එක් පසෙකින් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නිසා අහිමිවූ ජීවිත සමගින් බැටකන මිනිසුන් පිරිසක, තවත් තැනක එක් ත්‍රස්තවාදී කණ්ඩායම ප්‍රහාරයක් නිසා පීඩාවට පත්වූ ජනවාර්ගික කොට්ඨාශයකි.

තවත් පැත්තකින් කම්පනයන් සහ අනාරක්ෂිතභාවය හමුවේ කැළඹීමට පත්ව එයින්ද නොනැවතී ත්‍රස්ත ප්‍රහාරයන් ඉක්මවා ක්‍රියාත්මක වෙන මාධ්‍ය මාෆියාවන්ගෙන් අසරණව ඇති බහුතරයක් වූ ජන කොට්ඨාශයකි.

එවැනි වටපිටාවක මේ සියළු ඛේදවාචකයන් මැද තවත් හෙණ ගෙඩියක් පුපුරායන්නේ කුරුණෑගලින්ය. ඒ කාන්තාවන් අභිමතයකින් තොරව වන්ද්‍යකරණයට ලක්කල බවට හරි හමන් සාක්ෂියක්වත් නොමැතිව සිරගත කරන වෛද්‍යවරයෙකි. ඒ වෛද්‍ය සාෆි ය.

 කඩුපොළු අමෝරාගෙන කෑගසන්නට පෙර විමසා බැලිය යුතු යමක් ඇති නිසා කඩු පොළු වෙනුවට පෑන අතින් ගෙන, හිස් කොළ කීපයක්ද අතැතිව මේ සම්බන්ධයෙන් මොහොතක් සිතන්නට පෙළඹුනි. ඇත්තටම මේ සිද්ධිය වන්නේ අප්‍රේල් 21 කට පෙර නම්, ලංකාවේ මිනිසුන් කෙලෙසින් ක්‍රියා කරනු ඇතිද? නැතින්ම මේ සිදුවීම වන්නේ සිංහල වෛද්‍යවරයෙක් හෝ දෙමළ වෛද්‍යවරයෙක් අතින්නම්. මෙය කෙසේ විය හැකිද? 

කිසිවෙකුත් තමන්ගේ ජාතිය, ආගම මත පදනම්වී පීඩාවට හෝ අගතියට පත්විය යුතු නැත. එය අපේ රටේ නීතියේද කොටසකි. එවැනි සිතිවිල්ලක් මනසේ ක්‍රියාත්මක වෙද්දී හදිසියේම වෛද්‍ය සාෆිගේ බිරිඳ සම්බන්ධයෙන් අසන්නට ලැබුණි. ඇයත් වෛද්‍යවරියකි. සාෆි මෙන්ම ලක්ෂ ගණනක් සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් සුවපත් කළ ඉසිවර දෑතකි. 

ඇය සොයා කුරුණෑගල යන්නට සූදානම් වෙද්දී නීතිමය උපදෙස් ලබාගැනීමට ඇය කොළඹ පැමිණ ඇතිබවට දැනගන්න ලැබුණි. ඇයව හමුවන්නේ කොළඹ ප්‍රසිද්ධ අවන්හලකදීය, භාෂා ප්‍රශ්නයක් ඇතිවේදේ සැකයෙන් මගේ සහයට මම දෙමළ බස හොඳින් දන්නා සහයකයෙක්ද කැටුව ගියෙමි. අවශ්‍ය වුවහොත් ඉංග්‍රීසි භාෂාව වුවත් භාවිතා කළ හැකිවීම අස්වැසිල්ලක් විය.


ගැහැණියක් පත්වන ඉරණමට ජාති භේදයක් නැත:

ඇය අවන්හල තුල තනි මේසයකට වී ඉමක් නොපෙනෙන සාගරය දෙස බලා සිටියේ අප එනු නොදැකය. සිය සැමියා සති ගණනක් තිස්සේ අත්අඩංගුවේය. එවන් තත්වයකදී  තනි ගැහැණියක් පත්වන ඉරණමට ජාති භේදයක් නැත. 

මම ඇය ලඟට ගොස් ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇය වෛද්‍ය සාෆිගේ බිරිඳ දැයි අසා සිටියෙමි. ඇය මගේ භාෂා උරුවෙන් සිංහල බව හැඳින ඉතා හොඳ පැහැදිලි සිංහලෙන් පිළිතුරු දෙමින් ඉතා සුහදශීලීව මා පිළිගත්තාය. අපේ කතාබහට දෙමළ භාෂාව හසුරවන මිතුරාගේ සහය අවශ්‍ය නැතිබව සැලවී මට මා ගැනම යම්කිසි වරදකාරී හැඟීමක් දැනිනි. මම එය ඇයට නොපෙන්වා කතාබහ අරඹන්නට ඇයට ඉඩදුණි.

