‘‘පැනසොනික් කඩේ කියන්නෙ ද... මෙහෙමයි... ඒ කඩේ තියෙන්නෙ නැෂනල් පැනසොනික් කියන කොම්පැනියෙ කැසට් රෙකොඩර්. එතන පොඩි කැසට් රෙකෝඩරයෙ ඉඳල විසාල සෙටප්වලට යනකන් තියෙනවා.
ඉතිං ඔය අලුත් සල්ලිකාරයො වගේ ම කැසට් රෙකෝඩරයක් ගන්න ආසාවෙන් ඉන්න කොල්ලො කෙල්ලො එහෙම ඉන්නව නේද... එවුන් ඔය කඩේට ගිහින් ලොකු සෙටප් එකක් හරි පොඩි කැසට් රෙකෝඩරයක් හරි අරගෙන... ඒ කෙළවරේ ඉඳල මේ කෙළවරට වෙනකං තියෙන රෙකෝඩ් බාර්වලින් කැසට්පීසුත් අරගෙන තමයි යන්නෙ. ඉතිං දැං ඒ මහා සාප්පුවට හැමෝ ම කියන්නෙ පැනසොනික් කඩේ කියල.’’
සුසන්ත ඒ හැම විස්තරයක් ම කිව්වෙ මහදැන මුත්තෙක් වගේ. එයා කියන්නෙ ඇත්ත ද, බොරු ද කියන්න මට අදහසක් තිබුණෙ නෑ. මොකද මේ මම පුංචි කාලෙ ස්කෝලෙන් ට්‍රිප් එකක් ආවට පස්සෙ කොළඹ ආපු පළවෙනි දවස නෙ. හැබැයි සුසන්ත එහෙම නෙවෙයි. එයා ටික කාලයක හරි කොළඹ හිටපු මිනිහ නෙ.
‘‘ඉතිං සුසා අපි දැන් මේ කොයිබෙයි යන්නෙ...?’’
මම සුසන්තගෙන් එහෙම ඇහුවෙ යන ගමන ගැන හාංකවිසියක්වත් නොදන්න නිසා.
සම්පුර්ණ පාරෙ ම තිබුණෙ ගඩොලකට වඩා ටිකක් විතර ලොකු, ඒ හැඩයෙ කළු ගල් අතුරලා.
‘‘ආ... මං මේ මේ පැත්තෙං නං ආවෙ ඔයැයිට කැසට් කඩ පෙන්නන්න ඕනෙ හිංද. අපි පැනසොනික් කඩේ ගාවටත් ගිහිං ඒ පැත්තෙං ම ආපහු එමු. ඒ පැත්තෙ හෝටල තුන හතරක් තියෙනව. අපි බලමු ඒ එහෙක වැඩක් අල්ලගන්න පුළුහං ද කියල.’’
එහෙම කියපු සුසන්ත ආයෙත් මගේ අත අල්ලගෙන පාරෙන් එහාපැත්තට පැන්නා. මම ඒ වෙලාවෙ තමයි හරියට ම පාර දැක්කෙ. පාර දැක්ක කියල මම කියන්නෙ ඒ පාරට තාර දාල තිබුණෙ නෑ. සම්පුර්ණ පාරෙ ම තිබුණෙ ගඩොලකට වඩා ටිකක් විතර ලොකු, ඒ හැඩයෙ කළු ගල් අතුරලා.
පාර මාරු වුණ ගමන් ම මම මේ ගැන සුසන්තගෙන් ඇහුවා.
‘‘හේතුනං මාත් දන්නෑ... හැබැයි මිනිස්සු කියන්නෙ නං ඔය අපේ රට පෘතුගීසිකාරයොයි, ලන්දේසිකාරයොයි, ඉංග්‍රීසිකාරයොයි යටත් කරගෙන හිටිය කියනව නෙ. අන්න ඒ කාලෙ තමයිලු මේ පාර හදල තියෙන්නෙ. මේක විතරක් නෙවෙයි ඔය සමහර අතුරු පාරවල්වට දාල තියෙන්නෙත් මේ වගේ ගල් තමයි.’’
