BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අමුක ඩුමුක අමල් ඩුමල් - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader

December 8, 2023 • 9:55 AM

අමුක ඩුමුක අමල් ඩුමල් - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං ඔය නැටුම හරියට බැලුවෙ අදයි. මීට කලින් දැකල ඇති. ඒකෙ නරකක් මට නම් පෙනෙන්නෙ නැහැ.
  • අමුක ඩුමුක නැටුම නටන තරුණයාට එවැනි සහජ හැකියාවක් එතරම් තිබෙන බවක් මට පෙනෙන්නෙ නැහැ.
  • තමන්ගෙ ෆෑන් බේස් එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් හුවමාරු කරගත හැකි සෙලිබ්‍රිටිලා දැන් ඉන්නවා.
  • ටෙලි නාට්‍ය චරිතයක් නිසා උපේක්ෂා ස්වර්ණමාලි නම් නිළිය 2010 මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කරු ජයසූරියට වඩා මනාප ලබාගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):


මං හිතන්නෙ නර්තන ලාලිත්‍යය කියන එක උපතින් එන එකක්. අධ්‍යාපනය හා පුහුණුව තුළින් වර්ධනය කරගන්නට පුළුවන්. අර සහජ කුසලතාව ඔප් නංවා ගත්තොත් අපූරු සෞන්දර්යයක් නිර්මාණය කරන්නට පුළුවන්. හුදු පුහුණුවෙන් විතරක් ඒ සෞන්දර්යය නිර්මාණය වෙන්නෙ නැහැ කියලායි මට හිතෙන්නෙ. මේ කතාව සියලු කලාවන්ට අදාළයි.

අමුක ඩුමුක නැටුම නටන තරුණයාට එවැනි සහජ හැකියාවක් එතරම් තිබෙන බවක් මට පෙනෙන්නෙ නැහැ. කෙසේ වෙතත්, ඔහු කිසියම් අහම්බයකින් අති විශාල ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා. ජනප්‍රියත්වය කියන්නේ වර්තමානයේදී ප්‍රචාරණය හා අලෙවිකරණය සඳහා වැදගත්ම සාධකයයි.

දැන් වෙළඳ ප්‍රචාරණ හෙවත් ඇඩ්වටයිසිං කියන සංකල්පයම මූලධාර්මිකව වෙනස් වෙලා. ඉස්සර ඇඩ්වටයිසිං පොරවල් හිටිය නිකං මොනරු වගේ ආඩම්බරෙන්. ගිය ගිය හැම තැනම පිල් විදහමින් තමයි හිටියෙ. හැබැයි ඉතින් වෙළෙන්දන් වෙනුවෙන් භාණ්ඩ හා සේවා විකුණලා දෙන එක තමයි රස්සාව. ඒ සඳහා ඔවුන් ජනප්‍රිය තාරකා බොහෝ වෙලාවට යොදාගත්තා.


දැන් වෙලා තියෙන්නෙ හරිම අපූරු දෙයක්. ජනප්‍රිය තාරකාවලට ඉතා පුළුල් ග්‍රාහක පිරිසකට ඍජුවම සමාජ මාධ්‍ය ඔස්සේ ආමන්ත්‍රණය කරන්නට පුළුවන්. ඒකට කියන්නෙ ෆෑන් බේස් එක කියලා. අද කාලෙ කිසිදු මාධ්‍යයකට මේ සමාජ මාධ්‍ය තරම් ග්‍රාහකයා වෙත සමීප වීමේ හැකියාව නැහැ. ජනප්‍රිය තාරකාවක් යමක් කිව්වොත් ඒක තමයි සමාජ මතය වෙන්නෙ. මතක තියාගන්න ඉදිරි මැතිවරණවලදිත් මේක වෙනවා. තමන්ගෙ ෆෑන් බේස් එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් හුවමාරු කරගත හැකි සෙලිබ්‍රිටිලා දැන් ඉන්නවා. පව් ඉතින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න බලාගෙන ඉන්න අපේ සිවිල් සමාජය.


පුරවැසියන් විදියට, විප්ලවවාදීන් විදියට අපි මේ අභියෝගය තේරුම් ගත යුතුව තිබෙනවා. ඉදිරි කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ දේශපාලනයට එන තාරකාවල ෆෑන් බේස්වල මතය ජයගැනීම වෙනවා නම් තත්වය මොකක් වෙයිද?

ටෙලි නාට්‍ය චරිතයක් නිසා උපේක්ෂා ස්වර්ණමාලි නම් නිළිය 2010 මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කරු ජයසූරියට වඩා මනාප ලබාගත්තා. දැන් වුණත්, යොහානි, අමුක ඩුමුක, වයිල්ඩ් කුක් බුක්, අපෙ අම්මා පමණක් නොවෙයි පොල් කරු වුණත් ප්‍රධාන පක්ෂයකින් නාමයෝජනා ලබාගෙන තරග කළොත් අනුර කුමාරලටත් බඩු බනිස් වෙන්න පුළුවන්. ඒක තමයි මේ සමාජයේ හැටි. ඔය දැනට ඉන්න ඊනියා නායකයන් තමයි එහෙම සමාජයක් හැදුවෙ. ගැඹුරක් නැති පල් බොරුවලින් නිර්මාණය කරපු දේශපාලන සමාජයක් මේක.

හැබැයි ඉතින් මේ බොහෝ ක්ෂණික තාරකාවලට එහෙම ලොකු උවමනාවක් හෝ අවබෝධයක් ඇති බවක් පෙනෙන්නෙ නැහැ. ඔවුන් අවධානය යොමු කරන්නෙ ලැබුණු අවස්ථාව උපරිම වශයෙන් ආයෝජනය කරලා සල්ලි හොයන්න. ඒකෙ කිසිම වරදක් නැහැ. පැවැත්ම වෙනුවෙන් ඔවුන් යමක් ඉගෙන ගන්නට පෙළඹෙන බවක් ද දකින්නට ලැබෙනවා.

ඔවුන්ට බැණ වදින අය ඉන්නවා. ඇයි එහෙම බණින්නෙ? ඔවුන් කාටවත් වරදක් කරලා නැහැනෙ. එහෙනම් ඇයි අපි බණින්නෙ? ඒකට හේතුව තමයි, අපේ ආශාව වන ජනප්‍රියත්වය අපට අහිමිව ඔවුන් ලබාගැනීම. මේ සරල කාරණාව ඕනැ නම් දාර්ශනික භාෂාවකින් කාව හරි උපුටා දක්වලා කාටවත් නොතේරෙන විදියට කියන්නත් පුළුවන්.

ජනප්‍රිය නිසා කරෙන් තියාගෙන අරක නැතත්, මේක නිසා උන් මාරයි කියා වර්ණනා කිරීමත් ඒ ජාතියෙම වැඩක් තමයි. ඒකෙන් අපි හෙණ ප්‍රගතිශීලීයි, ඉදිරිගාමීයි, අනාගතවාදීයි, පොෂ්, මොඩර්න්, තොපි වගේ ඩොටේ නෙමෙයි උට්ටො කියලා අපට ආතල් එකක් ගන්න පුළුවන්.

ඔව් ඉතින්, ඔය දෙකට නැති මෙහෙම දෙයක් ලියන එක වුණත් එහෙම වෙන්න පුළුවන්.

අමුක ඩුමක ඩුමල් ඩුමල්!

AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

සබැඳි ලිපි :
අමුක ඩුමුක අවුල් ද?

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...