‘ මම පේරාදෙණි කැම්පස් ගියේ 97 දී ඉතින් මට එහෙදි තමයි හස්බන්ඩ්ව (වෛද්‍ය සාෆිව) හමුවෙන්නේ. එයා ඒ කාලේ ඉඳන්ම මිනිස්සුන්ට හරි ලැදියි. එයා සමාජ ක්‍රියාකාරිකකම් වලට හරි කැමැති කෙනෙක්. ‘

ඇය කතා කරන අතරතුර වටපිට බැලුවේ සැකයෙන් මෙන්ය. ඒ සැලකිලිමත්බවේ පීඩාව බුර්කාවක්, නිකබාවක් තබා හිස් ආවරණයක්වත් පැළඳනොසිටි ඇය හොඳින් මේ දිනවල අත්විඳින නිසා විය හැකිය. බහුතරය අපි සුළුතරය පීඩාවට පත්කිරීමෙහි ලා ආසියාවේම ආශ්චර්යමත් තත්වයකට දශක ගණනක් තිස්සේ පත්ව ඇතිබව සිහිවිය.

‘අපි විවාහ වෙන්නේ 2004දි ඊට පස්සේ තමයි අපි කුරුණෑගලට ආවේ. 2004 දි තමයි එයාගේ සීමාවාසික වෛද්‍යවරයෙක් විදිහට පළවෙනි පත්වීම ලැබුණේ. 2005 වෙනකල් කුරුණෑගල ඉඳලා 2006 හස්බන්ඩ් ගලේවෙල මූලික රෝහලට ගියා. එහෙම තමයි එයාගේ වෛද්‍ය වෘත්තිය පටන් ගන්නේ. 

ඒවා දිස්ත්‍රික් රෝහල් නිසා විශේෂ ඒකක නැහැ. ඒ නිසා  MO කෙනෙක් (වෛද්‍ය නිළධාරී) කෙනෙක් විදිහට තමයි එයා සේවය කළේ. 

පස්සේ 2007 දී ආපහු කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් විදිහට එයා ආපහු වැඩ පටන් ගත්තා. 2007 ඉඳන් 2013 වෙනකල් මගේ හස්බන්ඩ් කුරුණෑගල රෝහලේ සේවය කළා.  පස්සේ  දඹුල්ලට එයාට මාරුවීමක් ලැබෙනවා. ඒ ලැබෙන්නෙත් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් විදිහටමයි.’


''මගේ හස්බන්ට තිබුණේ UNP පසුබිමක්....''


අපි අතරට ලැබෙන සිසිල් බීම වීදුරු තුන අත් අතරේ බෙදී ගියහ. ඇය එය දෙතොලේ තබා උගුරක් දෙකක් බොමින් සිටියදී කැස්සක් ඇතිවිය. මට හදිසියේම සිහිවූයේ මහගෙදරදී අම්මා තේ එකක් බොද්දී සිරවූ විට සිහිකරන්නේ කුඹුරේ ඇති තාත්තා ගැනයි. ‘තාත්තා බඩගින්නෙද දන්නේ නෑ - තාත්තා තිබහෙන් ඇත්තේ’ අම්මාගේ ඇස්දෙකේ එවිට කඳුළකි. සමහරවිට ඇයට මේ මොහොතේ දැනේනනට ඇත්තේද සැමියාගේ බඩගින්න ගැන විය හැකිය.

‘2015 දි හස්බන්ඩ් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ නිසා හස්බන්ඩ් ඉල්ලා අස්වුනා. මගේ හස්බන්ට තිබුණේ UNP පසුබිමක්. එයාට යෝජනාව එන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමාගෙන්. ඒත් එයා ඒ වෙලාවෙදි කියනවා ජාතියක් මත පදනම් වෙලා මට ඡන්දේ ඉල්ලන්න බැහැ ඕනේ නම් මම UNP එකෙන් ඉල්ලන්නම් කියලා. ඒත් ඒ වෙලාවෙදි ඒ ඇමැතිතුමාලා UNP එකත් එක්ක එකතු වෙලයි ඡන්දෙ ඉල්ලුවේ.

ඒ නිසා එයා ඒක පිළිගත්තා. එයාට ඡන්දෙ ඉල්ලන්න යෝජනාව එන්නෙත් එයා මිනිස්සුන්ගේ හිත දිනාගෙන හැමෝටම සේවය කරපු කෙනෙක් නිසා. එයා ජනප්‍රිය වුණේ දේශපාලනයක් නිසා නෙමෙයි.  ලෙඩෙක් ආවොත් දැන් මගේ වෙලාව ඉවරයි කියලා ගෙදර ආපු කෙනෙක්වත්, හෙට එන්න කියලා ලෙඩෙක් හරවලා යවපු කෙනෙක් නෙමෙයි මගේ හස්බන්ඩ්. ඔහු රස්සාව කරද්දී කැපවීමෙන් වැඩ කරනවා. 