ගාලු කොටුව
‘‘ඒ කියන්නෙ අර ගාලු කොටුව... තව මාතර කොටුව... තව මේ ත්‍රිකුණාමලෙත් කොටුවක් තියෙනව නෙ. මෙහෙත් එහෙම තියෙන්නැති. සමහර විට ඔය කොටුව පිටකොටුව කියනව ඇත්තෙත් ඒක හිංද වෙන්නැති. එව්වනං හදල තියෙන්නෙ ලන්දේසිකාරයොලු නෙ... සුවර් එකට එවුන් ම තමයි මේ වගේ පාරවලුත් හදන්නැත්තෙ.’’
මම දන්න ඉතිහාස කරුණු මතක් වෙලා ඒ ගැන සුසන්තට පැහැදිලි කරලා දුන්නා.
‘‘හම්ම්ම්... එහෙම වෙන්නැති මයි හිතේ...’’ කියල සුසන්ත කිව්වෙ මම කියපු දේ එච්චර මායිම් කරල නෙවෙයි කියල මට තේරුණා. ඒ එක්ක ම සුසන්ත ‘‘මේ තියෙන්නෙ... මෙන්න මේකට තමයි පැනසොනික් කඩේ කියන්නෙ...’’ කියල මට පෙන්නුවා. අර කිව්ව ගේ ම ඒකෙ බිත්තියෙ උඩට වෙන්න ‘‘National Panasonic’’ කියන වචන දෙක ලොකු අකුරෙන් බිත්තියෙ හයි කරල තිබුණා. ඒක කඩයක් කිව්වට ලොකු කඩයක්; ලොකු ගොඩනැගිල්ලකින් බාගයක් විතර ම තිබුණෙ එක එක ජාතියෙ කැසට් රෙකොඩර්. ඒ සමහර ඒවා මගේ ඉණ ගාවටත් වැඩිය උසයි. ඒවට කියන්නෙ ‘‘සෙටප්’’ කියල මට කිව්වෙත් සුසන්ත.
ගොඩනැගිල්ලෙ ඉස්සරහ ම තියල තිබුණ ස්පිකර් දෙකත් මට වැඩිය පොඩ්ඩක් විතර කොට ඇති. හම්මෝ ඒවගෙන් ආපු සද්දෙ...
ගාල්ලෙ ඉද්දි අපි දෙන්න ම සංගීත සන්දර්ශන බලන්නත් ගියා. මට එකපාරට ම මතක් වුණේ ඒ සංගීත සංදර්ශනවල තිබුණු ස්පීකර්... ඒවයින් එන සද්දෙට පපුවත් ‘‘ඩිග් ඩිග්’’ ගානවා. ඒ එක්කම මට මතක් වුණේ ගමේදි: පුංචිලා, නැන්දලා, අක්කලා වී කොටපු සද්දෙ.

වංගෙඩියට වී දාල දෙන්නෙක් නම් දෙපැත්තෙන් හිටගෙන කොටනවා. සමහර වෙලාවට පුංචිල දෙන්නයි තව කවුරු හරි අහල පහල නැන්ද කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි එකතු වෙලා තුන්නෙක් ම කොටනවා. ඒකට කිව්වෙ ‘‘තුන් මෝලෙ කොටනව’’ කියල. දෙන්නෙක් කොටද්දි කිව්වෙ ‘‘දෙමෝලෙ කොටනව’’ කියල. ඒක බලාගෙන ඉන්න හරි ආස වැඩක්. තුන් දෙනා කොටද්දි ඒ තුන් දෙනා වංගෙඩිය වටේ යන ගමනුත් කොටනවා. ඒක තමයි හුඟක් ම ලස්සන. පුංචිම කාලෙ ඒ තරම් දැනුමක් නැති වුණාට පස්සෙ පස්සෙ එහෙම වී කොටන එක බලාගෙන ඉන්න ආසා හිතුණා. ඒ වෙන මොහොකටවත් නෙවෙයි. පුංචිලගෙ හරි වෙන නැන්ද කෙනෙකුගෙ හරි, අක්ක කෙනෙකුගෙ හරි හැට්ටෙන් හිරවෙලා තියෙන තන් දෙකයි චීත්ත රෙද්දට හිරවෙලා තියෙන පස්ස පැත්තයි ගැස්සෙන විදියෙ ලස්සන බලන්න. හැබැයි මම එහෙම ආසාවෙන් බලාගෙන ඉද්දි කවුරුවත් සැක කරේ නම් නෑ. ඒක මට වාසියක් වුණා. අනික මට පස්සෙ හිතුණ ඒක එයාලට එහෙම ගානකුත් නැ කියල.
