බැංකු නිලධාරීන් සිව්දෙනෙකු ද දැනටමත් රක්ෂිත බන්ධනාගාරයේ; ගිණුම් රැසක් විමර්ශනයට
නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනු දැලක ප්‍රධානියෙක් දැලේ
භාණ්ඩ මෙරටට ආනයනය කරන බව පවසමින් ව්‍යාජ සමාගම් ජාලයක් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් නීතිවිරෝධී අයුරින් විදේශගත කර රජයට හා මූල්‍ය පද්ධතියට දැවැන්ත පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (10) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මොහොමඩ් මුසම්මිල් මොහොමඩ් ඉන්ශාන් නමැති ව්‍යාපාරිකයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඉදිරිපත් වූ මූලික විමර්ශන වාර්තා සහ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
සමාගම් 26ක පාලනය සහ සැකකරුගේ භූමිකාව
විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුර වාර්තාවක් මඟින් පෙන්වා දුන්නේ, මෙම මහා පරිමාණ ජාවාරමේ මහමොළකරු ලෙස සැලකෙන ජෙෆ්රි මොහොමඩ් (Jeffrey Mohamed) නමැත්තාගේ මුදල් සංසරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ අත්අඩංගුවට පත් මොහොමඩ් මුසම්මිල් මොහොමඩ් ඉන්ශාන් විසින් බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇති අන්දමට, මෙම ජාවාරමට සම්බන්ධ ව්‍යාජ සමාගම් අතරින් සමාගම් 26ක පූර්ණ පාලනය සහ මෙහෙයුම් හිමිව ඇත්තේ මෙම සැකකරුටය. සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් රැසක් පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මක විගණනයක් හා විමර්ශනයක් සිදුකිරීමට නියමිත බැවින්, සැකකරුට ඇප ලබාදීමට විමර්ශන අංශ අධිකරණය හමුවේ දැඩි විරෝධය පළ කළේය.
පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනෙකු ද බන්ධනාගාරයේ
මෙරට මූල්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක් කරමින් ව්‍යාජ ආනයන ලේඛන මඟින් විදේශ විනිමය පිටරට පැටවීමේ මෙම සංවිධානාත්මක ජාලයට පහසුකම් සැලසීමේ චෝදනාව මත ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක ප්‍රධාන නිලධාරීන් සිව්දෙනෙකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
එලෙස රක්ෂිත බන්ධනාගාරගතව පසුවන්නේ:
1- සෙලාන් බැංකුවේ බම්බලපිටිය ශාඛා කළමනාකාර ශිරාන් මරියෝ පෙරේරා,
2- සම්පත් බැංකුවේ උමේෂ් රන්දික ප්‍රනාන්දු,
3- යූනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රනාන්දු,
4- නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර යන නිලධාරීන්ය.
අදාළ බැංකු නිලධාරීන් නිසි පාරිභෝගික තහවුරු කිරීම් (KYC - Know Your Customer) හෝ මූල්‍ය නියාමන ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක නොකර, අදාළ සමාගම් හරහා මුදල් විදේශගත කිරීමට සහාය දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
පුද්ගලයින් අටකගේ නම්වලින් සමාගම් 36ක්: ට්‍රාන්සර් 199ක්
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවලට අනුව, ප්‍රධාන සැකකාර ජෙෆ්රි මොහොමඩ් විසින් පුද්ගලයින් අට දෙනෙකුගේ අනන්‍යතාව භාවිත කරමින් ලියාපදිංචි කරන ලද ව්‍යාජ සමාගම් 36ක් හරහා අවස්ථා 199කදී ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් (TT) මඟින් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් මෙරටින් බැහැර කර තිබේ.
මෙම මුදල් මෙරටට භාණ්ඩ ආනයනය කිරීම සඳහා අත්තිකාරම් මුදල් (Advance Payments) ලෙස බැංකු හරහා නිදහස් කරගෙන ඇති නමුදු, ශ්‍රී ලංකා රේගුව හරහා ඊට අදාළ කිසිදු භාණ්ඩයක් මෙරටට ලැබී නොමැති බව රේගු වාර්තා ඇසුරින් විමර්ශකයින් අනාවරණය කරගෙන ඇත.
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් (Phantom Imports / Advance Payments) මෙරටින් විදේශයන් වෙත දැවැන්ත මුදල් ප්‍රමාණයක් (ඇස්තමේන්තුගත අගය ඇ.ඩො. මිලියන 700 ඉක්මවූ / රුපියල් බිලියන 190කට අධික) ටෙලිග්‍රැෆික් හුවමාරු (Telegraphic Transfers - TT) මඟින් පිටකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) දීර්ඝ විමර්ශනයක් පවත්වාගෙන යනු ලබයි.
කොළඹ කොටුවේ "A.Y. Investments" නමැති ආයතනය පදනම් කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස ජෙෆ්රි මොහොමඩ් (Jeffrey Mohamed) පසුගිය ජුනි මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මූල්‍ය නීති රීති උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම දැවැන්ත ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) ඒකාබද්ධව ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.