ඔහු දැඩිව විශ්වාස කළා අම්මා කෙනෙකුගේ සැත්කමක් එක දවසක් ප්‍රමාද කළොත් ඒ අම්මා ගෙදර යන එක පරක්කු වෙන නිසා, එක් දවසක්වත් සැත්කම පරක්කු නොකළ යුතු බව. එච්චරටම එයා මිනිස්සු ගැන හිතුවා. හැබැයි ඒ සිතුවිල්ලට මුස්ලිම්,සිංහල, දෙමළ කියලා භේදයක් තිබුණේ නෑ. ඒක මගේ හස්බන්ඩ් ආශ්‍රය කරපු හැමෝම දන්නවා.

අනෙක සිසේරියන් සැත්කමක් වෙනුවෙන් පැය හයක් අම්මා කෙනෙක් බඩගින්නේ ඉන්න ඕනෑ. ඩොක්ටර් කෙනෙක් සැත්කම කල්දැම්මොත් පැය හයක් බඩගින්නේ හිටපු අම්මා කෙනෙකුගේ බලාපොරොත්තු කඩවෙනවා. ඒ අම්මා පහුවදාත් බඩගින්නේ ඉන්න ඕනෑ. ඒ වගේ  ප්‍රතිපත්ති ගොඩක් එයාට තියෙනවා. එයා කැපවෙලා වැඩකරන කෙනෙක්.’


safi2

මේ රටේ සෑම අම්මා කෙනෙක්ම ඇසිය යුතු කතාවක් :

චෝදනාවට ලක්ව සිරගතවී සිටින වෛද්‍ය සාෆිගේ මේ කතන්දරය මේ රටේ සෑම අම්මා කෙනෙක්ම ඇසිය යුතු කතාවකි. ඒ නිසාම මොන පීඩාවක්, අපවාදයක් එල්ලවූවත් මෙය මිනිස්සුන්ට කියවන්නට කොහේ හො තැනක පළකල යුතු බව මගේ හිත මටම පොරොන්දු වුණා. ඇය කතාව දිගටම කරගෙන යන්න වුණා.

‘ඒ නිසායි මිනිස්සු අතර හරිම ජනප්‍රිය කෙනෙක් වෙලායි හිටියේ. ඒ වගේම එයාට ආගම් ජාති බේදයක් රෝහලේද පිටද කියලා බේදයක් තිබුණේ නැහැ.  පිටින් එන රෝගීන්ට වගේම රෝහලේ සුළු සේවයාගේ ඉඳන් හැමෝටම ඩොක්ටර් උදව් කළා. මම හඳුන ගත්ත කාලේ ඉඳන් ඒ ඒයාගේ හැටි.  හැබැයි ගෙදර හැමෝම ඡන්දේ ඉල්ලනවට විරුද්ධවයි හිටියේ. ඒත් එයාගේ ආසාවටයි කැමැත්තටයි තමයි ඡන්දේ ඉල්ලුවේ. 

මාසයක් වගෙ කාලයක් ඡන්දෙ වෙනුවෙන් වැඩ කරලා, ඒ නිසාම තමයි එයාට 57000 ගාණක් ඡන්ද ගන්න පුළුවන් වුණේ. එයා ලිස්ට් එකේ 08 වෙනියට තමයි හිටියේ.  07 දෙනෙයි පාර්ලිමේන්තුවට තෝරා ගත්තේ. 

''රිෂාඩ් ඇමැතිතුමාලා වෙනම ඉල්ලපු නිසා හස්බන්ඩ් දේශපාලන කටයුතු වලින් අයින් වුණා''


පස්සේ පළාත් පාලන මැතිවරණෙට රිෂාඩ් ඇමැතිතුමාලා වෙනම ඉල්ලපු නිසා හස්බන්ඩ් සියළුම දේශපාලන කටයුතු වලින් අයින් වුණා. මොකද එයාට කළකිරුණා පොදු පක්ෂයකින් ඡන්දෙට ඇවිත් ආපහු එයාලා කල්ලි ගැහුණා වගේ වුනාම.  ඒ නිසා ආපහු අවුරුදු 1 1/2 පස්සේ ආපහු වෛද්‍ය සේවයට එකතු වුණා. 

දඹුල්ලේ වැඩ  භාර අරගෙන එයා රස්සාව කරගෙන ගියා. පස්සේ ආපහු ට්‍රාන්සර් වෙලා කුරුණෑගලට ආවා. ඒ වෙද්දි එයාගේ සර්විස් පීරියඩ් එක අවුරුදු 9 ක් විතර වෙනවා.’

