සැකකාර වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් 2019-05-23 දින දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන ''සිසේරියන් සැත්කම්වලින්  පසු තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා.

සාක්ෂි සහිතව හෙළිවේ. දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ'' යටතේ පළවූ පුවත අනුව සැකකාර වෛද්‍ය සාෆි විසින් කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම්කළ මව්වරුන් ඉහත පුවත සම්බන්ධ තොරතුරු දැනගැනීමෙන් අනතුරුව බියට පත්වී තමන්ට සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපීය නාලවලට යම් හානියක් සිදුකර තිබේද යන්න ඇතිවී තිබෙන සැකය මත, තව දරුවන් ලබාගැනීමට උත්සාහ කළද දරුවන් නොලැබීම හේතුවෙන් මේ වනවිට පැමිණිලි 615ක් වාර්තා වී ඇත. 

එම පැමිණිලිවලින් 468ක් පැමිණිලි කර ඇත්තේ ඉහත පුවතට බියට පත්වී, තමන්ගේ පැලෝපීය නාලවලට හානියක් සිදුවී තිබේද යන්න සැකය මත එම පැලෝපීය නාල පරීක්ෂා කරගැනීම සඳහාය. ඉතිරි 147 වාර්තා වී ඇත්තේ අදාල අවසන් සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් අපේක්ෂාවෙන් ඒ සඳහා කටයුතු කළ ද නමුත් දරුවන් නොලැබීම පිළිබඳව.'

කතාව ආරම්භ කරන්නට අප ඉහතින් උපුටා දැක්වූවේ කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවිය වෙත ජූනි 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා ඉදිරිපත් කළ බී 1398/19 අංකය දරන වාර්තාවෙහි ඇති කොටසකි. අප මේ සටහන ලියන්නේ මූලිකවම එම වාර්තාව මත පදනම් වෙමින්ය.

දිවයින කීවේ බොරු !
Divain boru
දිවයින පුවත්පත වඳ සැත්කම ගැන මුලින්ම පළකළ පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර එම ප්‍රවෘත්තිය ව්‍යාජ එකක් බව කීවේය. 'අනිද්දා' පුවත්පත ඇතුළු කණ්ඩායම් කිහිපයක් එම පුවත ව්‍යාජ එකක් බව වාර්තා කළේය. සරලවම කීවොත්, ඒ පුවත පළකළ දිනය වෙත්දී ඒ පුවතේ කියන අන්දමේ පරීක්ෂණයක් සිදුවෙමින් තිබුණේ නැත. මව්වරුන් ඉදිරිපත්ව සිටියේ නැත. 

දිවයින පුවතේ තිබුණේ 'සැකයක්' කියා හෝ 'ආරංචියක්' ගැන නොවේ. සාක්ෂි සහිතව කරුණු හෙළිවී, පොලිසිය පුළුල් පරීක්ෂණ මෙහෙයවන සිදුවීමක් ගැනය. එහෙත් ඉහත කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවේ කරුණු සලකා බලද්දී ඉතා පැහැදිළිව හෙළිවන්නේ 'සිංහල බෞද්ධ මව්වරුන්ගේ වඳ සැත්කම් 4000ක් කළ බවට සාක්ෂි සහිතව තහවුරු වූ, තවුහිද් ජමාත් සාමාජික වෛද්‍යවරයකු' ගැන මේ මොහොත වෙද්දිත් කිසිම කරුණක් හෙළි වී නැති බවයි. 

සරලව කිවහොත් සීඅයිඩීය දිවයින පුවතෙන් 'පසු' ආරම්භ කළ පරීක්ෂණවලින් පසුවත්, දිවයින පුවතේ තිබුණු එක කරුණක්වත් තහවුරු වී නැත.

DIG කිත්සිරි ජයලත්ගේ සෘජු මැදිහත්වීමෙන් !

Unknown


ඉහත කී වඳ සැත්කම් 4000ක් ගැන සාක්ෂි සහිත බවට දිවයින පුවත පළකර තිබුණේ වෛද්‍ය සාෆිගේ වත්කම් ගැන කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සෘජු මැදිහත්වීමෙන් 'ප්‍රශ්න කිරීමක්' පමණක් සිදුකිරීමෙන් පසුවය. ඉහත කී වාර්තාවෙහි ඒ පිළිබඳව මෙසේ ඇත.

