රම්බෝගේ ජීවිතය අලලා මා කලින් සතියක ලියූ ෆ්‍රන්සක්කාර ලියවිල්ලක බෝද්ලෙයා ‘මත්වීමේ ආදිනව’ ගැන ලියූ නූතනවාදී අති රමනීය ගද්‍ය කවිය ගැන සඳහන් කලෙමි. මත්වීම පිළිබඳව වරනැඟෙන මෙකව කවරක්දැයි ‘ෆ්‍රන්සක්කාරයෝ’ කියවන සහෘදයෙක් අසා එවා තිබිණ. එබැවින් ඒ ගැන යමක් ලිවිය යුතු යැයි සිතුවෙමි.
කොහොමත් බෝද්ලෙයා ගැන මෙහි ලිව්ව යුතු ය. ඉදින් එය මත්වීම හරහා ම පටන් ගන්නට පිළිවන.
ඔබත් ‘ෆ්‍රන්සක්කාරයෝ’ කියවන සහෘදයෙක් නම් එහි එන ඇතැම් ඩීටේලීයමය දෑ ගැන උනන්දුවක් වේ නම් ඒ ගැන ඊමේලයකින් විමසාලන්නට පිළිවන. එවිට ඒ ගැන ඉදිරි කලාපයක ලිව්ව හැකි ය.
***
ෂාල් බෝද්ලෙයා ‘ඔනිව්රේ-වූ’ (Enivrez-vous) මැයෙන් ලියූ ගද්‍ය කවිය පහසුකර සිංහලයට නගන්නේ නම් මෙබඳු ය. ‘මත්වැ සිටිය යුතු’ මැයෙනි.

"හැම නිතර මත්වැ සිටිය යුතු. වැදගත් ම අතශ්‍යවශ්‍යම කරුණ, එපමණකි.
උරබාහු බිඳදමා මහ පොළොව මත ඇදදමන ගතව යන කාලයේ පිළිකුල්ම භයංකර හිසරදය නොදැනෙන්න නම් තිර ලෙසම අඛන්ඩව මත්වැ සිටිය යුතු.
"නමුත් ඒ මත්වීම කුමකින් ද? මුද්‍රිකපානයෙන්, කාව්‍යයෙන් හෝ සදාචාරයෙන් ඔබ කැමති දෙයකින්. කැමැත්ත තීන්දුව ඔබේ ය. නමුත් ඔබ මත්වැ යා යුතු.
"ඇතැම් විට, මන්දිරයක ද්වාරමණ්ඩලයෙහි, ඇල ඉවුරක තණ බිස්සක, දුක්මුසු හුදෙකලාවෙහි ඇලුණු ඔබේම කුටියෙහි, ඔබ අවදිවන කල්හි , ඔබ අඩමතින් හෝ සිඳිමතින් සිටින්නට පිළිවන.
"පවනැල්ලෙන් අසන්න, දිය රළින්, තාරුකකාවෙන්, විහඟුන්ගෙන්, හෝරා යන්ත්‍රයෙන් අසන්න. පළායන සියල්ලෙන්, කෙඳරිගානා, පෙරලෙනා, ගී ගයනා, තෙපලනා සියල්ලෙන් අසන්න, වේලාව;
"සුළඟ ද, දියරළ ද, තාරුකාව ද , විහඟ ද, හෝරා යන්ත්‍රය ද පිළිවදන් දෙනු ඇත. ‘මේ මත්වැ යා යුතු ම වේලාවයි’’
"ගතව යන කාලයට දිවිපුදන වහල්ලුන් නොවිය යුතු. මත්වෙන්න. මත්වෙන්න, අඛන්ඩව මත්වෙන්න. සුරාවෙන්, සුචරිතෙන් , කවියෙන්, කුමක් හෝ ඔබ කැමති දෙයකින් මත්බරවැ යන්න."
***
‘පැරීසි දෝමනස්ස සමය’ ලෙස සිංහලයට වර නඟා ගත හැකි ‘ල ස්ප්ලීන් ද පරී’ (Le spleen de Paris) නොහොත් ‘පෙති පොයෙම් ඔන් ප්‍රෝස්’ (Petits poemes en prose) හෙවත් ‘පැටි ගැදි කවි ‘ කෘතියේ අන්තර්ගත මෙකී ‘මත් කවිය’ වන ‘ඔනිව්රේ-වූ’ හරහා බෝද්ලෙයා සිදුකරන දාර්ශනික ක්‍රීඩාව කුමක් වන්නට පිළිවන්ද? එය ගැඹුරු දාර්ශනික පැනයකි. නමුත් යම් තරමක හෝ ඥානනයක් අත්පත් කර ගන්නට එහි අවකාශ තිබෙයි. ඔහු එහිදී මූලිකවම ස්වකීය කාව්‍යමය ඇවිලවීම සිදුකරලන්නේ ‘කාලය’ පිළිබඳ දාර්ශනික මෙන්ම අතිශය වැදගත් පැනයක් වෙතයි.

