BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.

Nethmini

Nethmini

October 2, 2026 • 11:10 AM

"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ස්වාමීනි , මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකින් අනුව මෙම නඩුවට අදාළව කමිටුවක් පත් කළා.
  • ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමට අදාළව විත්තිකරුවන් දොලොස් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබා දෙමින් උප පොලිස් පරීක්ෂක ජේ.පී වයි.වයි.
  • ජයසිංහ මහතා මේ බව සඳහන් කළේය.
  • ඒ අනුව මෙම නඩුවේ තුන්වන චූදිත වන පීස් දේවශාන්තිනී සොලමන්ස් නමැත්තිය 2020/01/19 සිට 2023/12/20 දින දක්වා වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඖෂධ (I) ලෙස කටයුතු කළ බවට පිළිගැනීමක් කරනු ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස කමිටු වාර්තාවට මා අත්සන් තැබුවා යනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ ස්ථානාධිපතිවරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමට අදාළව විත්තිකරුවන් දොලොස් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබා දෙමින් උප පොලිස් පරීක්ෂක ජේ.පී වයි.වයි. ජයසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.

එහිදී මෙම නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් තිදෙනකු සිතාසි මත අධිකරණයට කැඳවා තිබූ අතර එක් සාක්ෂිකරුවකු සාක්ෂි විමසීමකින් තොරව මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
අනතුරුව මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව විසින් වරින් වර පිළිගැනීම් කරන ලද ලේඛන සහ කරුණු සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක්  සිදු කරන ලදී.
ඒ අනුව මෙම නඩුවේ තුන්වන චූදිත වන පීස් දේවශාන්තිනී සොලමන්ස් නමැත්තිය 2020/01/19 සිට 2023/12/20  දින දක්වා වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඖෂධ (I) ලෙස කටයුතු කළ බවට පිළිගැනීමක් කරනු ලැබිණි. 
මෙම නඩුවේ හතරවන චූදිත වන ගණකාධිකාරී නිරාන් ධනංජය, 2022/12/19.සිට 2023/12/31 දක්වා වන කාලය තුළ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ සැපයීම් ගණකාධිකාරී ලෙස ද, සුජිත් කුමාර නමැති පස්වන විත්තිකරු 2021/08/ 16 දින සිට 2023/11 20 දින දක්වා වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වේදියෙකු සහ තොග පාලනය නිලධාරියකු ලෙස කටයුතු කළ බවට පැමිණිලි කාර සහ විත්තිකාර පාර්ශවයන් විසින් පිළිගන්නා ලැබිණි. 
මෙම නඩුවේ හයවන චූදිත වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත 2022 /05/25 සිට 2023/11/19 දක්වා කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා ලෙස කටයුතු කළ බව ට එහිදී පිළිගැනීමක් කරනු ලැබිණි. 
කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව තුන්දෙනෙකු ගේ සාමාජිකත්වයෙන් යුතු සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කළ බවට ද එහිදී පිළිගැනීමක් කරනු ලැබිණ.
මෙම නඩුවේ දෙවන චූදිත වන වෛද්‍ය කපිල වික්‍රමනායක 2019/11/22 වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂ අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්වූ අතර 2022/01/03 සහ සිට 2022/12/ 15 දින දක්වා ඔහුගේ වැඩිපුර අධ්‍යාපන කටයුතු සහ පුහුණුව සඳහා එක්සත් රාජධානියට විදේශ ගත වී සිටි බවට ද 2022/12/16  දින සිට 2022/11/20 දින දක්වා  එම අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස නැවත කටයුතු කළ බව එහිදී පිළිගැනීමක් කරනු ලැබිණි. 
එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිට නීතිඥ අසේල සේරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ 2022/11/16 දිනට පසුව අවස්ථා කිහිපයකදී  ඔහු දකුණු කොරියාව සහ ඉන්දියාව බලා  රාජකාරී කටයුතු සඳහා විදේශ ගතවී ඇති බවය.