'දැනට සටහන් කරගෙන ඇති ප්‍රකාශ අනුව මෙම සිරස්තලයට අදාළ කරුණු කුරුණෑගල දිසාවේ නියෝජ්‍ය පොලිස්පති විසින් අදාළ මාධ්‍යවේදියා වෙත මෙසේ ප්‍රකාශ කර ඇත. 'වඳ සැත්කම් සිදුකර ඇති බවට කටකතා ඇති බවයි.' මෙම මාධ්‍යවේදී හේමන්ත රන්දුණු විසින් පළකර ඇති පුවත නිසි පරීක්ෂාවකින් තොරව පුවත්පතේ පළකර ඇති බවට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය විය.'

වෛද්‍ය සාෆිට 'තවුහිද් ජමාත් දොස්තර' යැයි දිවයින ලියා තිබුණේ දිවයිනට අයත් බුද්ධි ඒකකයකින් ලැබුණු තොරතුරක් මත විය යුතුය. මෙම සිදුවීමට අදාළ බුද්ධි ඒකක කිසිවක් වෛද්‍ය සාෆි ගැන එවැනි බුද්ධි තොරතුරක් ‌හෝ සැකයක් තබාගෙන සිට නැත. 

ඉහත කී පරීක්ෂණ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආයතන ගණනාවකින් වෛද්‍ය සාෆි ගැන තොරතුරු ලබාගෙන ඇත. කුරුණෑගල පොලිස් ස්ථානය, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ ලේඛනාගාර, ත්‍රස්ත විමර්ශන අංශය, බස්නාහිර බුද්ධි කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්යංශය, දඹුල්ල පොලිස් ස්ථානය, රාජ්‍ය බුද්ධි සේවය, නාවික හමුදාව බුද්ධි අංශය, ගුවන් හමුදාව බුද්ධි අංශය, යුද්ධ හමුදා බුද්ධි අංශය යන සියළු අංශ එක් මූලික පිළිතුරක් ලබා දී ඇත. ඒ ත්‍රස්ථවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඔහු පිළිබඳ තොරතරු ලේඛනගත වී නොමැති බවය.

වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමේ අඩුපාඩු, දිවයින පුවතේ බොරුව, කිත්සිරි ජයලත්ගේ මැදිහත්වීම් , වෛද්‍ය සාෆිගේ වත්කම්, කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ ක්‍රියා කලාපය ආදී කාරණා රැසක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවන කරුණු බො‌හෝය. එහෙත් එම කරුණු සියල්ල අපට එකවර කියා නිම කළ නොහැක. ඉදිරි සතිවලදී අපි ඒ කාරණාවලට යොමු වීමට බලාපොරොත්තු වන්නෙමු. එයට පෙර වෛද්‍ය සාෆිට එල්ල වී ඇති චෝදනා ගැන වැදගත්ම කාරණය දෙසට අවධානය යොමු කරන්නෙමු.

මව්වරුන්ගේ පැමිණිලි :
Divain safiමෙසේ පැමිණි මව්වරුන්ගේ පැමිණිලිවලින් වෛද්‍ය සාෆිට එල්ල වූ චෝදනාව සැබෑවක් බව සමාජගත කරන්නට දිවයින ප්‍රමුඛ මාධ්‍ය ආයතනත්, රතන හිමි ප්‍රමුඛ ජාතිවාදී බලවේගත් උත්සාහ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම මව්වරුන් 615කගේ පැමිණිලි සටහන් කරගෙන තිබුණි. ඉහත කී වාර්තාවට එම හැම පැමිණිල්ලකටම සාරාංශ සඳහන් කර තිබුණි.

ඉදිරිපත්ව සිටින මව්වරුන් කෙබඳුද? ඔවුන්ගේ ප්‍රකාශ මොනවාද? ඒ මව්වරුන් අතර පැලෝපීය නාලය අවහිර වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කරවාගත් මව්වරුන් කී දෙනෙක් සිටිත්ද? මෙවැනි කාරණා ගැන බොහෝ දෙනෙකුට කුතුහලයක් ඇත.