‘‘මොකෝ මේ... සෙටප් ටික දැකල වසී උණයි...’’
හේමන්ත එහෙම අහද්දි මම ගැස්සිලා ගියා. මොකද ඒ වෙනකන් මම හිටියෙ වෙන ලෝකෙක නෙ... ඒ ලෝකෙ ගැන සුසන්තට කියන්න ලැජ්ජා හිතුණ නිසා මමත් එක පාරට ම ‘‘නැහ්නං... මං මේ කල්පනා කරේ මට මෙහෙම එකක් කවද ගන්න ලැබෙයි ද කියල,’’ උත්තර දුන්නා.
‘‘හම්ම්ම්... එව්ව ඉතිං හීන විතරයි යසේ. අපිට මෙව්ව ගන්න තියා හිතන්නවක්කත් බෑ. මෙව්ව හෙණ ගණං යසේ...’’
සුසන්ත එහෙම කිව්වෙ කලකිරීමෙන් වගේ.
‘‘අපි බලමු... ට්‍රයි කරොත් බැරි වෙන එහෙකුත් නෑ.’’
ඇත්තට ම මටත් එහෙම විශ්වාසයක් තිබුණෙ නෑ. ඒත් මම එහෙම කිව්වෙ සුසන්තගෙ හිත හදන්න.
සුසන්ත

අපි දෙන්න ටික වෙලාවක් පැනසොනික් කඩේ තියෙන එක එක විදියෙ සෙටප්වල හැඩ බල බලා ඉඳල එතනින් පිටත් වුණේ මල්වත්ත පාරෙ තියෙන හෝටල් හතරෙන් එකක හරි වැඩක් හොයාගන්න හිතාගෙන. මට කොහොම වුනත් යසේට වැඩක් හොයාගන්න බැරි නෑ. මොකද මිනිහා: කුස්සියෙ වැඩත් දන්නවා; කෑම පැන්ට්‍රියෙ වැඩත් දන්නවා; ඒ වගේ ම තේ පැන්ට්‍රියෙ වැඩත් දන්නවා; වේටර් වැඩත් දන්නවා. ඒ නිසා එයාට වැඩක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ.
ඉස්සරවෙලා ම අපි ගියේ නීලසිරි හෝටලයට. මම ජනරන්ජන හෝටලේ වැඩ කරන කාලෙ මගෙ යාළුවෙක් ඒ හෝටලේ වැඩ කරා. සුසන්තට එළියෙ ටිකක් ඇතින් ඉන්න කියල මම ඉස්සරවෙලා කඩේ ඇතුළට ගියේ යාළුවා තවමත් ඉන්නව ද කියල බලන්න. මම නිතරම කඩේට ඇවිත් ගිහින් තියෙන නිසා බොන වතුර එහෙම විදුරුවලට පුරවලා තියෙන තැනත් දන්නවා.
ඇතුළට ගිහින් වතුර වීදුරුවක් ම බීගෙන බීගෙන ගියපු මම වේටර් කෙනෙකුගෙන් ‘‘අයියේ මේ... සෝමපාල තවම මෙහේ ඉන්නවයි...?’’
මිනිහ ඇස් දෙක ලොකු කරල මගේ දිහා තත්පර කීපයක් බලාගෙන ඉඳල... ‘‘සෝමපාල... මොන සෝමපාල ද... අර මේ...’’