 එම කරුණ පැමිණිල්ල විසින්ද පිළිගනු ලැබිණි. 
lower male.jpg
මෙම නඩුවේ හත් වන චූදිත වන හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත් 2019/03/19 දින සිට 2024/01/04 දින දක්වා වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ බවද, 2022/04/14 දින සිට 2022 /07/ 14 දින දක්වා විදේශගතව සිටි බව  ඔහුගේ නීතිඥවරිය විසින් අධිකරණයට දන්වා සිටි අතර එම කරුණ ද පැමිණිල්ල විසින්ද පිළිගනු ලැබිණ. 
මෙම නඩුවේ අටවන විත්තිකරු වන කෙහෙළිය රඹුක්වැල්ල  2022/05/20 ක් දින සිට 2023/10/ 23 දක්වා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ බව ද, කැබිනට් අමැතිවරයකු ලෙස කටයුතු කළ බවද එහිදී පිළිගනු ලැබිණි. 
වෛද්‍ය තුසිත සුදර්ශන මහතා 2014/04/01 දින වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් වූ අතර 2022 /10/14  සිට  2022/12/14 තෙක් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වැඩ ආවරණය කටයුතු කළ බවත්, 2022 /12/15 සිට 2023 /05/09  දින දක්වා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් ලෙස රාජකාරී කළ බවත් පිළිගනු ලැබිණි. ඔහු 2023 /05/09  එංගලන්තයේ ලින්කන් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයනය කටයුතු කිරීම සඳහා විදේශගත වූ බවද 2023 /03/07 වැනිදා ලංකාවට පැමිණි බවද 2024 /03/ 13 වැනි දින ඔහු අත්අඩංගුවට පත් වූ බවද එහිදී ඔහුගේ නීතිඥ අමිත ආරියරත්න මහතා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී. 
නීතිඥවරයා: ස්වාමීනි ඔහු ඇමරිකාවේ ලින්කන් විශ්ව විද්‍යාලයේ සිටියදී ස්වේච්ඡාවෙන් ලංකාවට ආවා. නිවාඩු ඉල්ලා සහ මේ නඩුවට අදාළව අධිකරණයේ පෙනී සිටීමට ඉල්ලුම් කර තමයි ආවේ. ඊට අදාළ ලේඛන තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : නඩුවට නෙමෙයි ආවේ 
නීතිඥවරයා: නෑ ස්වාමීනී ,ඔහු නඩුවට තමයි ආවේ. ඔහු කැමැත්තෙන් ආවේ. නැත්නම් ඔහුටත් නෑවිත් ඉන්න තිබුණා. නාපු තවත් අයත් ඉන්නවා. 
2022 /09/03  දින ඇති සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියක් මගින් ඔහු ඇගයීම් කමිටුවක සාමාජිකයකු ලෙස පත් කළ බවට නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී පැමිණිල්ල විසින් එයද පිළිගනු ලැබිණි.
වෛද්‍ය විජිත් ගුණසේකර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස 2022/07/08 දින  සිට 2020/11/08 වන දින දක්වා කටයුතු කළ බව පිළිගත් අතර ඉහත පත්කිරීම 2022/07/13 ලිපිය මගින් සිදුකළ බවද පිළිගැනීමක් කරනු ලැබිණි.
 ඔහු 2023 /09/21 දින සිට 2023/09/23 දින දක්වා ම විදේශගතව සිටි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි අවස්ථාවේදී පැමිණිල්ල විසින් පිළිගත නොහැකි බව අධිකරණයට දැනුම් දෙන ලදී. 
මෙම නඩුවේ දහවන විත්තිකරු වන වෛද්‍ය සමන් රත්නායක 2022 සැප්තැම්බර් මස 6 වැනි දා සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇති අතර එය පැමිණිල්ල විසින් පිළිගැනීමකට ලක් කරනු ලැබිණ. 
