඔයා ඒක විශ්වාස කරන එකක් නෑ කියල...’’ යැයි පවසන අතර ම ඇගේ දෑතින් ප්‍රතිෂ්ඨගේ දෑත් අල්ලාගෙන ‘‘ඔයා මගෙන් මේ ගැන මොනවත් ඇහුවෙත් නෑ නෙ... මටත් ඉතිං ඒ විස්තර කියන්න තරං වෙලාවක් ලැබුණෙත් නෑ නෙ...’’ යැයි පැවසසුවේ කිසියම් වරදක් කළ පෙම්වතියක් පෙම්වතා ඉදිරියේ හෝ බිරිඳක් සැමියා ඉදිරියේ සමාව අයදින ආකාරයෙනි.

තත්පර කිහිපයක් එකට වෙළී තිබූ දෙදෙනාගේ දෑත් දෙස දෙනෙත් යොමු කළ ප්‍රතිෂ්ඨ, සචේතනීගේ සිත නොරිදෙන සේ ඉතා සෙමෙන් ඔහුගේ දෑත් ඇගේ දෑතේ ග්‍රහණයෙන් මුදවා ලී ය.

 

එසැණින් ම සචේතනීගේ දෙනෙත් තුළ රැඳී තිබූ අක් බිඳු ඇයටත් හොරෙන් ඇගේ කොපුල්තල මතින් පහළට ගමන් කළේ ය; ඇය ප්‍රතිෂ්ඨගේ දෑතින් ගිලිහුණ ඇගේ දෑත් සිය උකුළ මත තබා, හිස එදෙසට නැඹුරු කළා ය. එසැණින් ම එක් අක් බිඳුවක් ඇගේ පිටි අත්ලට පතිත වූ අතර අනෙක් අක් බිඳුව ඇගේ උකුළ මත පතිත වූයේ ඇය ඇඳ සිටි නිල් පැහැති ඩෙනිම් කලිසම ද තෙත් කරමිනි.

 

‘‘සචේති...’’

ප්‍රතිෂ්ඨගේ වදන් සවන වැකුණු සැණින් අත් බෑගය වෙත අත යැවූ සචේති ඉන් පිටතට ගත් ලේන්සුවෙන් ඇගේ දෙනෙතග පිස දැමුවා ය. එහෙත් ඇගේ හිස තවමත් පහතට නැඹුරු කරගත්වන ම ය.

‘‘සචේති... ලොබි එකේ තව මිනිස්සු ඉන්නව. එවුන් අපි ගැන වැරැදි විදියට හිතයි. ඒක වැඩියෙන් ම හොඳ නැත්තෙ ඔයාට... දැන් ඔය කඳුළු පිහිදාගෙන නෝමල් වෙන්න බලන්නකො.’’

මෙතෙක් අමනාපයෙන් මෙන් ම මඳ කෝපයෙන් පසු වූ ප්‍රතිෂ්ඨ ක්ෂණිකව ඒ සියල්ල ඉවත ලා ඉතා සන්සුන් ලෙස සචේතනී ඇමතී ය.

මඳකුදු හිස නොඑසවූ සචේති ‘‘ප්‍රතිෂ්ඨ... අපි වෙන තැනකට යමු ද...?’’ යැයි විමසුවා ය.

‘‘වෙන තැනකට...! ඒ මොකට ද...?’’

44e6ef29ebe8f5bffa7540ef7e1bc03d

විමතියට පත් ප්‍රතිෂ්ඨ පෙරළා සචේතනීගෙන් විමසුවේ ඇය වෙතින් එවන් යෝජනාවක් යොමු වෙතැයි කිසි සේත් ම බලාපොරොත්තු නොවූ බැවිනි.

එසැණින් ම හිස එසවූ සචේතනී ඍජුව ම ප්‍රතිෂ්ඨගේ උවන ඇගේ දෙනෙතට ග්‍රහණය කරගත්තා ය.

‘‘මං කිව්වෙ පොඩ්ඩක් නිදහසේ කතා කරන්න පුළුවං තැනකට... කැන්ටිමට උනත් කමක් නෑ.’’