දේශපාලනය මෙරට වෘත්තිකයන්ට අමුතු දෙයක් නොවේය. ඒ නිසාම කොල්වින්ලා, දොස්තර වික්‍රමසිංහලා මෙරට දේශපාලනයේ පතාක යෝධයන් බවට පත්විය. එපමණක් නොව දේශපාලනයට පැමිණි මුස්ලිම්,දෙමළ වියතුන් මෙරට උදෙසා කළ කාර්යභාරය ජාතිය මත පදනම්ව ලඝු කිරීමට කිසිසේත්ම බැරිය. ඒ අතින් දැන් සිටිනා 225 ම ලැජ්ජාවට පත්විය යුතු බව මට හැඟිණි. 

එසේ දේශපාලනයට එන්නත්, කුරුණෑගල දිස්ත්‍රික්කය වැනි සිංහල ජනතාව අති බහුතරයක් සිටින ඡන්ද බල ප්‍රදේශයක අනිවාර්යයෙන්ම සාෆිට ලැබුණු ඡන්ද වලින් සියයට හැත්තපහක්වත් සිංහල ඡන්ද විය යුතුය. ඔහු එතරම් අවිශ්වාසනම් මිනිසුන් ඔහු කෙරේ පළමු වතාවේම විශ්වාසය තබාවිද? ඒ ප්‍රශ්නය දැඩිසේ මා හට වදදෙන්නට විය.

''මගේ හස්බන්ඩ් වගේම මමත් ඉපදුනේ සාමාන්‍ය මුස්ලිම් පවුල් වල''

‘මෙහෙම ඉන්දි තමයි අප්‍රියෙල් 21 ප්‍රහාරයක් සිද්ධ වුණේ. ඒක අපේ ජීවිත වලට මෙච්චර ලොකු බළපෑමක් කරයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. මොකද මගේ හස්බන්ඩ් වගේම මමත් ඉපදුනේ සාමාන්‍ය මුස්ලිම් පවුල් වල. අපිට ඔය තව්හිජ් ජමාත් කියන ඒවට සම්බන්ධයක් නැහැ. මොකද අපි සාමාන්‍ය මුස්ලිම් පවුල් වල අය නිසා අපි කිසිම නිකායකට අයිති නැහැ.  

අපි වෙනම මුස්ලිම් ගම්වලත් නෙමෙයි ජීවත් වුණේ. අපි හැමොමත් එක්ක හැමෝටම උදව් කරගෙන සිංහල ගමක තමයි ජීවත් වුණේ. ප්‍රහාරය ගැන නිව්ස් වලින් දැකලා මට කතාකරලා කිව්වෙත් හස්බන්ඩ් මයි. එයා පුදුමාකාර වේදනාවකින් තමයි ඒ වෙලාවේ කතාකලේ

21 වෙනිදා සිද්ධියෙන් පස්සේ අපේ ගෙදර චෙක් කරන්න දෙපාරක් ආවා. පළවෙනි පාර ගෙදර චෙක් කරන්න එද්දි මමයි මහත්තයයි දෙන්නම වැඩට ගිහින් හිටියේ. ගෙදර හිටියේ මගේ ලොකු දුව විතරයි. දුවට කියලා තිබුණා පිට කවුරු හරි මෙහෙ එනවද බලන්නයි ආවේ කියලා.

දෙවැනි වතාවේ මම ඉන්න වෙලාවකයි ආවේ. අපේ ගෙදරම කෑල්ලක් අපි කුළියට දීලයි තියෙන්නේ. කුරුණෑගල නෙළුම් පැෂන් කියලා ආයතනයේ වැඩ කරන ගැහුණු ළමයි කිහිප දෙනෙකුට. ඒ අය සිංහල ළමයි.  ඒ ළමයින්ගේ අයිඩින්ටි කාඩ් එහෙම ඔක්කොම බලලා විස්තර අහලා මගෙනුත් ඒ ළමයින්ගේ විස්තර අහලා ගියා.එදා සිද්ධියෙන් පස්සේ චෙක් කරනවා කියලා එකත් තියෙන නිසා හැමතැනම අපි ඒක එච්චර හිතුවේ නැහැ.’


''එයාලා ප්‍රශ්න කළේ අපි හදිසියේ පොසත් වුණා කියන කාරණය''


ඇය මොහොතක් කල්පනා කරන්නට විය. ඇගේ මුහුණේ අතීත විස්තර දිගහරිද්දී මතුව තිබුණු සොඳුරු රේඛා වෙනුවට භීතිය, වේදනාව නිසා මතුව ආ අඳුරු පැහැයකින් වෙළීයන්නට පටන්ගත්හ.