බෝද්ලෙයා මෙම කෘතියේ ඇතැම් කවි හරහා විශේෂයෙන්ම සලකුණු කරන්නේ පරිපීඩිත නාගරික ආත්මීයත්වය බව මම ඔබට පවසමි. ‘මත්වැ සිටිය යුතු’ නම් මෙකව පවා මෙම ප්‍රවාදයට ඇතුළත් ය. අතිශය වේගයෙන් නවීකරණය සෙයියාවෙන් නාගරීකරණය ඔඩුදුවන සන්දර්භයක් තුළ මිනිසුන් අතරවන සම්බන්ධතාවන් කවරාකාර වනු ඇද්ද ? එහිදී ‘කාලය’ පිළිබඳ සංකල්පය පෙනී සිටින්නේ කවර ස්වරූපයකින්ද ? බෝද්ලෙයා සහෘදයාට අබිමුඛ කරනන්නේ මෙන්න මෙයාකාර වූ දාර්ශනික නිමේශයකි. ‘නූතනත්වයට’ එළඹෙමින් සිටින මනුෂ්‍යාගේ දෛනික ජීවිතය මුළුමනින්ම ‘කාලය’ විසින් පාලනය කරනු ලැබීම මෙම කවිය හරහා බෝද්ලෙයා අභියෝගයට ලක්කරයි. එය ඇතැම් විට විරෝධයක් ලෙස බාර ගන්නට පිළිවන. වෙනත් ලෙසකින් ගතහොත් විරෝධයක් නොව, ඇස් පනා පිට දිගහැරෙමින් පවතින රුදු යථාර්ථය නිරූපනය කර පෙන්වීමක් ලෙස සලකුණු කළ හැකි ය.
කවියෙහි ප්‍රවේශය මතම බෝද්ලෙයා සහෘදයාට මෙනෙහි කරන්නේ ‘හැම නිතර මත්වැ සිටිය යුතු. වැදගත් ම අතශ්‍යවශ්‍යම කරුණ, එපමණකි. ‘ යනුවෙනි. එය අතිශයෝක්තිකර යෝජනවාකැයි ගන්නට බැරි කමක් නැත. පොදුවේ ගත් කල කාව්‍යමය වපසරියේ අතිශයෝක්තිය සැලකෙන්නේ බෝරිංසහගත මූලධර්මයක් ලෙස ය.
ඒත් එවන් සංකල්පයක් වුව ගැඹුරු ලෙස කවියට යෝදා ගන්නේ කෙසේ දැයි බෝද්ලෙයා මෙකී කවිය හරහා පෙන්වා දෙයි.
කාලය යනු අති භයංකර සංකල්පයකි. වියගසකි. ඉන් නො මිදී විමුක්තිය අත්පත් කර ගත නොහැකි ය. ‘කාලය’ යන්න ඔහු මෙහිදී සප්‍රානික තැනැත්තකු බවට පත් කරලයි. නගරයේ ජීවත්වන පීඩිතයන් පාලනය කරන එක් කෲර පාලකයෙකු ලෙස ඔහු කාලය වර නඟයි. ‘උරබාහු බිඳ දමා මහ පොළොව මත ඇද දමන’ යන රූපකය මෙකී පීඩාකාරීත්වයේ බල රටාව පෙන්වයි.
මේ මත්වීම නිරන්තකර මෙන්ම අඛන්ඩ විය යුතු බව බෝද්ලෙයා පවසන්නේ ඇයි? මෙය ඔහු සෘජුවම ද, රූපිකවද පවසයි. එහිදී මත්වීම සඳහා සමාජ සන්දර්භය අනුදැන වදාල ‘වයින්’ පානය ඉක්මවාලන්නට බෝද්ලෙයා යෝජනා කරයි. කවි ලිවීම මත්වීමට පර්යාය කරයි. එතැනින්ද නතර නොවන කවියා සදාචාරය නොහොත් සාරධර්ම හෝ ගුණධර්ම මත පවා අවශ්‍ය නම් මත්වීමට එළඹෙන්නට හැකි බව අවධාරණය කරයි. මුද්‍රිකපානය හා සාරධාර්මිකභාවය එකිනෙකට දුරස්ව පවතින විරුද්ධාභාසයන්ය. නමුත් ඔහු මෙකී රමනීය කවියේදී මේ අන්ත දෙක ‘මත්වීම’ නම් පාළම හරහා යා කර පෙන්වයි. බෝද්ලයා කාව්‍යමය බරපතළකම වන්නේ මෙයයි. එසේ වන නමුත් මෙකී සදාචාරමය හෝ සාරධාර්මික හෝ ගුණ ධාර්මිකභාවය යනු කවරක්දැයි සංයුක්තව පවසන්නේ නැ. ඒ හරහා සදාචරීභාවය උත්ප්‍රාසාත්මක තලයක වරනැඟීමට අත්‍යාවශ්‍ය කාව්‍යමය කාශය අහුරා නැත.