මෙම නඩුවේ පළමු වන විත්තිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු  නමැත්තා විසින් ඉදිරිපත් කරන ලද invoice පත්  ඔහුගේ නීතිඥවරයා විසින් පිළිගැනීමකට ලක් කරනු ලැබුණු අතර  එම invoice  පත් වලට අදාළව එහි සඳහන් කාණ්ඩ අංක යටතේ භාණ්ඩ තොග වෛද්‍ය සැපයුම් ඒකකයට භාර දුන් බවට ද පිළිගැනීමක් කරනු ලැබිණි  
එසේම ඔහු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ.ජී ආයතනයේ නමට  ලංකා බැංකුව සීදුව ශාඛාවේ ගිණුමක් ඇති බවත්, එම ගිණුමට අවස්ථා තුනකදී චෙක් පත් බැර වූ බවත් පිළිගන්නා ලදී. එම චෙක්පත් අධ්‍යක්‍ෂ වෛද්‍ය සැපයම් අංශයට අයත් ගිණුමෙන් බැර වූ බවද  පිළිගනු ලැබිණි. 
එසේම පළමු වන  චූදිතට අයත් අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී නම්න් කේවල ව්‍යාපාරයක් පවතින බවද, එය තනි පුද්ගල සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇති බවද, අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් නමින් තවත් ව්‍යාපාරයක් ඇති අතර එය සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවද ,ඒ සම්බන්ධයෙන් ඇති සහතිකය ද අධිකරණයේ හමුවේ පිළිගනු ලැබිණි. 
කෙසේ වුවද අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී නමැති ආයතනය ආනයනකරුවන්ගේ  ලැයිස්තුවේ ලියාපදිංචි වී නොමැති අතර අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ ජී ලිමිටඩ් නමැති ආයතනය බදු හඳුනා ගැනීමේ අංකයක් යටතේ ලියාපදිංචි වී ඇති බවටද පළමු වන චූදිත විසින්ම එහිදී පිළි ගැනීමක් කරන ලදී.
 එම ආයතනය  රේගු ආනයනයකරුවන්ගේ ලැයිස්තුවේ ලියාපදිංචි වී ඇති බවටද පළමු වන චූදිත විසින් පිළිගැනීමක් කරනු ලැබිණ. 
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර රේගු වාර්තාවේ අනුව එවැන්නක් සඳහන් නොවන බව කියා සිටියාය. 
එම කාලය තුළ එම ආයතනය විසින් ආනයනය කිරීමක් කර නොමැති බවට පළමු වන චූදිත විසින් පිළිගන්නා ලදී. 
පළමුවන චූදිත අත්අඩංගුවට ගැනීමට පෙර සහ පසුව ප්‍රකාශ සටහන් කර ගත් බවද ඔහු විසින් රිටොප්සිමැබ් ලේබලය සහිත කුප්පි 2250 ක් වෛද්‍ය සැපයුම් අංශයට ලබා දුන් බව සහ ඉන්දියානු යෝජනා ක්‍රමය යටතේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ලේබලය සහිත කුප්පි 2500ක් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී ඇති බවට එහිදී පිළිගැනීමක් කරනු ලැබිණි. 
අනතුරුව මෙම එක් එක්  විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් දිනයන් පිළිබඳව පිළිගැනීමක්ද කරනු ලැබිණි.
මෙම පිළිගැනීම් වලින් අනතුරුව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ පූර්ව නඩු විභාගයේදී පිළිගැනීම් කුමන ආකාරයෙන් වාර්තා කර තිබුණද පාර්ශවකරුවන් විසින් මෙම අවස්ථාවේදී පිළිගත් දින වකවානු සහ කරුණු පිළිගැනීම් කළ බවට විත්තිය සහ පැමිණිල්ලේ එකඟත්වය මත නඩු ගොනුවට වාර්තා කරන බවය. 
එම පිළිගැනීම සිදුකිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි අංක 345 ලෙස නම්කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ජේ.පී. වයි .වයි. ජයසිංහ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදීම සිදු කළේය .
තමන් 2013 වසරේදී පොලිස් සේවයට එක් වූ  අතර 2017 වසරේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූ බවද එහි තාක්ෂණික ආධාර ඒකකයේ කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.
