ත්‍රස්ත නීති යොදාගෙන රඳවා ගෙන සිටින දෙමළ සිරකරුවන් තිදෙනකු සිරගෙදර දියත් කළ උපවාසයට සහාය පළ කරමින් ඔවුන්ගේ පවුල් වල ඥාතීන්ද බන්ධනාගාරයෙන් පිටත උපවාසයක් ආරම්භ කර තිබේ.


ඉකුත් දෙවසර තුල අත් අඩංගුවට ගෙන යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින රත්නසිංහම් කමලාකරන්, නිර්මලන් වෛද්‍යලිංගම් සහ පද්මනාදන් අයින්ගරන් යන සැකකරුවන් තිදෙනා පෙබරවාරි 23 වැනි බදාදා උපවාසයක් ආරම්භ කර තිබුනේ තමන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමිනි.

 ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙසත් මනුෂ්‍යත්වයේ නාමයෙන් තමන්ට නිදහස ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටින බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

 2020 වසරේ ජුලි මාසයේදී සහ 2021 වසරේ මැයි මාසයේදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කළු කොටි අනුස්මරණය කිරීමේ හා පුපුරණ ද්‍රව්‍ය නිපැදවීමට සහාය පළකිරීමේ චෝදනා යටතේය.

 විමර්ශන සඳහා යයි ප්‍රාදේශීය පොලිස් ස්ථාන විසින් කැඳවනු ලැබූ යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන ප්‍රදේශ වලට තරුණයන් 30 ට ආසන්න පිරිසක් 2020 වසරේ ජුනි සහ ජූලි මාසවලදී  අත්අඩංගුවට ගැනිමෙන් පසුව කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ මුලස්ථානයට රැගෙන විත් තිබු බව පසුගිය වසරේ  උතුරේ ජනමාධ්‍ය වාර්තා කර තිබුනි.

 ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමඟම, පුපුරණ ද්‍රව්‍යද අල්ලා ගත් බවට පොලිසිය සදහන් කර තිබේ.

 නිදහස ඉල්ලා යාපනයේ බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් තිදෙනා ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින් ඔවුන්ගේ ඥාතීන් පෙබරවාරි 23 වැනිදා උපවාසය ආරම්භ කර තිබුනේ උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදීය.


Amma 2022.02.24 1

සිය සමීපතමයන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා හමුවී සාකච්ඡා කිරීමට ගිය ඥාතීන්ට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරියෙකු දැනුම් දී ඇත්තේ ආණ්ඩුකාරවරයා එදින කොළඹ ගොස් සිටින බැවින් වෙනත් දිනයක් ලබා දිය හැකි බවයි.

 පසුව එම පිරිස පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී කුඩා දරුවන්ද සහිතව උපවාසය ආරම්භ කර තිබුනි.

''මගේ තාත්තා මට ඕනෑ,'' යි උපවාසයේ නිරත කුඩා දැරියකගේ අත තිබු පුවරුවක දෙමළ බසින් සදහන්ව ඇත.

 උපවාසයේ නිතර පිරිස ද  ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්නයෙන්ම අහෝසි කරන ලෙසයි.




රටපුරා මහජන පෙත්සමක්




ආණ්ඩුව විසින් සංශෝධනය කළ බවට ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත පනත් කෙටුම්පත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය මේ මස මුලදී මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබුනි.

 ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ සංවිධානය කරන මෙම මහජන පෙත්සමට අත්සන් තැබීම පෙබරවාරි 3 වැනිදා ආරම්භ කර තිබුනේ මුලතිව් මාධ්‍ය සමාජයේදීය.

''`ත්‍රස්ත පනත භයංකර පනතක් ලෙස හඳුන්වන්න පුළුවන්. හය මාසයකට පමණක් තාවකාලිකව ගේනවා කිව්වත් දැන් අවුරුදු හතළිස් දෙකක් තිස්සේ මේක බලාත්මකයි. ජාත්‍යන්තර නීති, සම්මුති ඉවත දාලා විශේෂයෙන් දෙමළ තරුණයන්ව මට්ටු කරලා පාලනය කරන්න තමයි මේ තාක් යොදා ගත්තේ,''යැයි දෙමළ ජාතික සන්ධනයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මුලතිව් මාධ්‍ය සමාජයේදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.



