BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වඩා සොඳ අඩ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader

December 9, 2023 • 7:35 PM

වඩා සොඳ අඩ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉංග්‍රීසියෙන් 'බෙටර් හාෆ්' කියැවෙන පදයේ වාච්‍යාර්ථය 'වඩා සොඳ අඩ' ලෙස පෙළ ගැස්විය හැකි වුව ද, එහි ඉඩියමැටික තේරුම එය
  • සමහරු පවසන්නේ මෙය සියුම් උපහාසයක් කැටි කොටගත් වදනක් ලෙස යි.
  • තවත් සමහරු පවසන්නේ මෙය ඉංගිරිසියෙන් කියැවෙන කොන්ඩිසෙන්ඩින් හෙවත් බිරිඳ ව අන්දවන එහෙමත් නැත්නම් මුරුංගා අත්තේ තියෙන හුදු ප්‍රලාපයක් ලෙස යි.
  •     සින්තියා ඇස්ක්විත් නමැති ලේඛිකාව විසින් රචිත මැරීඩ් ටු ටෝල්ස්ටෝයි (ලියෝටෝල්ස්ටෝයි හා විවාහ වන ලද) නමැති කෘතිය 1960 දී පළ වීමෙන් අනතුරු ව මහත් ආන්දෝලනයක් ජනනය කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

නොවේ. බෙටර් හාෆ් යන යෙදුම බොහෝ දුරට භාවිතා කෙරෙන්නේ තම කලත්‍රයා (ඉංග්‍රීසියෙන් spouse) හෙවත් විවාහයක එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවය හඳුන්වන්න ය. එහෙත් පසු කාලීන ව බෙටර් හාෆ් යන්නෙන් අදහස් කරන්නේ බිරිඳ ගැන ය. සමහරු පවසන්නේ මෙය සියුම් උපහාසයක් කැටි කොටගත් වදනක් ලෙස යි. තවත් සමහරු පවසන්නේ මෙය ඉංගිරිසියෙන් කියැවෙන කොන්ඩිසෙන්ඩින් හෙවත් බිරිඳ ව අන්දවන එහෙමත් නැත්නම් මුරුංගා අත්තේ තියෙන හුදු ප්‍රලාපයක් ලෙස යි.

 s l1600

 සින්තියා ඇස්ක්විත් නමැති ලේඛිකාව විසින් රචිත මැරීඩ් ටු ටෝල්ස්ටෝයි (ලියෝටෝල්ස්ටෝයි හා විවාහ වන ලද) නමැති කෘතිය 1960 දී පළ වීමෙන් අනතුරු ව මහත් ආන්දෝලනයක් ජනනය කෙරිණ. මහා ගත් කතුවර ලියෝටෝල්ස්ටෝයි ගේ ජීවිතය ඇසුරෙන් චරිතාපාදන විස්සක් පමණ සම්පාදනය වී ඇති අතර, ඔහුගේ බිරිඳ වූ සොෆියා ටෝල්ස්ටෝයිගේ චරිතාපාදනය ඇස්ක්විත් විසින් රචනා කළ විට ඔහු පිළිබඳ ව මෙතෙක් මැවී තිබුණු ප්‍රතිරූපය ගැන වරක් නොව දෙවරක් සිතා බලන්නට කාට කාටත් සිදු විය.

Amarak

මේ කෘතිය ලියනගේ අමරකීර්ති විසින් පරිවර්තනය කෙරුණ විට, ඔහු එහි නම ලෙස භාවිතා කළේ 'මහා පුරුෂයෙකුට බිරිඳක් ව' යන්න යි. මේ යෙදුම
මහාචාර්ය අමරකීර්ති විසින් ම තනන ලද එකක්ද කියා මම එතුමන්ගෙන් පසු ගිය දිනක විමසීමි. ඔහුගේ පිළිතුර වූයේ නැත කියා ය. තව දුරටත් ඒ විමසීමේදී ඔහු කිව්වේ, මෙය බෝධිසත්ව තත්ත්වයක් ගැන සාකච්ඡා කිරීමේදී, අදාල පුරුෂයා තම බිරිඳ ගැන නිසි ලෙස සොයා නොබැලීම හේතුවෙන්, බිරිඳගේ අසීරු හා නීරස විවාහ ජීවිතය ගැන විස්තර කෙරුණු ආකාරය කියා ය.