ඇය එසේ විමසුවේ ප්‍රතිෂ්ඨ වෙත ළයාදර බැල්මක් හෙළමින් හිස ද පසෙකට ඇළ කරමිනි.

මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ ප්‍රතිෂ්ඨ සිහිනෙනිදු නොසිතූ සිදුවීම් දාමයකි. මේ ඒ දාමයේ දෙවන මුදුව ය. එය තවත් කෙතරම් මුදු ප්‍රමාණයකින් සමන්විත වේ ද යන්න ඔහුට අවිනිශ්චිත ය; එය තීරණය වන්නේ සචේතනී වෙතින් කෙරෙන ආරාධනා සහ යෝජනා අනුව ය. ඒ යෝජනා සහ ආරාධනා බිඳකුදු ඉවත නොදමන්නට තීරණය කළ ප්‍රතිෂ්ඨ යළි සචේතනී ඇමතී ය.

‘‘ම්හ්... මේ වෙලාවෙ කැන්ටිමට යන්න බෑ. මොකද සමහර විට මේ වෙලාවෙ කැන්ටිම වහලත් ඇති.’’

සචේතනී එය විශ්වාස නොකළා ය.

‘‘කැන්ටිම වහනව...! ඒක මාර කැන්ටිමක් නෙ...’’

සචේතනී එසේ විමතිය පළ කළේ ඇය ඒ පිළිබඳ අනවබෝධයෙන් බව වටහාගත් ප්‍රතිෂ්ඨ කරුණු පැහැදිලි කළේ ය.

‘‘නෑ ළමයො... දහයෙ ටී ටයිම් එක ඉවර උණාට පස්සෙ... ඒ කියන්නෙ එකොළහෙ ඉඳල දොළහ විතර වෙනකං කැන්ටිම වහනව. ආයෙ අරින්නෙ දොළහට. ඉතිං ඒක වහපු වෙලාවෙ අපි ගිහින් එතන වාඩි වෙලා කතා කරන එක හරි නෑ නෙ... එහෙම නේද...?’’

ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ විකල්පයක් ද සැලසුම් කරමිනි.

‘‘ආ... ඒකත් එහෙම ද... කමක් නෑ... අපි වෙන තැනකට හරි යමු... පාර්ක් එකට උනත් කමක් නෑ...’’

ඉබ්බා දියට දැමූ විට ඇන්නෑවේ යන කියමන සිහිපත් වුව ද එසැණින් ම ප්‍රතිෂ්ටගේ සිතට කනස්සලු ගතියක් ද දැනිණ. ඔහු ඒ බව ප්‍රදර්ශනය නොකරමින් ම ‘‘පාර්ක් එකට යන්න නං ඉති ටික දුරක් පයිං යන්න එපායැ... කමක් නැද්ද...?’’ යැයි විමසී ය.

මෙතෙක් පැවති නොසන්සුන්කාරී ස්වභාවය අතුරුදන් කර, මන්දස්මිතයකින් උවන සිතුවම් කරගත් සචේතනී ‘‘ඇයි... අද ඔයා ආවෙ බයික් එකේ නෙවෙයි ද...?’’ යැයි විමසුවේ සිදුවෙමින් පවතින සිද්ධි දාමයට තවත් මුදුවක් එකතු කරමිනි.

‘ඒ කියන්නෙ මාත් එක්ක බයික් එකේ යන්න මේකි කැමතියි. ඒත්... කෝ හෙල්මට් එකක්...?’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ ‘‘මං ආවෙ බයික් එකේ නං තමයි... ඒත් අපි දෙන්නට ම යන්න නං තව හෙල්මට් එකක් ඕන නෙ... ඔයා ආපු බයික් එකත් ගියා නෙ... නේද...?’’ යැයි විමසුවේ සචේතනී සමග යාමට අකමැත්තක් ප්‍රකාශ කරන ලෙසිනි. නමුත් ඔහුගේ සැබෑ අදහස එය නොවිණ.

‘‘ඉතිං ඕකට බයික් එකෙං ම යන්න ඕනය... ටික දුරයි නෙ... අපි පයිං යමුකො...’’