‘පස්සේ මැයි මාසේ 07 වැනිදා අපේ මහත්තයාගේ තාත්තාගේ පාට්නර් ෂිප් එකෙන් අයිති අපේ ලැබ් එකක් තියෙනවා. අපිට මේ වෘත්තියේ ඉන්න කොට වෙන බිස්නස් කරන්න බැරි නිසා ඒ ලැබ් එක ඔක්කොම බලන්නේ මගේ මහත්තයා. ඒ ලැබ් එක තියෙන බිල්ඩින් එකත් අපෙ කියලා හැමෝම කිව්වා. ඒත් ඒක අපේ නෙමෙයි. ඒක අබේරත්න ව්‍යාපාරයට අයිති බිල්ඩින් එකක්. ඒත් අපිට අසාමාත්‍ය දේපල තියෙනවා කියන්නත් ඒ බිල්ඩින් එක පාවිච්චි කරනවා. ඒත් එකේ එක කෑල්ලක් කුළියට අරගෙනයි අපි ඒක කරගෙන ගියේ.

එතැන බල්ලෝ එහෙම දාලා චෙක් කරලා රෑ 9.30 විතර මහත්තයාගෙන් ප්‍රශ්න කළා. මහත්තයාගේ බැංකු පොත් එහෙම ඔක්කොම පොලිසියෙන් අරගෙන ගිහින් තිබුණා. එයාලා ප්‍රශ්න කළේ අපි හදිසියේ පොසත් වුණා කියන කාරණය මත ඉඳගෙන තමයි. 

මමයි මගේ මහත්තයයි දෙන්නම දොස්තරවරු. අපි ලැබ් එකක් කරනවා. ඊට අමතරව ප්‍රයිවට් කරනවා. උපදේශන සේවා කරනවා. ඉතින් අපි දෙන්නා සැළකිය යුතු මුදලක් මාසයකට උපයනවා. එහෙම කරන්නේ අපි විතරක් නෙමෙයි. ඒකට තමයි මේ අපිට අසාමාන්‍ය මුදල් තියෙනවා කියලා චෝදනා කරන්නේ.’

වරක් මාගේ මිත්‍ර බදු නිලධාරීවරයෙක් කියූ කතාවක් සිහිවිය. ආදායම් බදුවලින් කට්ටි පනිමින් සිටි සිංහල වෛද්‍යවරයෙක්ගේ ආදායමෙන් ලංකාවම මිළදී ගන්නට හැකියාව තිබුණ බව කියවිනි. ඒ ගැන සොයන්නට කව්රුවත් සිටියේ නැත, ඒත් සාෆි මුස්ලිම් ජාතිකයෙකි, ගැටළුව වූයේ අන්න එය බව පැහැදිලිය. නැවතත් සාෆිගේ බිරිඳ සිදුවූ සියල්ල කියන්නට පටන් ගත්තාය.


''ළමයින්ව මරන්න ඕනේ වගේ දේවල් ෆෙස්බුක් කමෙන්ට්ස් අපිට එන්න ගත්තා'' 

comment


“ඊට පස්සේ හැමදේම නිකන් ගෙවිලා ගියා. පස්සේ 23 වැනිදා දිවයින පත්තරේ ලිපියක් පළවුණා. තවුහිද් ජමාත් දොස්තර කෙනෙක් මෙහෙම දෙයක් කරලා තියෙනවා කියලා තමයි ඒ ලිපිය පළවෙන්නේ. අපි ඒක ගණන් ගත්තෙත් නැහැ. මොකද අපිට ඒවා අදාළ නැති නිසා. 

 හැබැයි එදා හවස මහත්තයාගේ Facebook එකේ පින්තූර ටිතත් අරගෙන රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය කෙනෙක් වෙන චන්න ජයසුමන එයාගේ facebook එකේ දාලා තිබුණා ඩොක්ටර් සාෆිගේ සම්බන්ධයක් තියෙනවා කියලා එයා ලියලා මේ දිවයින පත්තරේ ලිපියත් දාලා තිබුණා. ඒකේ හස්බන්ඩ්ගේ නමත් සඳහන් කරලා තිබුණා ඒක උදේ වෙද්දි 400කට වැඩිය ශෙයා වෙලා තිබුණා.  පස්සේ 24 වෙනිදා උදේ වෙද්දි  එයා ඒ පෝස්ට් එක එයාගේ Facebook එකෙන් අයින් කරගෙනත් තිබුණා.  

