BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සුසාන භූමියක දී 'පෙට්ටියෙන් බැස' පැමිණි කවි පොත - (ජයසිරි අලවත්ත)

T

The Leader

November 13, 2023 • 2:41 AM

සුසාන භූමියක දී 'පෙට්ටියෙන් බැස' පැමිණි කවි පොත - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා පොත් ජනගත කිරීමේ උත්සව සඳහා සහභාගිවන්නේ දැනට තිස් වසරකට පමණ පෙර සිට ය.
  • කොළඹ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ නුවර යනාදි ප්‍රදේශවල වුව ද මා සහභාගි වී ඇත්තේ ශාලා තුළ පැවති පොත් ජනගතකිරීමේ උත්සව සඳහා ය.
  • (වෙනත් බාහිර ස්ථානවල ද එබඳු උත්සව පැවති බව අසා ඇත) මේ සියල්ලට වඩා වෙනස් ස්ථානයක පැවති පොතක් ජනගත කිරීමේ උළෙලකට සහභාගිවීමේ අවස්ථාව පසුගිය දිනෙක (2023/11/11) උදාවිණ.
  • මේ සියලු කටයුතු හමාර වනතුරු මා සහ එම අවස්ථාවට සහභාගි වූ විදර්ශන සොයුරා අදාළ ස්ථානයෙන් මඳක් බැහැරට වී සියල්ල දෙස විමසුම් ඇසින් බලාසිටියේ සාහිත්‍ය කලා කටයුත්තක් මධ්‍යයට ආගමික සිරිත් විරිත් කැඳවාගෙන විත් කතුවරයා සිදු කරන්නේ කුමක් ද යන්න ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එදා මෙදා තුර පැවති එම උත්සව වැඩි ප්‍රමාණයක් පැවතියේ ප්‍රධාන දේශන ශාලාවල ය. කොළඹ නම්: ජාතික පුස්තකාල ශ්‍රවණාගාරය, මහජන පුස්තකාල ශ්‍රවණාගාර කිහිපයෙන් එකක, ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරය, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරය, NADA ආයතන ශ්‍රවණාගාරය, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, රුසියානු කේන්ද්‍රය සහ ඇතැම් තරු පහේ, තුනේ හෝටල් යනාදි ස්ථානවල දී ය.

මීට අමතරව විවිධ පාසල්වල සහ කොළඹට නුදුරින් පිහිටි බොල්ගොඩ වැව මධ්‍යයේ මෙන් ම එම වැව අසබඩ ද පොත් ජනගතකිරීමේ උත්සව පැවැත්විණ. කොළඹ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ නුවර යනාදි ප්‍රදේශවල වුව ද මා සහභාගි වී ඇත්තේ ශාලා තුළ පැවති පොත් ජනගතකිරීමේ උත්සව සඳහා ය. (වෙනත් බාහිර ස්ථානවල ද එබඳු උත්සව පැවති බව අසා ඇත) මේ සියල්ලට වඩා වෙනස් ස්ථානයක පැවති පොතක් ජනගත කිරීමේ උළෙලකට සහභාගිවීමේ අවස්ථාව පසුගිය දිනෙක (2023/11/11) උදාවිණ. කෘතියේ රචකයා ධනුෂ්ක විමලසේන ය; කෘතිය ‘‘පෙට්ටියෙන් බැස’’ යන මැයෙන් වූ ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය යි.

IMG 20231112 WA0016

මෙය කියවන ඔබ දැන් බලාපොරොත්තු වන්නේ අදාළ කෘතිය ජනගත කළේ කුමන ස්ථානයක ද යන්න ය. ඔවු... එය සැබැවින් ම අපූර්ව ජනගත කිරීමකි; එනම් අදාළ කෘතිය ජනගත කෙරුණේ සුසාන භූමියකට අයත් බිම්කඩක දී ය; තවත් පැහැදිලිව ම ලියන්නේ නම් රාගම ඉහළගම සුසාන භූමියට අයත් බිම්කඩක දී ය. උත්සවයේ හැඩය මංගල උත්සවයක් නොව: සුදු කොඩි ළෙල දෙන, ගොක් කොළ සැරසිලි සහ ගොක් කොළ තොරණකින් ද සමන්විත අවංමංගල උත්සව සිරියක් ගෙන තිබිණ. එමතු නොව මේ අවස්ථාවේ එම ස්ථානයේ දෙණක් නොතිබුණ ද සංඝරත්නය කැඳවා පාංශකුලය පිරිනැමීමක් ද සිදු කෙරිණ. පොල් තෙල් පහනක් දල්වනවා වෙනුවට පිරිසක් තිර රෙද්දකින් ආවරණය කර තිබූ ස්ථානයක පොල් තෙල් පහන් කිහිපයක් ද දැල්වූහ. පහන් දැල්වීමෙන් අනතුරුව තිරය ඉවත් කළ පසු එහි දක්නට ලැබුණේ පැමිණි කිසිවකු කිසිදු ආකාරයකින් දකින්නට බලාපොරොත්තුව නොසිටි සේයා රූ රැසකි.