 ඉදිරිපත් වූ බො‌හෝ මව්රුන්ගේ පැමිණිලි එක සමානය. සියලු දෙනාම ඉදිරිපත්ව තිබුණේ මාධ්‍යවල වාර්තා පළවීමෙන් පසුවය. ඒ වාර්තා නිසා වෛද්‍ය සාෆි ගැන සැකයක් ඇති ගනිමින්ය. ඊට පෙර පැමිණිලි  කළ මව්වරුන් නැත.


පැමිණිලිවල ස්වාභාවය තේරුම්ගත හැකි සාරාංශයක් :
අප පහත ඉදිරිපත් කරන්නේ මව්වරුන්ගේ පැමිණිලිවල ස්වාභාවය තේරුම්ගත හැකි සාරාංශයකි. අප තැන් කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවෙහි සඳහන් වන ආකාරයටම පැමිණිලි සාරාංශ එලෙසින්ම උපුටා දැක්වූවෙමු. අපි මව්වරුන්ගෙ සම්පූර්ණ නම් හෝ සම්පූර්ණ ලිපින සටහන් නොකරන්නෙමු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවෙහි සම්පූර්ණ නම් හා ලිපින සඳහන්ය. 

safi textමෙම ප්‍රකාශවල සත්‍ය බව තහවුරු කළ යුතු නිසා, මවගේ නමෙන් කොටස් දෙකක් හා පදිංචි ප්‍රදේශය සඳහන් කරන්නෙමු.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි සඳහන් පැමිණලි අතරින් 468ක් දරුවන් හැදීමට උත්සාහ නොකළ අයයි. ඔවුන් පැමිණ ඇත්තේ පුවත්පතේ පුවත දැකීමෙන් ඇති වූ බිය නිසා පමණකි. අනෙක් 147දෙනාද පැමිණ ඇත්තේ දිවයින පුවත දැකීමෙන් පසුවය. එහෙත් ඔවුන් දරුවන් හැදීමට උත්සාහ කොට දරුවන්  නොමැති බව සිය පැමිණිලිවල සඳහන් කර ඇත

 


දරුවන් හැදීමට උත්සාහ නොකළ :
දරුවන් හැදීමට උත්සාහ නොකළ අය අතරින් පැමිණිලි 95ක් 2019 වර්ෂයේදී සිසේරියන් සැත්කමට ලක් වූ මව්වරුන්ය. එනම්, 95ස් දෙදෙනෙකු දරුවන් ලබා ඇත්තේ මේ සිදුවීමට මාස හතරක් හෝ ඊට අඩු කාලයක් ඇතුලතය. 2019 දී ලබාදුන් පැමිණිලි සියල්ලේම සාරාංශය එකම ආකෘතියකින් යුක්තය. එක් උදාහරණයක් ගත හැකිය.

අලව්ව ප්‍රදේශයේ ලිපිනයක පදිංචිව සිටින නිරෝෂා සඳමාලි නැමැති කාන්තාවගේ කටඋත්තරයෙහි සාරාංශයක් මෙසේය. 'මෙම කාන්තාවගේ දෙවැනි දරුවා කුරුණෑගල රෝහලේදී 2019-04-30 වන දින වෛද්‍ය සාෆි විසින් සිසේරියන් සැත්කමකින් ලබාගෙන ඇති අතර, සිසේරියන් සැත්කම් කරන අවස්ථාවේ වෛද්‍ය සාෆි විසින් කර ඇති බවට පුවත්වල සඳහන් යම් දෙයක් තමන්ටත් කර ඇත්ද යන්නත් වෙනත් දරු උපතක් සිදු නොවේද යන්නත් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය බව කියමින් පැමිණිල්ලක් ලබා දී ඇත'. එම කාන්තාවට සිසේරියන් සැත්කම සිදුකොට මාසයක් වත් ගෙවී යෑමට මත්තෙන් දිවයින ප්‍රවෘත්තිය පළවී ඇති බව පෙනී යයි.