ඒ ලිපියත් එක්ක තමයි ගොඩාක් ප්‍රශ්න වුණේ අපිට. හස්බන්ඩ්ව මරන්න ඕනේ ළමයින්ව මරන්න ඕනේ වගේ දේවල් කමෙන්ට්ස් අපිට එන්න ගත්තා. මම ඒවල ෆොටෝකොපි ටිකකුත් අරගෙන පැමිණිල්ලක් දාන්න හැමදේම ලෑස්ති කරලයි තිබුණේ. මගේ හස්බන්ඩ් එදා හවස ලෝයර් හම්බෙන්නත් ගියා. එයාකිව්වා අපි ලියුමක් ලියලා හෙට දාමු කියලා. ඒත් මගේ මහත්තයා  මේ ෆෙස්බුක් එකේ ගිය දේවල් ගණන් ගත්තේ නැහැ. මම වැරැද්දක් කරලා නැහැ.  ඒ නිසා  බයවෙන්න දෙයක් නැහැ කියලයි මගේ සැමියා හිතුවේ.’

වෛද්‍ය සාෆිගේ ඒ සන්සුන්කමේ තිබෙන්නට ඇත්තේ වරදක් කර සැඟවෙන්නට උත්සහ දරණ වැරදිකරුවෙක්ගේ සේයාවක් නොව, මෙරට නීතිය විශ්වාස කරන පුරවැසියෙක්ගේ බලාපොරොත්තුව වන්නට ඇත.

“මම බයෙන් හිටියේ වැරැද්දක් කළත් නැතත්, ගෙදරට ඇවිල්ලා කරදරයක් කරයි කියලා. ඉතින්, එයා පල්ලියට ගිහිල්ලා වැඳලාම එන්නම් කියලා යන්න පිටත්වුණා. ? මොකද ඒ නොම්බි කාලේ නිසා හවස් වෙද්දී නෝම්බි අරින්න ඕනෑ, පල්ලි යන්න ඕනෑ නිසා එයා පල්ලියට ගියා පස්සේ පැමිණිල්ල දාමු කියලා. 

අට විතර වෙද්දී සිවිල් ඇඳුමෙන් නිලධාරීන් දෙන්නෙක් ඇවිත් නිවසෙන් එළියේ හිටියා. එයාලාව ගේ ඇතුලට අරගෙන කතාකලා. මගේ සැමියා කොහෙද කියලා ඇහුවා. එයා පල්ලියට ගියා කියලා අපි කිව්වා. එහෙනම් දැන් කොල් කරලා එන්න කියන්න කියලා ඒ නිලධාරියා අපිට කිව්වා. පස්සේ මම මහත්තයාට එන්න කියලා කිව්වා. 

 මහත්තයා ආවට පස්සේ  එයාලා  විදියට කිව්වා එහෙනම් අපි යමු පොලීසියට, දැන්ම පැමිණිල්ලක් දාමු කියලා. ඊටපස්සේ පොලිස් ජීප් එකකින් පොලීසියට යන්න පිටත් වුණා. මගේ මල්ලිලා එයාලාගේ වාහනයේ ජීප් එක පිටිපස්සෙන් ආවා.’


හින්දි හෝ දමිළ සිනමා පටයක සිදුවීම් දාමයක් පරිද්දෙන්..


එතනින් පසුව සිදුවූ බොහෝ දේ හින්දි හෝ දමිළ සිනමා පටයක සිදුවීම් දාමයක් පරිද්දෙන් මැවී පෙනෙන්නට විය. රටම මරබියෙන් ඇවිලෙද්දී එක් එක් පුද්ගලික න්‍යාය පත්‍රද ක්‍රියාත්මක වන බව පැහැදිලිවම පෙනේනනට තිබිණි.

‘අපි පැමිණිල්ලක් දාන්න හිතාගෙනයි ගියේ. ඒත් පොලීසිය පහුවෙලා ටිකක් දුර ගියා. ඊට පස්සේ පාර හරස් කළා. සැමියා එද්දී ඔහුව අත්අඩංගුවට ගත්තා. පාර අයිනේම පැය භාගයක් විතර ඔහුව තියාගෙන කාට හෝ ෆෝන් වලින් කතා කළා. 

මට තේරුණු විදියට ඔහුව අත්අඩංගුවට ගන්නද එපාද කියලයි කෝල් කරලා ඇහුවේ. ඒකෙන් පස්සේ අපට එන්න එපා කියලා පොලීසියට සැමියාව විතරක් අරගෙන ගියා. අපි ගෙදර ආවා. ආයෙමත් පැයකින් විතර සැමියාවත් අරගෙන පොලිස් නිලධාරීන් ගෙදරට ආවා. එතකොට මගේ පැමිණිල්ල බාර අරගෙන තිබුණේත් නැහැ, එයාලාගේ අතේ තිබුනු මගේ පැමිණිල්ලේ ලිපිගොනුත් අතුරුදන්.’