සචේතනී පැවසුවේ ඉතා සැහැල්ලු ස්වරයෙනි.

‘මගෙත් එක්ක නිදහසේ කතා කරන්න මේකිට මෙච්චරට ම තියෙන උවමනාව මොකද්ද... සමහර විට මේකි හිතනවද දන්නෑ මං ඒකිව සැක කරනව කියල... කොහොමටත් මේකි නොබැඳ ඉන්න විදියක් නං නෑ තමයි... ඒත්... මේකිටත් වඩා උස, අර ලස්සන කොල්ල... ඌ මේකිගෙ පුතා වෙන්න පුළුවං ද...?’

‘‘මොනවද අනේ අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ... යං... මේ එහා පැත්තෙ නෙ...’’

සචේතනීගේ මුවෙන් ගිලිහුණු වදන් ප්‍රතිෂ්ඨගේ කල්පනා දැහැන බිඳ දැමී ය.

‘‘ආ... න්... න්... නෑ මං මේ... කල්පනා කරේ... සචේති අපි පාර්ක් එකට නොගිහිං මේ... නිදහස් චතුරශ්‍රෙ පැත්තට යමු ද...?’’

ඇගේ පිළිතුර කුමක් වුව ද එය බාරගන්නා අටියෙන් ප්‍රතිෂ්ඨ විමසී ය.

‘‘ආ... කමක් නෑ... මං දන්නෑ ඒ පැත්තෙ වාඩිවෙලා ඉන්න තැනක් තියෙනව ද කියල...’’ යැයි ඇය පැවසුවේ දැඩි ප්‍රහර්ෂයකිනි.

‘‘අපෝ තියෙනව... ඕන තරං තියෙනව. මේ... ආරක්ෂක ලේකම්තුමා ඒකට පහසුකම් සලස්වල තියෙන්නෙ... හැබැයි පොඩී ප්‍රශ්නයක් තියෙනව...’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ මුවගට මන්දස්මිතයක් ද එක් කරමිනි.

ඒ සමග ම නැගී සිටි සචේතනී මොකද්ද ඒ පාර තියෙන ප්‍රශ්නෙ...?’’ යැයි විමසුවේ ප්‍රතිෂ්ඨට ද ඉක්මන් කරන්නැයි නොපවසා පවසන අතර ය.

සචේතනි සිටගත් පසු ප්‍රතිෂ්ඨ ද නැගී සිටියේ ‘‘තාප්ප නං නෑ... හැබැයි...’’ යැයි පවසන අතර ය.

පිටවීමට සුදානම්ව සිටි සචේතනී ‘‘ඇයි ‘හැබැයි’ කියල නැවැත්තුවෙ...?’’ යැයි ප්‍රතිෂ්ඨගෙන් විමසී ය.

ඒ පැනයට වදනින් පිළිතුරු නොදුන් ප්‍රතිෂ්ඨ උවනෙහි උපහාසාත්මක සිනාවක් සිතුවම් කරගෙන ම ‘‘යං’’ යැයි පැවසි ය.

 

Couple walking in the woods by Lesser Ury

දෙදෙනා ම කෞතුකාගාර ආලින්දයෙන් පිටව පිටුපස මාර්ගයෙන් ජාතික පුස්තකාලය දෙසට ගමන් කර, ක්‍රිඩා පුහුණු මධ්‍යස්තානය මැදින් වැටි ඇති පටුමාවත දිගේ පැමිණ පදනම් මාවත හරහා ගමන් කර ඔසු උයනට පැමිණියහ. ඉක්බිති සෙවන සහිත ස්ථානයක පිහිටි අසුනක අසුන් ගත්හ. ඔවුන් දෙදෙනා දෙස විමසිල්ලෙන් බලන පුද්ගලයෙකු වේ නම් ඔහුට හෝ ඇයට ඔවුන් දිස් වන්නේ මිතුරු මිතුරියන් දෙදෙනෙකු ලෙස නොව පළ පුරුදු පෙම් යුවළක් ලෙසිනි.

