BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නිර්මාණ කෘති සහ නිර්මාපකයන් අපරාධ නීතියෙන් වියුක්ත කිරීම - (ශක්තික සත්කුමාර)

T

The Leader

December 6, 2023 • 3:27 AM

නිර්මාණ කෘති සහ නිර්මාපකයන් අපරාධ නීතියෙන් වියුක්ත කිරීම - (ශක්තික සත්කුමාර) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවන්ත ආටිගල කාටුනයකි
  • එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ නිර්මාණ කෘති අරබයා කිසිදු විටෙක අපරාධ නීතිය යටතේ කටයුතු නොකිරීමට අදාළ අණපනත් ඉදිරියේ දී ගෙන එන බවයි.
  • එසේම කලාව සම්බන්ධයෙන් පවතින වාරණය යන සංකල්පය අවසන් කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන බවයි.
  • එය එලෙස සිදු වුවහොත් ඉදිරියේදී කලා නිර්මාණයකින් අපහාසයක් හෝ සිත් රිදවීමක් හෝ සිදු වූ බව කියමින් නිර්මාපකයා අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ නිර්මාණය වාරණය හෝ කිරීම සිදු නොවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය දා පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද කතාව සියලුම කලාකරුවන්ගේ, නිර්මාණකරුවන්ගේ, මාධ්‍යවේදීන්ගේ, නීතිවේදීන්ගේ සහ මධ්‍යස්ථ මත දරන්නන්ගේ අවධානයට සහ සාකච්ඡාවට බඳුන් විය යුත්තක් බව සිතමි. එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ නිර්මාණ කෘති අරබයා කිසිදු විටෙක අපරාධ නීතිය යටතේ කටයුතු නොකිරීමට අදාළ අණපනත් ඉදිරියේ දී ගෙන එන බවයි. එසේම කලාව සම්බන්ධයෙන් පවතින වාරණය යන සංකල්පය අවසන් කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන බවයි.

එය එලෙස සිදු වුවහොත් ඉදිරියේදී කලා නිර්මාණයකින් අපහාසයක් හෝ සිත් රිදවීමක් හෝ සිදු වූ බව කියමින් නිර්මාපකයා අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ නිර්මාණය වාරණය හෝ කිරීම සිදු නොවනු ඇත. එය ප්‍රකාශයකට පමණක් සීමා නොකිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි.

39859839ලෝකයේ බොහෝ රටවල නිර්මාණ කෘති සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මකත්මක වන්නේ නැත. අයි.සී.සී.පී.ආර්., ත්‍රස්ත පනත ආදි නීති කලා නිර්මාණ සම්බන්ධයෙන් භාවිත කරන්නේ ලෝකයේ ඉතා ස්වල්ප රාජ්‍යයන් කිහිපයකි. එයිනුත් ලංකාව ඉදිරිපෙළ නියෝජනය කරයි. මෙරට මුලින්ම නිර්මාණ කෘතියක් වාරණයට ලක් වන්නේ 1967 දීය. ඒ ටෙනිසන් පෙරේරා ලේඛකයා ලියූ ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෙටිකතා සංග්‍රහයයි. මෙම කෘතිය වාරණය කිරීම සම්බන්ධයෙන් එයට වසර හතළිහකට පමණ පසු 2008 ජූලි 20 ඉරිදා රාවය පුවත්පතට මේ ලියුම්කරු ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කළේය.

tenison

ටෙනිසන් පෙරේරා

එහිදී ලේඛක ටෙනිසන් පෙරේරා පවසා සිටියේ එවක සුජීවත්ව සිටි මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් මේ පිළිබඳව පුවත්පතක් විමසීමේ දී පවසා තිබෙන්නේ “උසාවි යන්න අකමැති හින්දා මේ ගැන මොකුත් නොකියා ඉන්නම්” කියාය. එවක වමේ ප්‍රබල දේශපාලන පුවත්පතක සිරස්තල වී තිබී ඇත්තේ ‘දැති රෝදෙන් උපන් බුදුන් උත්මත්තකයෙකු විසින් ලියන ලද කෘතියකි’ යන්නයි. ටෙනිසන් පෙරේරා ලේඛකයා පැවසූ පරිදි පොත තහනමට ලක් වූ පසු ඩබ්ලියු.ඒ. අබේසිංහ වැනි ලේඛකයන් පවා ඇත්ත පුවත්පතට තමන් අසභ්‍ය කතාකාරයෙකු ලෙස හඳුන්වමින් ලිපි ලියූ බවයි.

