එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (9) ඉරානයට නව අනතුරු ඇඟවීම් සිදු කළේය.
මේ වන විට, ඉරානය පුරා රාජ්‍ය විරෝධී කැරළි හට ගෙන තිබේ. ඊයේ එහි තත්ත්වය උග්‍ර අතට හැරීමත් සමග, රජය පෙර දින සිට ක්‍රියාත්මක අන්තර්ජාල තහනම තව දුරටත් දීර්ඝ කළේය.
ඉකුත් සති දෙක පුරාම එරට දැඩි මහජන කැළඹීම් හට ගත්තේය. එහිදී අරගල කරුවන් රැසක් මරණයට පත්ව ඇති අයුරු මානව හිමිකම් කණ්ඩායම් මගින් රැස් කළ සේයා රූ සහ වෙනත් වාර්තාවන්හි දැක්වේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ද එම ගැටුම් සහ ගිනි තැබීම් පිලිබඳ දර්ශන විකාශය කළේය.
ගැටුම්වලට මැදි වූ පොලිස් නිලධාරීන් ද ඝාතනයට ලක් වී ඇති බව, අර්ධ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ටස්නිම් (Tasnim ) වාර්තා කළේය.
ඉකුත් ගිම්හානයේ ජනපති ට්‍රම්ප්, ඉරානයට බෝම්බ හෙළීය. ඉරාන ජන අරගලයේ සහායට එක්සත් ජනපදය එක්වන බවට ඔහු මීට පෙර ද පවසා සිටියේය.
"වෙඩි නොතබා හිටියොත් හොඳා.. මොකද, අපිටත් වෙඩි තියන්න සිද්ධ වෙනවා," ඊයේ ඔහු ටෙහෙරාන් බලධාරීන් වෙත පණිවුඩ නිකුත් කළේය. "ඉරානයේ අරගල කරුවන් ආරක්ෂිතයි කියල මම හිතනවා. දැන් ඒක හරි භයානක තැනක්," ඔහු එසේ කීය.
1979 ඉස්ලාමීය විප්ලවයෙන් පෙරළා දැමුණු අවසන් ඉරාන රජු වූ, මොහම්මද් රෙසා පහ්ලවී ගේ පිටුවහල් කෙරුණු පුත් රෙසා පහ්ලවී ද රජයට එරෙහිව මහජනතාව රැස් කරමින් සිටී. එහෙත්, දැන්ම ඔහු ඇමතීමේ සූදානමක් නැතැයි, ජනපති ට්‍රම්ප් පැවසීය. ඊට පෙර අරගලයට කුමක් සිදුවේදැයි, ජනපතිවරයා මනා අවධානයේ පසුවේ.
ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි රූපවානිය ඔස්සේ ජාතිය අමතමින්, පසු නොබසින බව කියා සිටියේය. විදෙස් කුමන්ත්‍රණකාරීන් සහ එක්සත් ජනපදය විසින් විරෝධතාකරුවන්, අල්ලේ නටවමින් ඇතැයි, ඔහු චෝදනා කළේය. අරගලයේ යෙදෙන්නන්ට මරණ දඬුවම පනවන බව, රාජ්‍ය අභිචෝදයෙක් තර්ජනය කළේය.
පවතින තත්ත්වය යටතේ රට තුළ අන්තර්ජාල තහනම පනවන ලද්දේ, බලලත් ආරක්ෂක අධිකාරියේ නියමය ප්‍රකාරව බව, ඉරාන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශය නිවේදනය කළේය.
ඉරානය දැඩි ආර්ථික දුෂ්කරතාවලින් බැට කමින් සිටී. පසු ගිය වසරේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමග ගැටුමට පිවිසීමෙන් තත්ත්වය වඩාත් උග්‍ර විය. ඉකුත් මස එරට උද්ධමනය 40% ඉක්මවීය.

පසු ගිය දෙසැම්බර 28 දා සිට ඇරඹි එරට මහජන උද්ඝෝෂණ හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 62ක් සිදු වී ඇතැයි, මානව හිමිකම් සංවිධානයක් වන හ්රානා (HRANA) වාර්තා කරයි. පොලිස් නිලධාරීන් 14ක් සහ අරගල කරුවන් 48ක් ඊට ඇතුළත් ය.
ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඊයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්, අරගල කරුවන් මර්දනය සහ රාජ්‍ය භීෂණය ව්‍යාප්ත කිරීම වහා නතර කරන ලෙස, ඉරාන රජයට දැන්වීය. සාමකාමී උද්ඝෝෂණය ජනතා පරමාධිපත්‍යය බවත්, රාජ්‍යය ඊට සවන් දියුතු බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයද දන්වා සිටියේය.
අන්තර්ජාලය වසා දැමීම හේතුවෙන් ඉරානයේ තතු ගලා ඒම අතිශය සීමා ව පවතී. එරට වෙත දුරකථන ඇමතුම් ලබා ගැනීම ද අවහිර කර තිබේ. ඩුබායි සහ ඉරානය අතර අවම වශයෙන් ගුවන් ගමන් 17ක් අවලංගු කර ඇතැයි, ඩුබායි ගුවන් තොටුපොළ වෙබ් අඩවියේ දැක්වේ.
සිය ගණන් විරෝධතාකරුවන් ටෙහෙරාන් අගනුවර පෙළපාලියෙන් ගමන් කරන දර්ශන රොයිටර්ස් පුවත් සේවය වෙත ලැබී තිබේ. එහි එක් දර්ශනයක, උද්ඝෝෂණයේ නියැළි කාන්තාවක් "ඛමෙනිට මරණය" යනුවෙන් හඬ නගනු ඇසේ යැයි, එම පුවත් සේවය පවසයි.
(සටහන |Reuters ඇසුරින්; හ ර් ෂ උදයකාන්ත පීරිස්)
1/10/2026
(
මුලාශ්‍රය :
New Trump warning as Iran cuts internet with protests across country
සබැඳි පුවත් :
ඉරානය විසන්ධි වේ
ඉරානයේ ජන අරගල උග්‍ර අතට; 38ක් මරුට; 2,200ක් අත්අඩංගුවට