අසුන් ගත් සැණින් ම යමක් පවසනවා වෙනුවට සචේතනිගේ මුවෙන් නිකුත් වූයේ පැනයකි.

‘‘මේහ්... ඒක නෙවෙයි... මොකද්ද අර ඔයා කලිං කියන්න ගිහිං නැවැත්තුවෙ...?’’ යැයි විමසුවේ කලක් තිස්සේ සිතෙහි තැන්පත් කරගෙන සිටි පැනයක් අවස්ථාව ලද සැණෙන් විමසන ලෙසිනි.

‘‘ඒ කිව්වෙ...? මට පැහැදිලි නෑ...’’

ප්‍රතිෂ්ඨ විමසුවේ සැබැවින් ම ඔහුට එවැන්නක් මතකයේ රැඳී නොතිබූ බැවිනි.

‘‘නෑ... මේ... ඔයා අර ‘තාප්ප නං නෑ’ කියල නැවැත්තුවෙ...?’’

ප්‍රතිෂ්ඨගේ මුවගට මන්දස්මිතයක් නැගිණ. එහි ගැබ්ව තිබුණේ: අපහාසයක් ද, උපහාසයක් ද යන්න වටහාගැනීමට නොහැකි වූ සචේතනී ‘‘ඇයි ඔයා නිකං නෝන්ඩියට වගේ හිනාවෙන්නෙ...?’’ යැයි විමසී ය.

‘මේකිට ඇත්තට ම ඒක දැනගන්න ඕන වෙලා ද... එහෙම නැත්නං ප්‍රශ්නෙං පැනල යන්න හදනව ද...’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ ‘‘ආ... ඒක දැනගන්න ම ඕනනං කියන්නම්...’’ යැයි පැවසුවේ පෙර මෙන් ම මුවග මන්දස්මිතයකින් සරසාගෙන ම ය.

‘‘දැනගන්න ඕන නිසා නෙ මනුස්සයො අහන්නෙ.’’

එවර සචේතනීගේ ස්වරය මඳක් වෙනස් ය; එයින් ඉඟි කළේ ඇය එම පැනය විමසුවේ අව්‍යාජව ම බව ය. මේ මොහොතේ ඇගේ සිත රිදවීම එක් පසෙකින් ඇයට වාසිසහගත විය හැකිවා සේ ම ප්‍රතිෂ්ඨට එය අවාසිසහගත ය. ලද අවස්ථාව මගහැර යාම අනුවණකමක් බව ප්‍රතිෂ්ඨට වැටහිණ.

‘‘මෙහෙමයි... දැන් ඉන්න ආරක්ෂක ලේකම්තුමා කොළඹ නගරෙ තිබිච්ච තාප්ප සෑහෙන ප්‍රමාණයක් කඩල දැම්ම නෙ... එහෙම කඩල ඒ හැම එකක් ම නිකං මේ... ‘නිදහස් කලාප’ කියල නම් කරානෙ...’’

ප්‍රතිෂ්ඨට ඔහුගේ අදහස ප්‍රකාශ කර අවසන් වීමට පවා ඉඩ නොතැබූ සචේතනී ‘‘ඔවු... ඉතිං ඒ වැඩේ හොඳ නැද්ද...?’’ යැයි විමසුවේ රටේ බොහෝ අය මෙන්ම ඇය ද එම වැඩපිළිවෙළ කෙරෙහි ආසක්ත වී ඇති බැවින් බව ප්‍රතිෂ්ඨට වැටහිණ.

‘‘නෑ... ඒ වැඩේ නරක නෑ... හැබැයි ඊට වඩා නරක වැඩක් වෙමින් තියෙනව. ඒක හුඟක් අය දන්නෙ නෑ. ඒකයි මං කිව්වෙ...’’

අදාළ සිද්ධිය කුමක්දැයි නොපැවසූ ප්‍රතිෂ්ඨ ඉඟියක් පමණක් ලබා දුන්නේ ය.

‘‘ආ... හරි හරි... ඒක එහෙම උනාවෙකො... අපි ආවෙ ඒව කතා කරන්න නෙවෙයි නෙ...’’