එම නිසා මෙහි ඇති වාච්‍ය අර්ථයට වඩා තියුණු උත්ප්‍රාසජනක අර්ථයක් මෙම යෙදුම ජනනය කරයි.Cynthia Asquith

 

 සැමියාගේ පතාක සෙවනැල්ල හමුවේ අදිසි ව වෙසෙන බිරිඳ, ඔහුගේ නිර්මාණ හා කුටුම්භ ජීවිතයේ ඒකාකෘතික ප්‍රතිනිෂ්පාදන භූමිකාව (වර්ගයා බෝ කිරීම, දරුවන් හා කුටුම්භය රැක බලා ගැනීම) ඉටුකරන බිරිඳ ගැන ස්ත්‍රීවාදී විවේචනයක් මේ වන විට සමාජය තුළ බොහෝ දුරට ස්ථාපිත ව ඇත.

එහෙත් ඇස්ක්විත්ගේ සොෆියා ටෝල්ස්ටෝයි ගැන රචිත කෘතිය මෙම විවේචනයට පෙර සමයෙක ලියවුණු එකක් නිසා, එය පුරෝගාමී ප්‍රවණතාවයක මුල පිරුමක් ලෙස සැලකේ. එහෙත් උත්ප්‍රාසජනක කරුණ නම්, ඇස්ක්විත් ද බොහෝදුරට හැඳින්වෙන්නේ ඇයගේ සැමියාගේ අනන්‍යතාවය හා ඇයගේ මාමණ්ඩියගේ ද අනන්‍යතාවය පදනම් කර ගනිමිණි. සින්තියා ඇස්ක්විත් (1887-1960) මැතිණිය මහා බ්‍රිතාන්‍යයේ 1908 සිට 1916 කාලය තුළ අගමැති ව සිටි එච් එච් ඇස්ක්විත් ගේ ලේලිය යි.

 

ඉතාමත් මෑතකදී ද මේ ආකාරයේ චරිතාපදානයක් ප්‍රතිනිර්මාණය වූයේ වයිෆ්ඩම් (භාර්‍යාධානිය) නමිනි. ඔස්ට්‍රේලියානු ජාතික ලේඛිකාවක වන ඇනා ෆන්ඩර් වයිෆ්ඩම් කෘතිය පළ කළේ මේ වසරේ ජූලි මස (වයිෆ්ඩම්, පෙන්ග්වීන් ප්‍රකාශකයෝ 2023) ය. චරිතාපාදනයක් ලෙස රචිත මේ කෘතියෙහි, අදාළ චරිතය වන්නේ අයිලීන් ඔ'ශෝනසි ය.

සුප්‍රසිද්ධ ඇනිමල් ෆාර්ම් හා 1984 වැනි කෘති ලියූ ප්‍රකට ලේඛක, ජෝර්ජ් ඕර්වෙල් විවාහ වී සිටියේ අයිලීන් සමග යි. දක්ෂ ලේඛිකාවක වූ අයිලීන් කොටු වූයේ තම සැමියා වූ ඕර්වෙල්ගේ නිර්මාණ සඳහා සහාය වීමට හා කුටුම්භ ජීවිතය නඩත්තු කිරීමට බව, ඇය තම සමීප මිතුරියක සමග දිගු කලක් තිස්සේ කළ ලිපි හුවමාරුවක ලේඛන ආශ්‍රයෙන්, ඇනා ෆන්ඩර් චරිතාපාදනය ප්‍රතිනිර්මාණය කළා ය.