IMG 20231112 WA0007

IMG 20231112 WA0006

IMG 20231112 WA0011මේ සියලු කටයුතු හමාර වනතුරු මා සහ එම අවස්ථාවට සහභාගි වූ විදර්ශන සොයුරා අදාළ ස්ථානයෙන් මඳක් බැහැරට වී සියල්ල දෙස විමසුම් ඇසින් බලාසිටියේ සාහිත්‍ය කලා කටයුත්තක් මධ්‍යයට ආගමික සිරිත් විරිත් කැඳවාගෙන විත් කතුවරයා සිදු කරන්නේ කුමක් ද යන්න ය. ඒ, එම අවස්ථාවේ පැවති එක ම අඩුපාඩුව දෙණක් නොතිබීම සහ දෙණ වටා රොක්ව හඬා වැලපෙන පිරිසක් නොසිටීම පමණක් වූ  බැවිනි.

කවියා මේ සියල්ල සිදු කළේ ඇයි ද යන්න හෙළිවන්නේ උත්සව සභාවේ පළමු අදියර වූ අවමංගල චාරිත්‍ර සිදු කර අවසානයේ දී ය.

ධනුෂ්ක විමලසේන කවියා යනු වාමාංශික අදහස් මත පිහිටා සිටින, එමෙන් ම බෞද්ධාගමානුකුලව කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදා සේවයේ නියැළෙන පුද්ගලයෙකි. මේ වන විට කලක් දැඩි වාමාංශිකයන් ලෙස දිවි ගෙවූ බොහෝ පිරිස් මෙන් ම විමුක්ති ව්‍යාපාරවල පුර්ණකාලින සටන් සගයන් පවා දක්ෂිණාංශික කඳවුරේ ලැග, එම කඳවුරෙන් ලැබෙන වරදාන වරප්‍රසාද යෙහෙන් භුක්ති විදිමින් සිටිති. එබඳු වාතාවරණයක් තුළ ධනුෂ්ක නාවික හමුදාවේ සේවයේ නියුතු වීම හෝ ඔහු බෞද්ධාගමානුකුල කටයුතු සඳහා නැඹුරුවක් දැක්වීම ද එතරම් මායිම් නොකළ යුතු නොවේ ද යන්න මට පසක් වූයේ ඔහු මෙම අවස්ථාව මේ ආකාරයෙන් සූදානම් කර ඇත්තේ මන්ද යන්න නිසියාකාරයෙන් වටහා ගැනීමෙන් ඉක්බිතිව ය.

ඔහු පාංශකූලය පිරි නමා තිබුණේ සැබැවින් ම පීඩිත ජනතාව වෙනුවෙන් දිවි පිදූ සගයන් වෙනුවෙනි. ඒ සඳහා එදා මෙදා තුර ලාංකීය භූමියේ උන්නතිය වෙනුවෙන් පරදේසක්කාරයින් සමග සටන් වැදි ජනතාව මෙන් ම ධනේශ්වර පාළක පෙළැන්තියට එරෙහිව සටන් කළ විරෝදාර තුරුණු සටන්කරුවන් සහ සටන්කාරියන් වෙනුවෙනි; පොල් තෙල් පහන් දල්වා තිබුණේ මෙරට සාහිත්‍ය කලාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ කලාකරුවන් වෙනුවෙනි.   

IMG 20231112 WA0010

මෙය ධනුෂ්ක විමලසේන කවියා ඉතා සද්භාවයෙන් කළ ක්‍රියාවකි. ඒ පිළිබද විවාදයක් නොමැත. නමුදු විදර්ශන කන්නන්ගර සිය අදහස් දැක්වීමේ දී පැවසූ පරිදි අප ආගමික කටයුතු සහ කලාව පටලවා නොගතයුතු ය යන්න මගේ ද පුද්ගලික හැඟීම ය. ආගම අදහන පුද්ගලයන්ට ඒ නිදහස තිබිය යුතු ය. කලාව, කලාව සේ තිබිය යුතු ය. ධනුෂ්ක කළ මේ ආගමානුකුල කටයුතු වුව ද කලා මාධ්‍යයක ස්වරුපයෙන් ම සිදු කළේ නම් මෙම අවස්ථාව තවත් කලාත්මක වන බව මගේ අදහස ය.

IMG 20231112 WA0020

ඒ කරුණු කෙසේ වුව ද කෘතියේ  අන්තර්ගත නිර්මාණ පිළිබඳ අදහස් දැක්වීම මතුවට කල් තබා කෘතියක් දොරට වැඩීමේ හෙවත් ජනගතකිරීමේ උත්සවයක් අදාළ කතුවරයාගේ උන්නතිය වෙනුවෙන් පමණක් භාවිත කිරීම පසෙක ලා සමස්ත සාහිත්‍ය කලාව වෙනුවෙන් මෙන් ම ලාංකීය පීඩිත ජනයා වෙනුවෙන් දිවි පුදා හළ විරුවන් වීරවරියන් උදෙසා භාවිත කිරීම පිළිබඳ ධනුෂ්ක විමලසේන කවියාට මගේ හෘදයාංගම ආදරය සහ ගෞරවය මේ අවස්ථාවේ පුද කරන්නේ ඉමහත් තුටු සිතිනි.


දකුණේ සිට' කියැවීමෙන් ඉක්බිති...- (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2023/11/13  


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...