''මේ ත්‍රස්ත පනත අහෝසි කරනවා කියා ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වෙලා තියෙනවා. එහෙත් අහෝසි කරන්න කිසිම පියවරක් නොගෙන සංශෝධනය කළා කියා වැඩකට නැති සංශෝධන කිහිපයක් ගැසට් කර තියෙනවා. ඒකෙන් පවතින ත්‍රස්ත පනතේ කිසිම වෙනසක් නැහැ,''යැයි ද TNA මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙයි.



 යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය මුලා කිරීමට ආණ්ඩුව මෙවැනි ඇස්බැන්දුම් කර ඇතැයි පවසන සුමන්තිරන් කියා සිටියේ රාජපක්‍ෂ ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවය.

 ත්‍රස්ත පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ආරම්භ කළ මහජන අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් පවති.



සිවිල් සමාජයේ විරෝධය



 ශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත මුළුමනින් අහෝසි කරන ලෙස කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් පසුගියදා  ඉල්ලා තිබුනි.

''ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප්‍රකාශය '' මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී තිබුනේ යෝජිත සංශෝධන මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන භයානක මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

 සිවිල් සංවිධාන නියෝජිතයන් 70 දෙනකුගේ සහ සංවිධාන 32 ක අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම නිවේදනය වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිව බවයි.

 රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ප්‍රධාන අඩුපාඩු කොටස්  10 ක්  යටතේ ඔවුන් පෙන්වා දී තිබුනි.


 සංශෝධනයට ජාත්‍යන්තර ප්‍රහාරයක්



ශ්‍රී  ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට “මාරාන්තික දෝෂ” සහිත බැවින් අවලංගු කළ යුතු බවට ජාත්‍යන්තරද පසුගියදා හඬ නගා තිබුනි.


 නව යෝජිත ප්‍රතිසංස්කරණ නීති මාලාව තුළ ඉතාමත් ඛේදජනක, ප්‍රමාණවත් නොවන, බරපතල නීති ඇතුළත් වන බැවින් ශ්‍රී ලංකා රජය මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ කුරිරු පනත අහෝසි කළ යුතු යැයි ජාත්‍යන්තර නීති වේදීන්ගේ කොමිසම (ICJ) ප්‍රකාශ කරයි.

 ශ්‍රී ලංකාවේ ත්‍රස්ත නීති යොදාගෙන සිරගත කරන ලද ජනකායක් හිතුමතේ දින නියමයක් නොමැතිව වධ බන්ධනයට ගොදුරු වන බවට එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් නගා ඇති චෝදනා ICJ සංවිධානයද නැවත තහවුරු ක‍රයි.

 එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකමි වාර්තාව 2022 මාර්තු 03 වෙනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබියදී 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත සඳහා යෝජිත  සංශෝධන  2022.01.27 වැනි දින ගැසට් ගත කොට තිබේ.

 මාරාන්තික දෝෂ ඇතුළත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මෙවැනි වංක ප්‍රතිසංස්කරණ වැයම් මඟින් යථා තත්වයට පත් කල නොහැකි අතර එය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බව යැයි ජාත්‍යන්තර නීති වේදීන්ගේ කොමිසම (ICJ) බලකර සිටී.

 ත්‍රස්තවාදය වැලැක්විමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස දේශිය හා විදේශිය වශයෙන් රජයට  බලපෑම් එල්ල  වෙමින් තිබියදී  ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පෙබරවාරි මස  10 වැනිදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කර තිබුනි.



සබැඳි පුවත් :
 
 
 
 
ත්‍රස්ත පනතට ආණ්ඩුව ගෙනා සංශෝධන වලට එරෙහිව නඩු යයි 

ත්‍රස්තවාදය වැලැක්වීමේ සංශෝධිත පනතක් මැතිසබයට - සුමන්දිරන් ගෙන් බාල්දියක්

ත්‍රස්ත පනත: 'පාලකයින් පාලනය ගෙනියන්න භීතිය පතුරනවා' - නීතිවේදිනී එර්මීසා ටීගල්

ත්‍රස්ත පනත: 'සංශෝධන එපා, අහෝසි කරනු' රට තුලින් හඬ නැගේ

ජිනීවා පාරේ ත්‍රස්ත පනත් සංශෝධනයට ජාත්‍යන්තර රතු එළියක්

ත්‍රස්ත පනත අහෝසි කිරීමේ මහජන ව්‍යාපාරයකට උතුර පෙරමුණ ගනී
 

Leader Whats app

 

   12

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්