6659775නිර්මාණ කෘතියක් වාරණය කළ යුතු යැයි මීළඟට රට තුළ ආන්දෝලනයක් ඇති වන්නේ 1975 වර්ෂයේ දීය. ඒ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘බවතරණය’ නවකතාව අරබයාය. 1975 පෙබරවාරි 01 වන දින ගුණදාස ලියනගේ මාධ්‍යවේදියාගේ කර්තෘත්වයෙන් පළවූ සිංහ කොඩිය පුවත්පතෙහි ප්‍රධාන සිරස්තලය වූයේ ‘බවතරණය ව්‍යවස්ථ විරෝධීයි. මාර්ටින් වික්‍රමසිංහ සිරබාරයට ගනු!’ යන්නයි. නමුත් එවක පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජය කෘතිය වාරණය කිරීමක් හෝ නිර්මාපකයා සිරගත කිරීමක් හෝ සිදු කරන්නේ නැත.

wrtgvb

මංජුල වෙඩිවර්ධන, ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම

තම නිර්මාණ කෘති වාරණය කිරීම සම්බන්ධව අමිහිරි අත්දැකීම්වලට මීළඟට මුහුණ දෙන්නේ මංජුල වෙඩිවර්ධන, ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම වැනි ලේඛකයන් සහ සිනමා අධ්‍යක්ෂවරුන්ය. අදාළ නිර්මාණකරුවන්ගේ කලාකෘතිවලින් ආගම්වලට, සංස්කෘතියට, රණවිරුවන්ට, අධිකරණයට අපහාස වන බවට ඔවුන්ට විරුද්ධව චෝදනා නැගී තිබුණත්, නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ සිරගත කිරීමක් හෝ සිදු නොවුණි. අදාළ නීතිමය සහ අධිකරණ කටයුතු පමණක් සිදුවිය.


img 20220525 0007මෑතකාලීන ඉතිහාසය තුළ මාලක දේවප්‍රියගේ ‘තරුවන් සරණයි’ ගුවන් විදුලිය නාට්‍යය කේ.කේ. ශ්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ නවකතාව සහ ඩිල්ෂාන් පතිරත්නගේ ‘දඩබ්බරයා’ නවකතාව යන නිර්මාණවලට විරුද්ධව කොළඹ අපරාධ විමර්ශන අංශයට සහ පොලිසියට පැමිණිලි ලැබී තිබුණි. ඒ එකී නිර්මාණවලින් බුදු දහමට අපහාස වන බව කියමින්ය. එහිදී ද එකී නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක් සිදු නොවුණි. නිර්මාණ කෘති අරබයා අයි.සී.සී.පී.ආර්. සහ ත්‍රස්ත පනත ආදි අපරාධ නීති (විශේෂ) යටතේ කටයුතු කිරීම ඇරඹෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ අවසන් කාල වකවානුවේදීය. එනම් 2019 වර්ෂයේ මුල් කාර්තුවේ සිටය. ‘අර්ධ’ කෙටි කතාව පළ කිරීම සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ මේ ලියුම්කරුය.

 

අහනෆ් ජසීම් කවියා රඳවාගෙන අදට වසරක් : 16 ඉරිදා සවස Zoom සංවාදයට ඔබටත් ආරාධනා

අන්නාෆ් ජසීම්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්ව සිටි සමයේ ‘නවරසම්’ යන කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත්කිරීම අරබයා එහි කතුවර අන්නාෆ් ජසීම් කවියා 2020 වර්ෂයේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනෙන අතර ඔහු දින 587 ක් රඳවා තබා ගනී. කලා කෘතියක් සම්බන්ධව මීළඟ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ කාලයේදීය.