තාක්ෂණික ආධාර ඒකකය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අදාළව දුරකථන වාර්තා ලබා ගැනීම ,වෝහාරික වාර්තා ලබාදීම, ඉල්ලීම් කරන අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසියට තාක්ෂණික ආධාර ලබාදීම සිදුකරන බව ඔහු සඳහන් කළේය.
"වෝහාරික විශ්ලේෂණ වාර්තා සඳහා මෘදුකාංගයක් ලබා දෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී නිවැරදියි ස්වාමීනි, මම මේ සම්බන්ධයෙන් පාඨමාලා රාශියක් හදාරා තිබෙනවා. පරිගණක වෝහාරික විද්‍යාව පිළිබඳව ජාතික පොලිස් ආයතනයෙන් සහ විවිධ රටවල පාඨමාලා හදාරා තිබෙනවා" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"තාක්ෂණික ආධාර ඉල්ලීම් කරන ඕනෑම අවස්ථාවකදී ඕනෑම ස්ථානයකට ආධාර ලබාදීම සිදු කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ සෑම විටම එවැනි තාක්ෂණික ආධාර ලබා දීමට තමන් කටයුතු කරන බවය.
අධිකරණ කටයුතු වලට එවැනි ආධාර ලබාදී ඇති අතරන් මේ වන විට එවැනි වාර්තා පන්දහසකට අධික සංඛ්‍යාවක් තමන් විසින් සකස් කර කර ලබා දී ඇති බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය. 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මේ නඩුවට අදාළව දුරකථන වාර්තා සඳහා තාක්ෂණික ආධාර ඉල්ලුවා ද?
සාක්ෂිකරු :ඔව් ස්වාමීනී ,විශ්ලේෂණය සඳහා ඉල්ලීමක් කළා. ඉහළ නිලධාරීන් මගින් එම ඉල්ලීම මගේ අංශයට යොමු වුණා 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:  එහිදී මූලිකව පැවරුණු රාජකාරිය කුමක්ද ?
සාක්ෂිකරු: නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දුරකථන සමාගම් වලින් වාර්තාවන් ලබා ගැනීම සිදුකරනවා. ඉන් පසුව ඒවා විශ්ලේෂණය කර වාර්තා සකස් කිරීමක් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය: ඔබ දුරකථන සමාගම් කීයකින් වාර්තා ඉල්ලුවද?
සාක්ෂිකරු :සමාගම් තුනකින් එම වාර්තා ඉල්ලුවා ස්වාමීනි ,අනතුරුව එම වාර්තා සීඩී තැටියකට ඇතුළත් කිරීම සිදුකළා 
එම තමන් විසින් සකස් කරන ලද දුරකථන වාර්තාවන් සහ සීඩී තැටි තමන්ට හඳුනාගත හැකි බව එම අවස්ථාවේදී ප්‍රකාශ කළ සාක්ෂිකරු අදාළ නඩු භාණ්ඩ හඳුනා ගැනීමක් සිදු කළේය. 
අනතුරුව මෙම නඩුවේ දෙවන සහ පස්වන වග උත්තර කරුවන් අතර හුවමාරු වූ බව කියන දුරකථන සංවාද පිළිබඳව ඇතුලත් වාර්තාව පිළිබඳව පිළිගැනීමක් ද ඔහු සිදු කළේය 
telephone search.avif
වෝහාරික වාර්තාවන් සපයන ලෙස ඉල්ලීම් කළ අවස්ථාවකදී දුරකථන සමාගම් වලින් ලබා දෙන වාර්තා මත පරීක්ෂාවන් සිදුකරන අතර දුරකථන භෞතිකව පරීක්ෂා කිරීම මගින් ද අදාළ වාර්තාවන් සකස් කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
"දුරකථන පරීක්ෂා නොකර ඩේටා කෝල් ගන්න පුළුවන්ද ? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්න විජේසුන්දර මහතා එම ප්‍රශ්නයට විරෝධය පළ කළේය.