කාන්තාවන් වන්ද්‍යකරණ කර රටවල් අත්පත් කරගත හැකිද? එය කාගේ තියරියක්ද කියා ප්‍රශ්නයක් ඇත. මව්කුස සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක්ට ඇත්තේ බරපතල සංවේදී සබඳතාවයකි. වසර ගණනක් තිස්සේ දරුවන් දහස් ගණනක් මෙළොව එළිය දකින්නට උදව් කළ අත්දෙකකට එවනි පරපුරක් මෙළොව එළිය දැකීම නතර කිරීමට කිසිසේතම් බැරිය. හිපොක්‍රටිස් ප්‍රතිඥාව ලබාදුන් කිසිඳු මිනිසෙක්ට එය කළ නොහැකිය.

 සාෆි යනු ත්‍රස්තවාදියෙක් නොවේය, ඒ නිසා මේ සිදුවීම් දාමය අදටත් පැනයක් බව මා හට දැනුණි. කොතැනක හෝ බලවත් හස්තයක් මෙය මෙහෙයවන බව දැනුණි.


''කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද හැමෝම බයයි''


‘ඔය GMO එකෙයි හැම දොස්තර කෙනෙක්ම දන්නවා තියටර් එකක කීදෙනෙක් ඉන්නවද කියන කාරණය. ඉතින් එහෙම අයගේ ඇස් වහලා එහෙම LRT එකක් කරන්න බැහැ. අනික LRT එකක් කරන්න ඒ අම්මගේ තාත්තාගේ දෙන්නගේම අත්සනෙන් යුතු පූරමයක් තියෙනවා පුරවන්න.  

එහෙම වඳ සැත්කම් කරන්න පුලුවන්ද බැරිද කියලා හැම දොස්තර කෙනෙක්ම දන්නවා. ඒත් කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද හැමෝම බයයි අපිටත් මොනවගේ කතා හැදෙයිද කියලා. දැන් එළියට ඇවිල්ලා කතාකරන අම්මලා ඉන්න බව ඇත්ත. 

ඒත් මේ ජාතිවාදී පසුබිමේ එළියට නොආපු, එයා ගැන ගෞරවයෙන් කතාකරන අම්මලා ගොඩක් ඉන්නවා.  සමහරක් අය අපිට කතා කරලා කියනවා අනේ ඩොක්ටර් අපිට කරන්න දෙයක් නැහැ බෝඩ් උස්සගෙන අපිට අද උද්ඝෝෂණේට යන්න වෙනවා අනේ ඒකට සමාවෙන්න කියලා. 

මගේ මහත්තයාට ඉහලින් කෙනෙක් ඉන්නවා. එයා තමයි තීරණය කරන්නේ මේ අම්මාට සිසේරියන් සැත්කමක් කරනවාද නැද්ද කියලා. මගේ මහතත්යාට කරන්න තියෙන්නේ පවරන රාජකාරිය විතරයි.  

සමහරක් වෙලාවට නොමල් ඩිලිවරි කරන්න ගිහින් දරුවෝ මගදි හිරවෙලා සිසේරියන් වලට එන අම්මලාත් ඉන්නවා. ඒ අය පවා VOG ගේ තීරණයෙන් තමයි මෙතැනට එන්නේ.  අපිට මෙහෙම කරන්නේ අපි වෙන ජාතියක නිසාද දන්නේ නැහැ කියලා දැන්නම් මට හිතෙනවා.”

ඇත්ත, ඇයගේ අදහස නිවැරදිය. ත්‍රස්තවාදයට ජාතියක් ජම්මයක් නැත. එහෙත් ත්‍රස්තවාදයෙන් බැටකෑ වුන් මෙන්ම ත්‍රස්තවාදයට සම්බන්ධ නොවූ උන් පවා ත්‍රස්තවාදයේ නාමයෙන්, ජාතියේ නාමයෙන් දුක්විඳින බව ඇගේ වචන සාක්ෂි දරමින් කියා සිටියි.


''මගේ දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ...අපට දැන් ඉන්න ගෙදරක් නැහැ''

‘මේක ඇත්තටම රේසිසම් සම්බන්ධ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මගේ දරුවෝ ඉන්නේ එක දිහාක මම තව දිහාක ඉන්නේ. මගේ දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ. ආදි ශිෂ්‍ය සංගම් වලින් කතා කරලා කියනවා දරුවෝ පාසල් එවන්න එපා කියලා. මගේ දරුවන්ව මරණවා කියලා කියනවා. අපට දැන් ඉන්න ගෙදරක් නැහැ. මොකද ගෙදර ඉන්න බැහැ ගමේ තත්වයත් ඉතාමත් නර තැනක තියෙන්නේ. 