2019 අවුරුද්දේ මාස 04 ගැන අමතක කළත්, වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබුණු සම්පූර්ණ වර්ෂය වන්නේ 2018 වර්ෂයයි. පැමිණිලි 204 කි. ඒ අනුව මෙම පැමිණිලි ලැබීමේ රටාව සැකසී ඇත්තේ සිසේරියන් සැත්කමෙන් පසුවත් දරුවන් නැති විමේ අනුපාතයට නොව, මෑතකදී වෛද්‍ය සාෆිගෙන් සිසේරියන් සැත්කම් කළ මව්වරුන්ගේ අනුපාතයට බව පැහැදිළිය. පැමිණිලිවල ස්වභාවය තේරුම් ගැනීමට එය උදව්වකි.Safi tex2


2018 වර්ෂයේදී සිසේරියන් සැත්කමට මුහුණ දුන් මවක වන නෙල්ලිය ප්‍රදේශයේ ලිපිනයක් සහිත ඩිල්කි ප්‍රියන්වදාගේ පැමිණිල්ලෙහි සාරාංශය මෙසේ සටහන්ව ඇත. 'මෙම කාන්තාවගේ පලමු දරුවා කුරුණෑගල රෝහලේදී 2018-09-15 වන දින වෛද්‍ය සාෆි විසින් සිසේරියන් සැත්කමකින් ලබාගෙන ඇති අතර සිසේරියන් සැත්කම් සිදුකරන අවස්ථාවේ වෛද්‍ය සාෆි විසින් සිදුකර ඇති බවට පුවත්පත්වල සඳහන් යම් දෙයක් තමන්ටත් සිදුකර ඇත්ද යන්නත් වෙනත් දරු උපතක් සිදු නොවේද යන්නත් පරීක්ෂා කර  ගැනීමට අවශ්‍ය බව කියමින් පැමිණිල්ලක් ලබා දී ඇත.'

2017 වර්ෂයට අදාලව ඉහත වර්ගයේ පැමිණිලි 147 ක් ලැබී ඇත. එම පැමිණිලිවල සාරාංශයද අප 2019 හා 2018 වර්ෂවලට අදාලව ඉදිරිපත් කළ පැමිණිලි සාරාංශවලට බොහෝදුරට සමානය.


2016 හා 2015 වර්ෂවලට අදාලව පැමිණිලි ඉදිරිපත් වී නැ !

ඉන්පසුව 2016 හා 2015 වර්ෂවලට අදාලව පැමිණිලි ඉදිරිපත් වී නැත. එම කාලසීමාව ඇතුළත වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම් සිදුකර නැති බව පෙනී යයි. එයට හේතු පැහැදිලි නැත. බොහෝ විට වෛද්‍යවරයා යම් කාලයක් දඹුල්ල හා ගලේවෙල රෝහල්වල සේවය කර ඇති නිසාත්, ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සේවයෙන් ඉවත්ව සිටි නිසාත් එම වර්ෂවලට කුරුණෑගලදී සිසේරියන් සැත්කම් කර නැතිවා විය යුතුය.

2014 වර්ෂයේ කළ සැත්කම්වලට අදාලව එක් පැමිණිල්ලක්, 2013 වර්ෂයේ කළ සැත්කම්වලට අදාලව පැමිණිලි 2ක්, 2012 වර්ෂයේ කළ සැත්කම්වලට අදාළව පැමිණිලි 3ක්, 2011 වර්ෂයේ කළ සැත්කම්වලට අදාලව පැමිණිලි 5ක්, 2010 වර්ෂයේ කළ සැත්කම්වලට අදාලව පැමිණිලි 3ක්, 2009 වර්ෂයේ කළ සැත්කම්වලට අදාලව පැමිණිලි 1ක්, 2008 වර්ෂයේ කළ සැත්කම්වලට අදාලව පැමිණිලි 1ක්, මේ ආකාරයෙන් ඉදිරිපත්ව ඇත. 