 annafunder.width 640

 යට කී කෘති දෙකෙන් ම, කෙරුණේ, සැමියාගේ සෙවනැල්ලෙන් වැසී සිටි බිරින්දෑවරුන් දෙදෙනෙකුගේ ජීවිතය අපට දැක බලා ගැනීමට කවුළුවක් විවර කිරීම යි. කෘති දෙක ම චරිතාපාදන ශානරයේ ඒවා වූ අතර, එහි පොදු හුය වූයේ, පීතෘ මූලික සමාජයක, කාන්තාවකගේ භූමිකාව ප්‍රතිනිෂ්පාදනයට ලඝු වීම හා වේතනයක් නොගෙවෙන ඇය විසින් ඉටු කෙරෙන වැඩ කන්දරාව ගැන කෙරෙන දැඩි විවේචනය යි. සොෆියා සහ අයිලීන් දෙදෙනාගේ ම නිර්මාණ විභවය තමන්ගේ දෙයක ලෙස මල්ඵල ගැන්වීමට තිබූ අවස්ථා ඉඩ හැරීම හා තම සැමියාගේ නිර්මාණකරණයට කළ තීරණාත්මක දායකත්වය ගැන නිසි ඇගයීමක් නොකිරීම තුළින් ඇය එක්තරා අසාධාරණයකට හා වින්දිතභාවයකට ඇද දමන බව මේ කෘති දෙකෙන් ම ඉස්මතු කෙරේ.

කෘති දෙක ම කියැවීමේදී අදාල ප්‍රකට සැමියා ගැන පාඨකයා තුළ එක්තරා අපුලක් ඇතිවෙන අතර තවත් කෙනෙකුට එය තරහක් දක්වා ද වැඩීමට ඉඩ ඇත.

ඉහත විස්තර කරන ලද කාන්තාවන්ගේ කටුක අත්දැකීමට වඩා සාධනීය කාන්තා අත්දැකීමක්, අසාධාරණයේ හා වින්දිතභාවයෙහි අනවශ්‍ය ලෙස නොගැළී තම ස්වාධීනත්වය, හැකියාව හා ශක්තිය මත ම පිහිටා, තම කතාව කියන ස්වයං චරිතාපාදනයක් මගේ අතට ලැබුණේ මීට සති දෙක තුනකට පමණ පෙර ය.

කෘතියේ නම 'ප්‍රචණ්ඩත්වයේ දශක පහක් මැදින් ගැහැනියක්' ය. කතුවරිය බණ්ඩාර මැණිකේ ය. 1955 වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උපත ලැබූ බණ්ඩාර මැණිකේ, තමනට ස්මරණය කළ හැකි තමන්ගේ ළමා කාලයේ සිට මිත්තණියක් ලෙස දැන් ගත කරන ජීවිතයේ විවිධ අවස්ථා සවිස්තරාත්මක ව ලේඛන ගත කර ඇත්තේ උසස් ප්‍රබන්ධ කෘතියක දක්නට හැකි සාහිත්‍යමය ගුණයකිණි. චරිතාපදනය ගොඩනැගෙන්නේ ස්මරණ සමුදායක එකතුවක් නිසා මෙය මෙමුවා (memoir) ආරයේ පොතක් ලෙසද ගිණිය හැකි ය. ඇය ලේඛනගත කර ඇති අතීත කතාවල එන පුද්ගලයන්ගේ නම් ගම්, ගහ කොල පලතුරු හා අනෙකුත් සවිස්තර සටහන්, 68 හැවිරිදි බණ්ඩාර මැණිකේගේ මතක ශක්තිය කෙතරම් විශිෂ්ට ද කියා සාක්ෂි දරයි.