සචේතනී එසේ පැවසුවේ අව්‍යාජව ම ය. ඇයට වුවමනා වී තිබුණේ ප්‍රතිෂ්ඨගේ සිතට වද දුන් පැනයට පිළිතුරු සැපයීම ය.

‘‘නෑ... මං ඒකත් කියල ම ඉන්නංකො... මොකද ඔයාල මේව දැනගන්න ඕන.’’

එවර ප්‍රතිෂ්ඨ පැවසුවේ තරමක් අවධාරණයෙනි.

‘‘හරි... එහෙනං කියන්නකො,’’ යැයි සචේතනී ඉතා මෘදු ලෙස පැවසුවේ ප්‍රතිෂ්ඨ කිසියම් ව්‍යාකුලත්වයකට පත්ව සිටින්නේ නම් එය මගහරවාලනු පිණිස ය.

බරසාර කතාවකට මුල පුරණ දේශකයෙකු මෙන් උගුර පෑදූ ප්‍රතිෂ්ඨ ‘‘ඔයාට පේනව නේද මේ අවට: අතුගාන, කොළ ඇහිඳින, ගස්වල අතු කපන වගේ ම මේ කුණු එකතු කරගෙන එහා මෙහා යන මිනිස්සු...’’

‘‘ඔවු... ඒ හමුදාවෙ අය නෙ...’’

සචේතනි ක්ෂණිකව පිළිවදන් දුන්නේ ඇය සියල්ල ම දන්නා පරිදි ය.

යළිත් ප්‍රතිෂ්ඨගේ මුවගට මන්දස්මිතයක් නැගිණ. ඔහු, එය එසේ රඳවාගෙන ම ‘‘හමුදාවෙ අය කියල අපි හැමෝ ම දන්නව නෙ... මං කියන්නෙ ඒක නෙවෙයි මනුස්සයො...’’

ප්‍රතිෂ්ඨගේ හඬ තරමක් රළු බව සචේතනීට වැටහිණ. යළි ප්‍රතිෂ්ඨට බාධා නොකරන්නේ යැයි අදහස් කළ ඇය ‘‘හරි හරි... ඔයා කියන්න ආපු දේ කියන්නකො,’’ යැයි පවසා දීර්ඝ දේශනයකට සවන් දදීමට සුදානම් වන පුද්ගලයෙකු සේ දකුණතේ වැළමිට උකුළ මත තබා අත ඉහළට ඍජු කර අත්ල මත සවිධග තබා, දෙනෙත් ප්‍රතිෂ්ඨගේ මුව මත අලවා, ඉදී රත්පැහැගැන්වූ වෙරළු දල්ලක් වන් දෙලවන් විදා ඊට ඇතුළතින් පිහිටි ශ්වේත පැහැති දසන් පෙළෙන් මතුවන ආලෝකය ප්‍රතිෂ්ඨගේ දෙනෙත් වෙත එල්ල කළා ය.

sdsd

මේ දින දෙක තුළ ප්‍රතිෂ්ඨ වඩාත් ඇලුම් කළ ඇගේ ඒ ස්වරුපය දුටු සැණින් ඔහුට සියල්ල අමතක විය. ඔහු ද අඩවන් දෙනෙතින් ඇගේ දෙනෙත් සමග අනිමිස ලෝචනයක යෙදිණ. තත්ත්පර කිහිපයක් එකිනෙකාගේ උවන වෙත අනිමිස ලෝචනයේ යෙදුණ දෙදෙනාගෙන් පළමුව එය ඉවත් කළ සචේතනී වමතින් ප්‍රතිෂ්ඨගේ උරිසට මන්දගාමි පහරක් එල්ල කරන අතර ම ‘‘මෝඩයො... මගේ මූණ දිහා බලාගෙන ඉන්නැතිව දැන් කියන්න ආපු දේ කියනව,’’ යැයි පැවසුවේ දඟකාර සුරතල් දැරියක ලෙසිනි.