එනම්, වෛද්‍ය සාෆිගෙන් සිසේරියන් සැත්කමකට මුහුණ දී ඇතත්, දරුවන් හැදීමට උත්සාහ නොකළ මව්වරුන්ගේ කාණ්ඩයට ඉහත මව්වරුන් අයත්ය. ඔවුන් සියලු දෙනාම පාහේ කටඋත්තර ඉහතින් අප උපුටා දැක්වූ කටඋත්තරවලට බොහෝදුරට සමානය. සැත්කම සිදුකල දිනය සඳහන් නොවූ පැමිණිලි 5ක් ඇත. ඒවායේද ස්වභාවය ඉහත කී ඒවාට සමානය. මාධ්‍යවල සඳහන් ප්‍රවෘත්ති නිසා ඔවුන් පැමිණ ඇත. ඔවුන් පැමිණි නිසා මාධ්‍යවල ප්‍රවෘත්ති පළවුනා නොවේ.

දරුවන් නොලද මව්වරුන්:
දරුවන් හැදීමට උත්සාහ කළද, දරුවන් නොලද බව පැමිණිල්ලේ සඳහන් කළ මව්වරුන් සංඛ්‍යාව 147කි. එම මව්වරුන් ඉදිරියේදී එස්එච්ජී නම් පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතුය. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නිරීක්ෂණය මත එම මව්වරුන් විශේෂ වෛද්‍ය මණ්ඩලයකින් එස්එච්ජී පරීක්ෂණයට ඉදිරිපත් කරනු ඇත. 

එම පරීක්ණයෙන් පසු, දරුවන් නැති වීමට හේතු ගැන වැඩි තොරතුරු හෙළිවනු ඇත. එම මව්වරුන් අතරින් මව්වරුන් බහුතරයක් තමන්ට දරුවන් නැති බව මීට පෙර වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කරගත් අය නොවේ. වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් වූ අය ඉන්නේ ඉතා සුළුතරයකි.

මාලනී සම්පත් නම් මිනුවන්කැටේ ප්‍රදේශයේ කාන්තාවකගේ පැමිණිල්ලෙහි සාරාංශය මෙසේ සඳහන් කර ඇත. 'මෙම කාන්තාවගේ පළමු දරුවා කුරුණෑගල රෝහලේදී 2011-07-31වන දින සිසේරියන් සැත්කමකින් ලබාගෙන ඇති අතර නැවත දරුවෙක් හදන්නට උත්සාහ කළද මේ වනතෙක් දරුවෙක් නොමැති බවත් සිසේරියන් සැත්කම සිදුකරන අවස්ථාවේදී වෛද්‍ය සාෆි විසින් සිදුකර ඇති බවට පුවත්පත්වල සඳහන් දෙයක් තමන්ටත් සිදුකර ඇත්ද යන්නත් මෙමගින් දරුවන් නොමැතිව ඇත්ද යන්නත් වෙනත් දරු උපතක් සිදුවෙයිද යන්නත් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය බව පැමිණිල්ලක් ලබාදී ඇත.'

ඉහත කී ආකෘතියේම පැමිණිලි දින වකවානුවේ පමණක් වෙනස්ව ඉදිරිපත්ව ඇති අවස්ථා ගණන මෙසේය. 2018 වර්ෂයේ 06ක්, 2017 වර්ෂයේ 36ක්, 2014 වර්ෂයේ 1ක්, 2013 වර්ෂයේ 4ක්, 2012 වර්ෂයේ 22ක්, 2011 වර්ෂයේ 13ක්, 2010 වර්ෂයේ 14ක්, 2019 වර්ෂයේ 16, 2008 වර්ෂයේ 6ක්, 2007 වර්ෂයේ 2ක්, 2006 වර්ෂයේ 2ක්, 2005 වර්ෂයේ 1ක් වශයෙන් ඉදිරිපත්ව ඇත.

එම පැමිණිලිවල ලක්ෂණය වන්නේ මව්වරුන් තමන්ට දරුවන් නැතිවීමට හේතුව පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයකට දී නොතිබීමය. තමන් දරුවන් හැදීමට උත්සාහ කළද, දරුවන් නැතිබව පමණක් ඒ මව්වරුන් කියා ඇත. ඉහත කී ලෙස තමන්ට දරුවන් නැති බව කියන මව්වරුන් අතරින් ඉහත වර්ගයේ පැමිණිලි ලබාදුන් මව්වරුන් සංඛ්‍යාව 123කි.