මත්බවේ පතුළට ඇදවැටී සිට යළි අවදිවන කල්හි කවිය තුළ සිටින තැනැත්තා සිටිනා තැන ලෙස බෝද්ලෙයා සලකුණු කරන ස්ථාන මොනවාද? ඒවා එකිනෙකට ක්‍රමානුකූල සහසම්බන්දයක් නොපෙන්වයි. එය මන්දරයක් හෝ කුණු ඇල ඉවුරක් වන්නට පිළිවන. නැතහොත් නිදනකාමරයක් වන්නට පිළිවන. මන්දිරයක පඩිපෙළක තුංකුරුඤ්ඤංවැ ගිය බේබද්දකු සිහිපත් කරවීමෙන් නොනැවතී ඔහු කුණු කාණුවක් අසල හතරගතෙන් වැටී සිටින බේබද්දුකු මෙනෙහි කරවයි. එවන් අවකාශයක නොවේ නම් තමන්ගේම කුටියෙහි වන්නට පිළිවන. බෝද්ගෙයා මෙවන් අන්ත තුනක් අනුපිළිවලින් තබා පෙන්වන්නේ සිටින තැන හෝ සිටින විදිහ වැදගත් නොවන බව ය. වැගත්ම දේ මත්වීම පමණක්ම බව ය.
ඉතිබිතා බෝද්ලෙයා සුළඟ දෙසට, තාරුකාවන් දෙසට, කුරුල්ලකු දෙසට මෙන්ම නිශ්චිතවම ඔරලෝසුවක් දෙසට හැරෙන්නේ වෙලාව දැනගනු පිණිස ය. ජීවී අජීවී දෑ පමණක් නොව තාක්ෂණික මෙවලම් පවා ලබා දෙන පිළිතුර කුමක්ද? මත් වීමට කාලය එළඹ ඇති බවයි. කාලය නම් වධකයාට හිස දන් නො දෙන්නෙ. කාලය නම් කෘරතර පාලකයාට වහල් නොවන්න. මේ නම් කාවමය වූද දාර්ශිනික වූද විශ්මිත ආමන්ත්‍රණයකි.

රම්බෝ භෞතිකවම ගත කළේ බෝද්ගෙයා යෝජන කළ මත්වැ ගිය ජීවිතියකි. රම්බෝ නව යොවුන් වියේ සිටිම මතුවැ සිටියේ විය. නමුත් රම්බෝගේ මත්වැ යාම කාලයෙන් විනිර්මුක්ත වීමක්ද? කාව්‍යමය ලෝකයක පතුළෙහි කිමිදී ගැඹුරු නිර්මාණ මතුකරගන්නට සිදු කළ මත්වැ යාමක්ද? මෙවන් දෑ සඳහා සංයුක්ත පිළිතුරු සොයා පහදා ගත්ත නොහැකි ය.
කෙසේ හෝ මත්වැ යාමේ නා නා ආදිනව ඇති බවත්, ඒවා මත්වීම පිළිබඳ අධින්ශ්චය වැ පවතින සාදාචාරමය සීමා පුපුරුවාලන බවත් බෝද්ලෙයා මැකි නොයන සේ මානව සංස්කෘතික කැටබිතේ ඈතට පෙනෙන අකුරින් ලියා තිබේ. ඉදින්, සදාචාරය පවා මත්වැ යාමක් වන බැවින් සදාචාර සම්පන්න වීමෙහි එහෙමට වරදක් නැත.

(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )
සබැඳි ලිපි :
ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ - වෙර්ලෙන් මධුරාදරේ කවි සමේ | මංජුල වෙඩිවර්ධන
ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ ; ආතුරසහගත ප්‍රේමය දක්වා ජීවිතය | මංජුල වෙඩිවර්ධන
ෆ්‍රන්සක්කාරයෝ : සෝබර ය, වෙනසකුදු නැත දවස රැය සදිසිමය | මංජුල වෙඩිවර්ධන