‘‘මෙහෙමයි... ඔය හැම කෙනෙක් ම ඔය මොන වැඩේ කරත් මේ අපි වගේ ම මෙතන වාඩි වෙලා ඉන්න හැමෝ ම ගැන අවධානෙන් ඉන්නෙ. එයාලට සැකයක් දැනුනොත් එහෙම කෙළින් ම ගිහිං ප්‍රශ්න කරනව. ඒකයි මං කියන්නෙ ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල කියල.’’

‘‘මොකක්...!’’

යැයි විස්මයෙන් මෙන් විමසූ සචේතනී සැණින් තමා අවට නිරීක්ෂණය කරන්නට සැරසුණ ද ප්‍රතිෂ්ඨ වහා එය වළකාලූයේ ‘‘මෝඩියෙ... ඔහොම බලන්න එපා... එතකොට උන් අපිව සැක කරනව. දැනටමත් උන් හිතාගෙන ඇත්තෙ අපි දෙන්න කපල් එකක් කියල. හැබැයි අපිට උන් සැකයි කියල දැනුනොත් අනිවාර්යයෙන් ඇවිත් ප්‍රශ්න කරනව. ඒ නිසා මොනවත් නොදන්න ගානට ඉන්න,’’ යැයි පවසමිනි. ඒ සමග ම ප්‍රතිෂ්ඨ එක් අතකින් සචේතනීගේ උවන ඔහු දෙසට හැරවූයේ ය. එවිට ඔවුන් දෙස බලා සිටින අය, ඔවුන් පිළිබඳ දරන අදහස තව දුරටත් තහවුරු වන බව ප්‍රතිෂ්ඨ දැන සිටියේ ය.  

කිසිවක් ම නොපැවසූ සචේතනී විසල්ව පැවති ඇගේ දෙනෙත්වලින් විහිදෙන කිරණ ප්‍රතිෂ්ඨගේ උවන පුරා විහිදුවාලූවා ය. එම කිරණ තුළින් විහිදෙන මඳ රශ්මිය කියා පෑවේ ඇය යම් තැතිගැන්මකට ලක්ව ඇති බවයි.

ප්‍රතිෂ්ට නොදැනුවත්ව ම ඔහුගේ දෑත් ඇගේ දෑත් සමග එකිණෙක වෙළී ගියේ ‘ඔයා කිසි දේකට බය වෙන්න එපා... මං ඉන්නව නෙ... දැන් රිලැක්ස් වෙන්න...’ යැයි වදනින් නොපවසා හැඟීමෙන් පවසමිනි. එසේ නොපැවසු වදන් අකුරු බවට පරිවර්තනය වී සචේතනීගේ මනසේ තැන්පත් විය.

‘‘මට තේරෙනව ප්‍රතිෂ්ඨ... මට තේරෙනව... අපි වෙන තැනකට යමු ද...?’’

ඇගේ වදන් මෘදු වුව ද දෑත් උණුසුම්ව පැවතිණ. ඇගේ දෑත් මතින් දෑත් ඉවත් කරගත යුතු යැයි ප්‍රතිෂ්ඨට සිතුණ ද ඔහු එය ක්‍රියාත්මක නොකළේ ය. ඒ වෙනුවට ඉතා මෘදු ලෙසින් ඇය ඇමතී ය.

‘‘හරි... දැන් අපි ආපු කාරණේ කතා කරමුකො. මාත් මේ පණ්ඩිත කතාවක් කියල ඔයාගෙ මූඩ් එක නැති කරා නේද...?’’

එසේ විමසන අතර ම ප්‍රතිෂ්ඨ ඇගේ දෑත්වලින් ඔහුගේ දෑත් මුදවාලී ය. ඇය ද එය එසේම වන්නට ඉඩ හැරියා ය. දෙදෙනා ම දෙදෙනාගේ උණුසුමට මොහොතක් ආසක්ත වුව ද කුමන හෝ හේතුවක් මත හෝ දෙදෙනා ම යළි ක්ෂණයකින් ඒ ආසක්ත භාවයෙන් වියුක්ත වූහ.

ඉවර නෑ...



ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්තජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්

 

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58