මමත් කුරුණෑගල රෝහලේ වකුගඩු අංශයේ වැඩ කරන්නේ. මම දැනට ලෙඩ නිවාඩු පිට. මටත් රස්සාවට යන්න විදිහක් නැහැ. අපේ ජීවිත විනාශ වෙලා ගිහින්. මට දොස්තර කෙනෙක් නිසා මට තේරෙනවා මගේ මානසික මට්ටමත් අවුල් වෙලා කියලා. මම දැනට ඒකට ප්‍රතිකාර කරනවා.

 මම වැඩ කරන්නේ ඉතාම සියුම්ම ප්‍රතිකාර කරන්න තියෙන අංශයක. මේ මට්ටමෙන් මට කොහොමත් රස්සාවට යන්න බැහැ.  මොකද පොඩිහරි අතපසුවීමක් වුණොත් දැන් ඒකත් මේ පිටින් යනවා. “

ඇය කතාව නතර කර ලේන්සුවෙන් කඳුළු පිසදාගන්නට විය. මම ලංව ඇගේ කඳුළු දෙස බැලුවෙමි. ඒ කඳුළුවල ජාතියක නමක් හෝ ආගමක නමක් ලියවි නොතිබිණි. එහෙත් ඇගේ වේදනාවට හේතුව ජාතියක්, ආගමක් වීම ඛේදවාචකයකි.


මාධ්‍ය මාෆියාව විසින් සාෆි එල්ලුම්ගහට දක්කා අවසන්ය:

safi3
‘මගේ මහත්තයා වැරැද්දක් කරලා තියෙනවානම් කිසි ප්‍රශ්නයක්නැහැ ඒකට මහත්තයා වුණත් දඬුවම් විඳින්න ඔනේ. ඒත් නීතිය ඉදිරියේ වැරදි කරුවෙක් වෙන්න කලින් එයාව මේ මාධ්‍ය වගේම මිනිස්සුත් වැරදි කාරයෙක් කරලා ඉවරයි. මම හිතන්නේ මහත්තයා නිදහස් වෙලා ආවත් ආපහු කළින් වගේ වැඩ කරන්න පුළුවන් තත්වයක් නම් ඇති වෙන එකක් නැහැ.’

සැබෑ ලෙසින්ම දැන් මාධ්‍ය මාෆියාව විසින් සාෆි එල්ලුම්ගහට දක්කා අවසන්ය. වෛද්‍ය සාෆි ගැන මැදිහත් මතයක් දරණ සිංහල, දෙමළ මිනිසෙක් පවා සමාජය ඉදිරියේ ත්‍රස්තවාදියෙක්, අන්තවාදියෙක් වෙන තැනට කරුණු මාධ්‍ය විසින් හරි අපූරුවට ගොතා ඇත. ඒ මාධ්‍ය මාෆියාවේ ප්‍රබලත්වය ඔබට සිතාගැනීමට පවා නොහැකිය. ඕනෑම වීරයෙක් පැය කිහිපයකින් ද්‍රෝහියෙක් කරන්නට තරම් එය ශක්තිමත්ය. ඒ නිසාම මිනිසුන් බ්ලැක් මේල් කරන තරමට ඔවුන් පත්වී ඇත.

‘මේ තත්වයත් එක්ක මේ රටේ පුරවැසියෙක් වීම ගැනත් තියෙන්නේ ලොකු කළකිරීමක්. ‘

වෛද්‍ය සාෆිගේ බිරිඳට දැනෙන දේ මේ රටේ දහස් ගණනක් මිනිසුන්ට වසර ගණනක් තිස්සේ දැනෙමින් ඇත. එයට හේතුව මෙරට ඉතිහාසයේ හෝ වර්තමානයේ වරදක් නොව, මෙහි ක්‍රියාත්මක වන හැමදේටම දේශපාලනය, ආගම, ජාතිය ගැවීමේ කරුමයයි. ඒ කරුමයෙන් ගොඩඑන්නට අද සාෆිට අපහසුවී ඇත. හෙට ඒ මට හෝ ඔබට විය හැකිය. 

එවිට අද අප පූජාසනයේ තබන වුන්ම, ගසන්නට ගල් රැගෙන අප සොයා පැමිණෙනු ඇත. ඒ නිසා පීඩකයෙක් වන්නට ඔබ උත්සහ කරනවානම්, හෙට ඔබ පීඩිතයෙක් විය හැකිබවද අමතක නොකර සිටීම වැදගත්ය. 

මම මොහොතකින් ලිවීම නතරකර වෛද්‍ය සාෆිගේ බිරිඳට ස්තූතිය පලකර අවන්හලෙන් නික්ම ආවෙමි. එවිටත් ඇය කඳුළු පිරි දෑසින් විදුරු ජනේලයෙන් එපිට පෙනෙන අනන්ත සාගරය දෙස බලා සිටිනු පෙනිණි.


(උපුටා ගැනීම: හිමාශි කරුණාරත්න - newsoflanka.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්