එයා ඉතුරු ටික කියන්න කලියෙන් ම මම ‘‘අර මේ... කෑගල්ලෙ සෝමපාල...’’ කියල කිව්වෙ මම සෝමපාල හොඳට අඳුරනව කියල ඒත්තු ගන්වන්න. නමුත් මට සිද්ධ වුණේ හීනෙකින්වත් හිතපු නැති දේකට මූණ දෙන්න.
‘‘ආ... ඒ කියන්නෙ තවුසෙත් කෑගල්ලෙ... මෙහාට එනවකො...,’’ කියපු වේටර් මගේ අතින් අල්ලගෙන මාව කඩේ ඉස්සරහට ඇදගෙන ගියා. යසේ මේ මොනවත් ම දන්නෙ නෑ. එයා මම එනකන් ඉස්සරහට වෙලා බලාගෙන ඇති.
‘‘මේ මොකෝ අයියෙ මේ...!’’
මම එහෙම වේටර්ගෙන් අහද්දි ‘‘තමුසෙ කෑගල්ලෙ නං සෝමපාලය ඉන්න දිහා දන්නව ඇතිනෙ... එනවකො යන්න....’’ කියල මගේ අත තදින් ම අල්ලගෙන මා එක්ක කැෂියර් එක ගාවට ම ආවා; කඩේ ඇතුළෙ ඉන්න මිනිස්සුත් අමුුතු සතෙක් දිහා බලනව වගේ මගේ දිහා බලන බව මම දැක්කා.
කඩේ ඇතුළෙ ඉන්න මිනිස්සුත් අමුුතු සතෙක් දිහා බලනව වගේ මගේ දිහා බලන බව මම දැක්කා.
කැෂියර් එකේ හිටපු කෙනාට මාව පෙන්වපු වේටර් ‘‘මහත්තයො මෙන්න මේකා....’’ කියල කියද්දි ම කැෂියර් එකේ හිටපු කෙනා එතනින් නැගිටලා ‘‘ඇයි... මූ කාල මාරු වෙන්න ද හැදුව ද... වෙස්සිගෙ පුතා...’’ කියල කියාගෙන කැෂියර් පුටුවෙන් බහිද්දි ම වේටර් ‘‘නෑ නෑ මහත්තයො... මු සෝමපාලගෙ ගමේලු... මු සුවර් එකට ම සෝමපාලයගෙ ගෙවල් දන්නව ඇති මහත්තයො...’’ කියල කැෂියර් එකේ හිටපු කෙනාට කිව්වෙ මම ගැන විස්තර ඔක්කොම දන්නව වගේ.
තවත් සද්ද නැතුව හිටියොත් වෙන හෙණ ගෙඩියක් පාත්වෙනව කියල දැනුණ නිසා මම ‘‘තමුසෙට පිස්සු ද ඕයි... කවුද තමුසෙට කිව්වෙ මං කෑගල්ලෙ කියල... මං ඇහුවෙ සෝමපාල ඉන්නව ද කියල. ඊට පස්සෙ තමුසෙ එයාගෙ ගැන මොනවද කියන්න තටමනකොට තමයි මම කිව්වෙ ‘කෑගල්ලෙ සෝමපාල’ කියල. ඒ පාර තමුසෙනෙ මගේ අතින් අල්ලගෙන ඇදගෙන ආවෙ...’’
ඔන්න එතකොට තමයි කැෂියර් එකේ හිටපු කෙනා වේටර් දිහා බලල ‘‘ඇත්තද ඕයි මේ කියන්නෙ..?’’ කියල ඇහුවෙ.
‘‘අ... අ... ඔවු... ඔවු මහත්තයො... සෝමපාලය ගැන ඇහුව නිසා මං හිතුවෙ මූ ඒකගෙ ගමේ වෙන්නැති කියල.’’