398476185 1061109195227538 6848457045633746255 n

 බණ්ඩාර මැණිකේ ගේ කතාවේ බොහෝ කොටස් දිග හැරෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආන්තික ගම්මාන කීපයක් වටා ය. ඇයගේ මතකය ගොඩනැගෙන්නේ හැටේ දශකයේ අග භාගයේ සිට ය. ඒ කාලයේ පැවැති සමාජ ආර්ථික හා දේශපාලන සංදර්භය කැරැල්ලක් දක්වා වර්ධනය වීම බණ්ඩාර මැණිකේ විස්තර කරන්නේ තමන්ගේ ම පවුලේ සෘජු අත්දැකීම් ඇසුරිණි.

වියළි කලාපයේ කෘෂිකාර්මික ආර්ථිකයකට බැඳුණු පවුලක ලෙස ඉඩම් බෙදී යෑම හා ඉඩම් අහිමිවීම වැනි සාධක නිසා ශ්‍රමික පිරිසක් නිර්මාණය වීම (තම මව සහ පියා), නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ගියත් එවැන්නන් අවශෝෂණය කර ගන්නට නොහැකි ආර්ථිකයක් නිසා රැකියා වියුක්තියට හාජනය වීම (තම වැඩිමහල් සොයුරිය) හා එම තත්ත්වය ඉවසාගත නොහැකි ව එකල මතුව ආ නව දේශපාලන බලවේගයක වූ ජවිපෙට ආකර්ෂණය වීම (තම වැඩිමහල් සහෝදරයා) බණ්ඩාර මැණිකේ ඉදිරිපත් කරන්නේ ගැඹුරු දේශපාලන සන්දර්භයක සමග තම ජීවිත අත්දැකීම කළත්තමිණි. බණ්ඩාර මැණිකේ ගේ වැඩිමහල් සහෝදරයා කැරැල්ලක් ගැසූ නිසා බෝගම්බරට යන කාලයේ ම ය ඕ පේරාදෙණිය සරසවියට තේරෙන්නී.

 406783114 10160530540299473 7933403386955410105 n

හැත්තෑවේ දශකයේ සිට යුද්ධයකට පරිණාමය වූ 80 දශකය දක්වාත්, වරක් ගැලවුම් කරුවෙකු ලෙස සිටි ජවිපෙ තමන්ගේ ජීවිතයට තර්ජනකරුවෙකු වන කාලය හරහා, ගුරුවරියක කාන්තා ක්‍රියාධරයෙකු ලෙස සමාජය හා ගැටී ගැටී, වරෙක ගැටලුවේ කොටසක් ලෙසත් තවත් වරෙක විසඳුමක කොටසක් ලෙසත් ගත කළ ජීවිතය මේ අගනා ස්වයං චරිතාපදනයේ මනා ව ලේඛනගත වේ. මේ දශක පහක පමණ දිවෙන දේශපාලන ජීවිතයේ කතුවරියට හමුවන ගැහැනු මිනිස්සු ද සංවිධාන හා කණ්ඩායම් ද අපමණ ය.

ඒ බොහෝ දෙනෙක් ලාංකීය මෑතකාලීන ඉතිහාසයේ විවිධ මට්ටමේ සැළකිය යුතු භූමිකාවක් ඉටු කළ අය ය. කතුවරියගේ සැමියා ද ඒ අතර වැදගත් චරිතයක වූවත් බණ්ඩාර මැණිකේ තම කතාව කීමේදී, 'මා අහවලා ගේ බිරිඳ' ලෙස පුන පුනා කීමේ අවශ්‍යතාවයක් මතු නොවන්නේ ඇයගේ තිබූ සුවිශේෂී ස්වාධීන පැවැත්ම හා පෞරුෂය නිසා විය යුතු ය. වඩා සොඳ අඩ, පොතක ලියන සඳ වන්නේ මෙය විය හැක. බණ්ඩාර මැණිකේ මිසිස් ටෝල්ස්ටෝයි හෝ මිසිස් ඕර්වෙල් මෙන් නොවන්නේ ද ඒ නිසා විය හැක.

 

Udan fernando

 (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
 සමාජ හා දේශපාලන විශ්ලේෂක

 udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

Anida

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...