වෙනස් පැමිණිලි:

tex3ඉහත කී පැමිණිලි සියල්ලම පාහේ එකම ආකෘතියක පැමිණිලිය. ඔවුන් වෛද්‍ය සාෆිගෙන් සිසේරියන් සැත්කමක් සිදුකරවාගෙන ඇත. ඉන්පසුව දරුවන් නැතිවීම ගැන සැකයක් මත පැමිණිලි කර ඇත. ඉහත කී තත්වයන්ට වෙනස් ආකාරයෙන් පැමිණිලි ඇත්තේ කිහිපයක් පමණි. ඒවා මෙබඳුය.

චමිලා ප්‍රියදර්ශනී නමැති බුලුවල ප්‍රදේශයේ ලිපියනයක් ඇති කාන්තාවගේ පැමිණිල්ලෙන් පවසා ඇත්තේ 2010-01-17 දින සිසේරියන් සැත්කමක් කළ බවත්, ඉන්පසුව 2012 වර්ෂයේ සිට දරුවෙකු හදන්නට උත්සාහ කළත් දරුවන් නැති බවයි. පසුව වෛද්‍ය පරීක්ෂණයකට ඇය මුහුණ දී ඇත. ඇයට දැනුම් දී ඇත්තේ පැලෝපීය නාලයේ අවහිරයක් ඇති බවයි. ඒ අනුව ප්‍රතිකාර ලබාගෙන දරුවෙක් ලබන්න අවස්ථා දෙකකදී උත්සාහ කළත්, දරුවන් නැති වූ බව ඒ මව ප්‍රකාශ කරන්නීය. කෙසේ වෙතත් ඇය මිට පෙර වෛද්‍ය සාෆි ගැන සැක කරමින් පැමිණිල්ලක් සිදුකර නැත. ඇගේ පැලෝපීය නාලය අවහිර විමට හේතුවත් හෙලිවී නැත.

තාරුකා ෂෙරීන් නම් කුරුණෑගල පදිංචි මවක ලබාදුන් පැමිණිල්ලකින් පවසා ඇත්තේ කුරුණෑගල රෝහලේ පේසල නම් වෛද්‍යවරයෙකුගේ නියමය පරිදි තමන් ගබ්සා සැත්කමට 2017-06-10 දින මුහුණ දුන් බවයි. ගබ්සා සැත්කම වෛද්‍ය සාෆි සිදුකළ බවත්, ඉන්පසුව දරුවන් ලැබීමට උත්සාහ කළත් දරුඵල නොලැබුණු බවත් ඇ‌ගේ පැමිණිල්ලෙහි සඳහන්ය.

නිසංසලා උඩුගොඩ නම් කැකිරාව ප්‍රදේශයේ ලිපිනයක පදිංචි කාන්තාවක පැමිණිලි කර තිබුනේ 2010 පෙබරවාරි 16 වැනිදා තමන්ගේ ගර්භාශයේ වෛද්‍ය සාෆි සැත්කමක් කළ පසුව දරුවන් නොමැති බවයි.

ආශා ලක්මාලි නමැති ගලේවෙල පදිංචි කාන්තාවක ඉදිරිපත්ව කර තිබුණු පැමිණිල්ලක සඳහන් කර ඇත්තේ වෛද්‍ය සාෆි ගර්භාෂයේ තිබුණු ගෙඩියක් ඉවත් කිරීම සඳහා සැත්කමක් කළ බවත්, ඉන් පසුව නැවත දරුවන් නොලද බවත්ය.

සමුද්‍රා ගයානි නම් බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැමිණිල්ලෙහි සඳහන් කර තිබුණේ තම දෙවැනි දරුවා 2017-10-26 වැනිදා සිසේරියන් සැත්කමකින් ලබාගත් බවත්, සැත්කමෙන් පසුව ගෝස් කැබැල්ලක් ඉතිරි කර උදරය මසා තිබුණු බවත්ය, එහෙත් එම සිදුවීමට අදාළව කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලයේ සාක්ෂිවල සඳහන් ඇත්තේ මෙය ගෝස් කැබලි ඉතිරි කර මැසීමක් නොව, සුදු රුධිරානු සහිත රුධිර කැටීතිවල සුදු පැහැය නිසා ගෝස් කැබලි යැයි වරදවා වටහා ගැනීමක් සිදුව ඇති බවය.

