ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට අදාළව යෝජිත ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම ස්ථාන මාරු නියෝගය පොලිස්පතිවරයා විසින් කොමිසම වෙත නිර්දේශ කර තිබූ අතර, අද (01) රැස්වූ කොමිෂන් සභාවේදී අදාළ යෝජනාව සලකා බැලීමෙන් අනතුරුව එය සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කෙරිණි.
ස්ථාන මාරු අවලංගු වූ නිලධාරීන් අතරට පහත ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළත් වෙති:
* ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු
* පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන
* මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්යක්ෂවරයා
* පොලිස් අධිකාරිවරුන් (SP) දෙදෙනෙකු
* කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් (WCI)
වරාය මෙහෙයුම සහ පරිපාලන පියවර
මෑතකදී කොළඹ වරාය පරිශ්‍රයේදී සිදුකරන ලද මහා පරිමාණ 'අයිස්' (Crystal Meth) මත්ද්‍රව්‍ය වැටලීමෙන් පසු, අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් මෙම පරිපාලන තීරණය ගැනීමට යෝජනා ඉදිරිපත්ව තිබිණි.
එම වැටලීමට අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ප්‍රකාශ සටහන් කරගැනීමක්ද මීට පෙර වාර්තා විය.
එහෙත්, ජාතික පොලිස් කොමිෂන් සභාව කරුණු සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීරණය කර ඇත්තේ, මෙම අවස්ථාවේදී අදාළ නිලධාරීන් වෙනත් රාජකාරි ස්ථාන වෙත මාරු කර යැවීම සුදුසු නොවන බවයි.