එනම් 2023 වර්ෂයේ මුල් කාර්තුවේදීය. ප්‍රහසන වේදිකා නාට්‍යයක දී සිද්ධාර්ථ චරිතයට අගෞරව කළ බවට චෝදනා නගමින් නාට්‍ය ශිල්පී නතාෂා එදිරිසූරිය අයි.සී.සී.පී.ආර්. පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. මසකට පමණ ආසන්න කාලයක් ඇයට බන්ධනාගාරගතව සිටීමට සිදුවිය.

තිස්සනායගම්ජේ.එස්. තිස්සනායගම්කලා හා නිර්මාණ කෘති වාරණය සහ නිර්මාපකයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම්වලට අමතරව තම අදහස් මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයට පත් කිරීම නිසා අපරාධ නීති යටතේ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදු වී ඇති ලාංකේය මාධ්‍යවේදීහු සහ සමාජ මාධ්‍ය ක්‍රියාධරයෝ ද බොහෝ පිරිසක් සිටිති. දමිළ මාධ්‍යවේදියකු වූ ජේ.එස්. තිස්සනායගම් තමා ලියූ පුවත්පත් වාර්තාවක් නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාල වකවකවානුවේ දී අත්අඩංගුවට පත්වීමට සිදුවිය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මගින් හෘදය සාක්ෂියේ සිරකරුවෙක් ලෙස මෙරට මුලින්ම නම් කරන්නේ එම මාධ්‍යවේදියායි.

සමාජ මාධ්‍ය තුළ තම අදහස් ප්‍රකාශ කිරීම නිසා මෑත ඉතිහාසයේ සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් බොහෝ පිරිසක් අත්අඩංගුවට පත් විය. ඒ අතර රම්සි රාසීක් සහ සේපාල් අමරසිංහ ද වෙති. ඔවුන්ව අයි.සී.සී.පී.ආර්. පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන නිසා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. සේපාල අමරසිංහ තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයේ දී සමාව ඇද සිටීම නිසා ඔහුට ඇප හිමිවේ. රම්සි රාසීක්ට මාස හයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවිය.

සමාජ මාධ්‍යයේ 'කලින් ලියපු දේවල් දැන් බැරි තත්වයක්'රම්සි රාසීක්

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බාධා පමුණුවමින් 2019 වර්ෂයේ සිට අයි.සී.සී.පී.ආර්. පනත අවභාවිත කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවතිණි. ඒ 2019 වර්ෂයේ මුල් කාර්තුවේ දී මෙම ලියුම්කරු ගොනුකළ නඩුව සහ දෙදහස් 2020 වර්ෂයේ අවසන් කාර්තුවේ රම්සි රාසීක්ගේ නඩුවයි. පසුගිය සතියේ රම්සි රාසීක් නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබුණු අතර, එය මෙරට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කළ නඩු තීන්දුවක් විය. අයි.සී.සී.පී.ආර්. පනත යටතේ අත්අඩංගුවට ගැනීම නිසා රම්සි රාසීක්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව තීරණය කළ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවීමට ද තීරණය කරන ලදි.

ලෝකයේ දියුණු ශිෂ්ටාචාරවල කලා නිර්මාණ අරබයා නිර්මාපකයා අපරාධ නීති යටතේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ නිර්මාණය වාරණය කිරීම හෝ පිළිබඳ සංවාදයක්වත් නොකරන තත්වයකි පවතින්නේ. මන්ද එම රටවල් එකී පසුගාමී චින්තනයෙන් සම්පූර්ණයෙන්ම මිදී ඇති නිසාය. අවම වශයෙන් අපේ රටේ ඒ සම්බන්ධයෙන් සංවාදයක් හෝ ඇති වීම සතුටට කාරණයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති සිනමා උලෙළේ දී පැවසූ පරිදි නිර්මාණ කෘති සහ නිර්මාපකයන් අරබයා අපරාධ නීතිය යටතේ කටයුතු නොකරන තැනට සමස්ත සමාජයේ මනෝභාවයන් ද සකස් විය යුතු නොවේද?

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත(ශක්තික සත්කුමාර) 

shakthikasathkumara@gmail.com 
උපුටා ගැනීම : anidda.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...