තවත් වෙනස් ආකාරයක පැමිණිල්ලක් වන්නේ ගර්භාෂයෙන් පිටත වැඩුනු දරුවෙකු සැත්කමකින් ඉවත් කිරීමෙන් පසුව දරුවන් නොමැති බව කියමින් පැමිණිලි කළ ඉඳුල්ගොඩ පදිංචි සකුන්තලා කුමාරිහාමි නම් කාන්තාව සිදුකළ පැමිණිල්ලයි.

පුෂ්පමාලා රණතුංග නම් වේවැල්පොල පදිංචි කාන්තාවක් 2011-02-27 සිදුකළ සිසේරියන් සැත්කමක් සිදුකිරීමෙන් පසුව රෝගී තත්වයක් නිසා දරුවන් නොලැබුණු බවට පැමිණිලි කර ඇත.

පහල වල්පොළ පදිංචි කමනි ශ්‍රියාලතා නම් කාන්තාව 2008-07-09 වැනිදා සිදුකළ සිසේරියන් සැත්කමකින් පසුව දරුවන් නොමැති වීම පිළිබඳ පරීක්ෂා කරද්දී, පැලෝපීය නාලය ඉදිමී විකෘති වී ඇති බව වෛද්‍යවරුන් දැනුම් දී තිබුණි.

මොරීන් මල්කාන්ති නම් පාදෙනිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව පැමිණිලි කර තිබුණි. ඇයට දරුවන් නොමැති අතර ගර්ඝාෂයේ තිබුණු ගැටිති ඉවත් කිරීම සඳහා 2008-10-30 සැත්කමක් සිදුකර ඇත. එම සැත්කම සිදුකළ වෛද්‍යවරුන් අතරින් එක් අයෙකු වන්නේ වෛද්‍ය සාෆිය.

චන්ද්‍රලතා දිසානායක නම් කෝන්වැව පදිංචි කාන්තාව 2007-09-31 වැනිදා වෛද්‍ය සාෆිගෙන් සිසේරියන් සැත්කමක් සිදුකරගෙන ඇති බවත්, පසුකාලීනව ඇති වූ බඩේ වේදනාවක් ගැන පරීක්ෂණයට ඉදිරිපත් වීමෙන් පසුව පැලෝපීය නාලයේ ලේ කැටිත්තක් ඇති බව දැනගැනීමට ලැබුණු බවත් පැමිණිලි කර ඇත.

මංජුලා මධුෂානි නම් වාරියපොල ලිපිනයක පදිංචි කාන්තාව පැමිණිලි කර ඇත්තේ 2018-01-29 වැනිදා වෛද්‍ය සාෆි ඩිබ්බකෝෂවල ගෙඩියක් සැත්කමකින් ඉවත් කළ බවත් ඉන්පසුව දරුවන් නොලද බවත් සඳහන් කරමින්ය.

නදීකා පුෂ්පකුමාරි නම් මැල්සිරිපුර පදිංචි කාන්තාවකගේ පැමිණිල්ලකට අනුව ඇය 2008-02-29 දින සිසේරියන් සැත්කමකට මුහුණ දී ඇත. ඇය වසර 11කට පසුව දෙවැනි වර පිළිසිඳගෙන ඇත. එහෙත් පැලෝපීය නාලය ගර්ඝාෂය ඇතුලත තිබීම නිසා කළලය ඉවත් කර ඇත.

දැනුම් නොදී එල්ආර්ටී සැත්කමක් සිදුකරලා !

වාරියපොළ පදිංචි නදීකා නිලන්ති නම් කාන්තාවක පැමිණිලි කර තිබුණේ 2013-01-02 වැනිදා සිසේරියන් සැත්කමක් සිදුකර ඇත. වෛද්‍ය සාෆි ඇගෙන් එල් ආර්.ටී. සැත්කමක් සිදුකරන්නේ දැයි විමසා ඇති බවය. ඇගේ පැමිණිල්ලෙහි ඇය සඳහන් කරන්නේ ඇය ඒ මොහොතේ අකමැති වූ බවත්, වෛද්‍ය සාෆි තමන්ට දැනුම් නොදී තමන්ට එල්ආර්ටී සැත්කමක් සිදුකර ඇති බවත්ය. කෙසේ වෙතත් ඇයට එල්ආර්ටී සැත්කමක් සිදුකරාදැයි තවම තහවුරු වී නැත. 