ඩේටා කෝල් සම්බන්ධයෙන් මෙම නඩුවට අදාළව මින් පෙර කිසිවක් ම සඳහන් නොවුනු අතර එවැනි කරුණක් සම්බන්ධව විත්තිය දැනුවත් කිරීමක්ද සිදු නොකර ඇති බව ඔහු සඳහන් කළේය. 
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ ඩේටා කෝල් ලබාගෙන තිබෙනවාද යන්න දුරකථනයේ  ඉමි   (Imi) අංකය සොයා ගැනීම මගින් සිදුකළ හැකි බවය. කෙසේ වුවද data භාවිතා කර ලබාගන්නා ඇමතුම් පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා තවමත් මෙරට තාක්ෂණය දියුණු නොමැති බවද ඒ සඳහා ඇමෙරිකාව වැනි විදෙස් රටක ආධාර ලබාගත යුතු බවද ඇය සඳහන් කළාය. 
එවැනි වාර්තාවක් නොමැති නම් මෙම විත්ති පාර්ශ්වය ට කිසිදු අදාළත්වය ක් නොමැති කරුණක් වන බව එහිදී  නීතිඥ නයන්ත විජේසුන්දර මහතා පෙන්වා දුන්නේය. 
"මෙම රාජකාරියට අමතරව මෙම නඩුවට අදාළ විශේෂ කමිටුවකට ඔබව පත් කළාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ 2024 /02/15  දින මාළිගාකන්ද අධිකරණයෙන් ලැබුණු නියෝගයක් අනුව සිව් දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ කමිටුවක සාමාජිකයකු ලෙස  තමන්ව පත් කළ බවය. 
එම කමිටු නිලධාරින් වෛද්‍ය සැපයුම් අංශයේදී හමුවූ අතර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය විජේසූරිය හමුවී  අධිකරණ නියෝගය පිළිබඳව ඔහුට දැනුම් දුන් බවද ඔහු එහි සිටි වෛද්‍ය සන්දප්පෙරුප මහතා සම්බන්ධ කිරීමෙන් අනතුරුව ඔහු ඒ පිළිබඳව සාකච්ඡා කළ බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
"ඔය කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ කවුරුන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ  රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දිනේෂ් උඩංගමුව එහි ප්‍රධානත්වය  ගෙන කටයුතු කළ බවය.
එහිදී වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ පරිගණකයේ live server යේ දත්ත  back up server යට පිටපත් කළ බවද, අදාල තත්ත්ව සියල්ලම පිටපත් වී තිබූ බවද ඔහු සඳහන් කළේය. 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය: එහිදී උඩංගමුව මහතාගෙන් ඔබට කිසියම් උපදේශයක් ලැබුණද?
සාක්ෂිකරු : ඔව් ස්වාමීනි ,එම CPU යන්ත්‍රය ඇතුළු  භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය හරහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස ඔහු දන්වා සිටියා. 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:ඒ අනුව ඔබ කටයුතු කළාද?
සාක්ෂිකරු : සුපුන් නිලධාරියා සමග පරිගණකය සර්වරය, පරිගණක සර්වරයේ දෘඩ පිටපත්, පැනල් ලොක් කිරීමට අදාළ යතුර, කේබල් එක යනාදිය කාඩ්බෝඩ් පෙට්ටියක දමා මුද්‍රා තැබුවා . එහිදී මගේ සීල් එක යොදා මුද්‍රා තබන ලෙස මම සුපුන් නිලධාරියාට උපදෙස් ලබා දුන්නා. අනතුරුව එය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා රස පරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා  ඉදිරිපත් කිරිමට?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: එම භාණ්ඩ හඳුනාගත හැකිද?.
සාක්ෂිකරු : හඳුනාගත හැකියි ස්වාමීනී 
මෙහිදී අදාළ භාණ්ඩ ඇතුළත් පෙට්ටිය විවෘත අධිකරණය හමුවේ තිබූ අතර සාක්ෂිකරු විසින් එය හඳුනා ගන්නා ලදී. 