‘‘අනේ බූරු වාහෙ... කාගෙ හරි ගම කොහේද කියල තව කවුරු හරි දැනගෙන හිටපු පළියට ඒ මිනිහ කරපු වැරැද්දකට තවත් මිනිහෙක් මොනව කරන්න ද ඕයි... යනව යනව... ගිහිං තමුසෙගෙ වැඩක් කරගන්නව...’’
කැෂියර් එකේ හිටිය කෙනා එහෙම කියපු ගමන් වේටර් මගේ අත අතඇරල ඇතුළට ගියා. මම මේ වුණේ මොකක් ද කියල හිතාගන්න බැරුව අන්දුන්කුන්දුන් වුණා.
‘‘හරි හරි... වැරදීමක් වෙලා තියෙන්නෙ. තවුසෙ ඇයි සෝමපාල හෙව්වෙ...?’’
‘‘අනේ බූරු වාහෙ... කාගෙ හරි ගම කොහේද කියල තව කවුරු හරි දැනගෙන හිටපු පළියට ඒ මිනිහ කරපු වැරැද්දකට තවත් මිනිහෙක් මොනව කරන්න ද ඕයි... යනව යනව... ගිහිං තමුසෙගෙ වැඩක් කරගන්නව...’’
කැෂියර් එකේ හිටපු කෙනා එහෙම ඇහුවෙ ටිකක් සැහැල්ලු විදියට.
‘‘අපි මේ... අපි මේ වැඩක් හොයාගෙන යන ගමං... මේ... සෝමපාල මෙහේ වැඩ කරා කියල මං දන්න හිංදයි හොයන්න ආවෙ.’’
‘‘ආ... ඒක මිසක්ක... ඔය සෝමපාලය කියන එකා මීට මාසෙකට විතර කලිං මෙහේ එවුං කීපදෙනෙකුගෙ ම සල්ලියි, ඇඳුනුයි, තව මොන මොනව හරිත් අරගෙන පැනල ගිහිං. ඔය දැං තවුසෙ ඇදගෙන ආපු හාදයගෙ ඔරලෝසුව අරං ගිහිං. ඒ හිංද තමයි තමුසෙව අල්ලගන්න ඇත්තෙ. හරි හරි... කියනවකො දැං තවුසෙට මොනවද කරන්ඩ පුළුවං...?’’
මේ හෝටලේ නං රස්සාවක් ලැබුනත් කරන්නෙ නැ කියල හිතාගත්තු මම එහෙම කිව්වෙ එතනින් ඉක්මනට ම යන්න බලාගෙන. මොකද යසේ තවම මේ මොනවත් දන්නෙ නෑ. මිනිහ මෙතෙනට ආවෙත් එහෙම තවත් ගිනි විජ්ජුම්බරයක්. මම එයාට කිව්වෙ මම කතා කරනකං ඇතුළට එන්න එපා කියල.
‘‘ආ... එහෙමද... තවුසෙට පිඟන් හෝදන්ඩ පුළුවන්ද...?’’
කැෂියර් එකේ හිටපු මිනිහ එහෙම ඇහුවෙ අනිවාර්යයෙන් ම මෙහේ පිඟන් හෝදන වැඩේට කවුරු හරි අඩු ඇති කියල මට දැනුණා. ඒත්...
සතියකින් හමුවෙමු...

(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/12/28
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්
ගෙන්දගම් පොළොව 05 : සුසන්ත නම් දවසක් කිව්වෙ ‘'එව්ව ප්‍රයිවෙට් බස්' කියල - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
ගෙන්දගම් පොළොව 04 : මෙහෙ දෙන්නෙ පත බත් එකක් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
ගෙන්දගම් පොළොව 03 : ''ඒ තමයි මෙව්වයි වේටර්ලගෙ හැටි...'' - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
ගෙන්දගම් පොළොව 02 : 'ඌ ගිහින් තියෙන්නෙ යට තට්ටුවත් උස්සගෙන'
ගෙන්දගම් පොළොව 01 : 'අපිට ඇඩ්‍රස් නෑ අක්කෙ'
ගෙන්දගම් පොළොව - (ජයසිරිගේ අලුත් වැඩක් )