බලහත්කාරයෙන් තමන්ට එල්ආර්ටී සැත්කමක් කළ බව හෝ එල්ආර්ටී සැත්කමක් කිරීටම උත්සාහ ගත් බව කියමින් පැමිණිලි කිහිපයක් ලැබී තිබුණි.  කෙසේ වෙතත් මෙම පැමිණිලි ගැන පුදුම විය යුතු නැත. ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් මවකගේ සෞඛ්‍ය තත්වය සලකා බලමින්, හදිසි අවශ්‍යතා මත එල්ආර්ටී සැත්කම් කිරීමට තීන්දු ගැනීම සාමාන්‍ය තත්වයකි. මෙම කියන පැමිණිලිවලදී ඊට වෙනස් තත්වයක් ඇති වී තිබේදැයි ඉදිරියේදී හෙළිවනු ඇත.

එස්. එච්. ජී. නම් පරීක්ෂණයට මෙම කාන්තාවන් යොමු කළ යුතුය. ඉදිරියේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නම් කර ඇති පරීක්ෂණ මණ්ඩලයකින් එම පරීක්ෂණය සිදු කිරිමට නියමිතය. එම පරීක්ෂණයෙන් කරන්නේ කාන්තාවගේ යෝනි මාර්ගය දිගේ දියරයක් යවා එම කාන්තාවගේ පැලෝපීය නාලය අවහිර කර ඇත්දැයි සොයා බැලීමය. 
Safi doc

''වෛද්‍ය සාෆිගේ කතාව මෙතැනින් අවසන් කළ නොහැකිය. රටම කැළඹූ ඒ කතාවට පැති ගණනාවක් ඇත. කුරුණෑගල රෝහලේ නිලධාරීන්ගේ ප්‍රකාශවලින් හෙලිවන කරුණු පුදුමාකාරය. වෛද්‍ය සාෆිට එරෙහි පරීක්ෂණ ක්‍රියාත්මක වූ ආකාරය කතාකිරීමට වටී''

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනාව සම්පූර්ණ ඇත්ත නැත්ත සියයට සියයක් තහවුරු කරගත හැක්කේ එම පරීක්ෂාවෙන් පසුවය. එහෙත් දැනට ඉදිරිපත්ව සිටින කාන්තාවන්ගේ  ප්‍රකාශ සලකා බලද්දී, මෙම පරීක්ෂණයේ අගමුල ගැන මනා වැටහීමක් ලබාගත හැකිය. 

අනෙක් අතට ඈත වර්ෂවල පැමිණිලි අඩුවීමත්, මෑත වර්ෂවල පැමිණිලි වැඩිවීමත් තුළින්, වෛද්‍ය සාෆිගෙන් සැත්කම කර ගැනීමෙන් පසු දරුවන් ලැබූ මව්වරුන්ද සිටින බව අනුමාන කළ හැකිය. ඇත්තෙන්ම එවැනි මව්වරුන් අප සමග කතාබහ කර ඇත. 

වෛද්‍ය සාෆිගේ කතාව මෙතැනින් අවසන් කළ නොහැකිය. රටම කැළඹූ ඒ කතාවට පැති ගණනාවක් ඇත. කුරුණෑගල රෝහලේ නිලධාරීන්ගේ ප්‍රකාශවලින් හෙලිවන කරුණු පුදුමාකාරය. වෛද්‍ය සාෆිට එරෙහි පරීක්ෂණ ක්‍රියාත්මක වූ ආකාරය කතාකිරීමට වටී. වෛද්‍යවරයාගේ දේපළ ගැන කතාවත් කිව යුතුය. ඉදිරියේ දී අපි ඒවා ගැන කතා කරන්නෙමු.


(උපුටා ගැනීම : 'අනිද්දා' පුවත්පත - රේඛා නිලුක්ෂි හේරත්)

 සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image