ඒ සමගම සාක්ෂිකරුවන් මූලික ප්‍රශ්න කිරීම අවසන් කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැනුම් දුන් අතර  එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකරුට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය .
නීතිඥවරයා: ඔබ නියෝජනය කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව?
සාක්ෂිකරු: නිවැරදි ස්වාමීනි 
නීතිඥවරයා: අද මෙම නඩුවට අදාළ විමර්ශන සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්?
සාක්ෂිකරු: නිවැරදියි ස්වාමීනි 
නීතිඥවරයා: ඔබ අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු ලෙස මෙම නඩුවට අදාළව ලකුණු කර ඇති 294 ලේඛනය සමඟ කටයුතු කර තිබෙනවා.
සාක්ෂිකරු :නිවැරදියි 
නීතිඥ වරයා: ඔබ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොටස් කාරයෙක් ද?
සාක්ෂිකරු: නැත ස්වාමීනී 
නීතිඥවරයා: මේ නඩුවට අදාළව සිදුකළ පරිදි කටයුතු කිරීමක් වෙනත් අවස්ථාවලත් සිදුකර තිබෙනවාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි 
නීතිඥවරයා: ඔබ පළමු වතාවටද මෙවැනි රස පරීක්ෂණ වාර්තාවක කොටස්කරුවකු ලෙස කටයුතු කළේ?
සාක්ෂිකරු: ස්වාමීනි, එහි කොටස්කරුවෙකු ලෙස කටයුතු කළේ නෑ. රස පරීක්‍ෂණ වාර්තාවේ little head එක යටතේ ඇති ලිපියට මා අත්සන් කළේ නෑ. කමිටු වාර්තාවට අදාළව අත්සන් තැබුවා.
නීතිඥවරයා: ඔබ අත්සන් කළේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේඛනයකට නෙමෙයිද?
සාක්ෂිකරු: ඒ letter head එක යටතේ අත්සන් කර නෑ. ඒ වාර්තාවේ ඇමුණුම් ලෙස ඇති ලේඛන වලට අත්සන් කිරීමක් තමයි කළේ.
නීතිඥවරයා: රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන රාජකාරී කටයුතු ගැන ඔබ දන්නවාද?
සාක්ෂිකරු: ඔවන් කරන රාජකාරිය ඔවුන් පිළිබඳව ඔවුන්ගෙන් තමයි අහන්න ඕන.
 
නීතිඥවරයා: ඔබ මෙහි අත්සන් තැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙසද?
සාක්ෂිකරු :ස්වාමීනි මෙම නඩුවට අදාළව කමිටුවක් පත් කළා. මම එම කමිටුවේ සාමාජිකයෙක් එම කමිටු වාර්තාවට මම අත්සන් තැබුවා. 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු නොකරන බව අධිකරණයට දන්වා සිටියහ. 
සාක්ෂිකරුට නැවත ප්‍රශ්නයක් යොමු කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "2024 /03/07 වන දින ඔබ පත්කර අධිකරණය කුමක්ද?" යනුවෙන් විමසීමක් කළ අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය. 
ඒ සමගම එම සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර  මෙම නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා අධිකරණයට කැඳවා සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී එච් රත්නසිරි විජේසූරිය මහතා දිවුරුම් දී සාක්ෂි දීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු මගින් ඔප්පු කිරීමට තිබූ ලේඛනයක ඇති අත්සන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බවට පිළිගන්නා බව පැමිණිල්ල සහ ඔහුගේ නීතිඥවරයා විසින් පිළිගැනීමට විත්තිය විසින් එකඟතාවය පළ කිරීම නිසා අදාළ සාක්ෂිය විමසීමකින් තොරව සාක්ෂිකරු මුදා හැරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
මේ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරුණු අතර මෙම නඩුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාගේ සාක්ෂි ලබා ගැනීම ඔක්තෝම්බර් මස 05 වැනිදා සිදුකිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
medicine_20260131.jpg
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...