BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විශේෂාංග

උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය

Nethmini

Nethmini

October 2, 2026 • 2:43 PM

උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ ප්‍රජා ක්‍රියාකාරික උපාලි මාගෙදරගමගේ අභාවයෙන් මසකට පසු, ජීවිතය, මරණය සහ පිය සෙනෙහස ගැන වැඩිමල් පුත් අසංක ලියූ සංවේදී දාර්ශනික මතකාවර්ජනය.
  • මේ ගෙවී ගිය මාසය පුරාවටම මම දෝලනය වූයේ පුතාගේ උපතත් තාත්තාගේ විපතත් අතර ඇති වූ මහා ආත්මීය පරිවර්තනය තුළය.
  • ක්වොන්ටම් භෞතික විද්‍යාවේ Quantum Entanglement — ක්වොන්ටම් පැටලීම — ගැන මම තාත්තා සමඟ කොපමණ නම් කතා කර ඇත්ද?
  • පුතාගේ ආගමනයෙන් ලැබුණු සතුටත්, තාත්තාගේ නික්ම යාමෙන් ඇති වූ මහා වේදනාවත් එකිනෙක මත වැටී, මගේ මුළු අභ්‍යන්තරයම උඩුයටිකුරු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නික්මගිය මහා වැවක සිසිලස: තාත්තා නැති හුදකලාවේ දින තිහක්

“මම යනු මමත්, මා වටා වූ මගේ පරිස්ථිතියත්ය. එය ගලවා නොගතහොත්, මම ද ගලවා නොගනිමි.”
- හෝසේ ඔර්ටේගා යි ගාසෙට් “Meditations on Quixote”


I - තාත්තා

අද ඔක්තෝබර් පළමුවැනිදාය. හරියටම තව පැය කිහිපයකින් උදාවන හෙට දිනයට, මගේ තාත්තා — උපාලි මගේදරාගමගේ — අප අතරින් සමුගෙන මාසයක් සම්පූර්ණ වේ.

මගේ ජීවිතයේ පූර්ව අර්ධය සහ පසු අර්ධය වෙන් කළ තීරණාත්මක, අද්භූත කඩඉම් දෙකක් තිබේ. පළමුවැන්න, මීට අවුරුදු හතකට පෙර මගේ පුතා මගේ ජීවිතයට පැමිණීමය. දෙවැන්න, ඉන් අවුරුදු හතකට පසුව මගේ තාත්තා මගේ ජීවිතයෙන් නික්ම යාමය. මේ ගෙවී ගිය මාසය පුරාවටම මම දෝලනය වූයේ පුතාගේ උපතත් තාත්තාගේ විපතත් අතර ඇති වූ මහා ආත්මීය පරිවර්තනය තුළය.

ක්වොන්ටම් භෞතික විද්‍යාවේ Quantum Entanglement — ක්වොන්ටම් පැටලීම — ගැන මම තාත්තා සමඟ කොපමණ නම් කතා කර ඇත්ද? කොපමණ දුරින් තිබුණත් අංශු දෙකක් එකිනෙකට අදෘශ්‍යමානව බැඳී පවතින්නා සේ, එක් පසෙක මගේ පුතාගේ උපත සිදුවෙද්දී, අනෙක් පසින් තාත්තාගේ විපතේ මහා කම්පනය මගේ ආත්මය තුළ එකම කාලයක දෝංකාර දෙන්නට පටන් ගත්තේය. එකක් ජීවිතයේ ආරම්භය විය; අනෙක මගේ ජීවිතයේ එක් ලෝකයක අවසානය විය.

පුතාගේ ආගමනයෙන් ලැබුණු සතුටත්, තාත්තාගේ නික්ම යාමෙන් ඇති වූ මහා වේදනාවත් එකිනෙක මත වැටී, මගේ මුළු අභ්‍යන්තරයම උඩුයටිකුරු කළේය. එකම ජීවිතයක, එකම පරම්පරාවක, එකම හදවතක — එක් ජීවිතයක් ආරම්භ වෙද්දී තවත් ජීවිතයක් නිමා විය.

තාත්තලා අහිමි වූ පුතුන්ගේ වේදනාව කෙබඳු එකක්දැයි මට සැබෑ ලෙසම දැනෙන්නට පටන් ගත්තේ මේ ගෙවී ගිය දින තිහ තුළය. එය හරියට ජීවිතයෙන් භාගයක් අහිමි වී ගියාක් මෙන්, තමන්ගේ ආත්මයම ගල් වී ගියාක් මෙන්, නැතහොත් ජීවිතයේ පැවැත්මට අමුණා තිබූ රහස් සංකේතය — existential code — එකවරම කැපී ගියාක් මෙන් දැනෙන අමුතුම බරකි. ඇතැම් විට කිසිවක් දැනෙන්නේ නැත. සියල්ල ඉදිරියේ ඉතිරි වන්නේ මහා හිරිවැටීමක් පමණි.

ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ තාත්තාට කැන්සර් රෝගය හඳුනාගත් මොහොත මට හොඳින් මතකය. තාත්තා දීර්ඝ කාලයක් chain smoker කෙනෙකි. අපි ඔහුට කිව්වා, “තාත්තේ, අපි ඕක පොඩ්ඩක් නවත්තමු. එතකොට තව ටික කාලයක් ඔයාට අපිත් එක්ක ජීවත් වෙන්න පුළුවන්” කියලා.

එවිට තාත්තා මගේ දිහා බලා, ඉතා සැහැල්ලුවෙන් කිව්වේ:

“පුතා, මම මගේ ජීවිතයේ ජීවත් වෙලා ඉවරයි. මට දැන් යන්න දෙන්න. අතහැරීමත් අතහරින්න පුරුදු වෙන්න, පුතා.”

අතහැරීමත් අතහරින්න මට පුරුදු කළ තාත්තා කෙනෙක් ඔහු.

පසුගිය අවුරුදු හතළිස් පහ පුරාවටම, ජීවිතයේ මොකක් හෝ ප්‍රශ්නයක්, හිතට වේදනාවක්, කරදරයක් ආ විට, නැතහොත් පුංචිම හෝ සතුටක්, ජයග්‍රහණයක් ලැබුණු විට, මම ඉස්සෙල්ලාම කෝල් කළේ තාත්තටය. අලුත් පොතක් කියවූ විට, අලුත් දර්ශනයක් ඉගෙන ගත් විට, ඒ ගැන කතා කළේ ඔහු සමඟය. මගේ පුතාගේ පුංචි හෝ ජයග්‍රහණයක ඡායාරූපයක් ගත් විගස, මම එය ඉස්සෙල්ලාම යැව්වේ තාත්තටය.

අපේ ලෝකයේ එකම එක්කෙනෙක් සිටියේය — වෙන කවුරුන් කුමන වැඩක සිටියත්, කුමන දුරකථන ඇමතුමක සිටියත්, ඒ සියල්ල පසෙක දමා තම දරුවන්ගේ කෝල් එකට පිළිතුරු දුන් මිනිසෙකි.

ඒ තමයි තාත්තා.

අද, ඕනෑම මොහොතක කෝල් එකක් ගන්න පුළුවන් ඒ මනුස්සයා නැත.

II - ශූන්‍යතාවය

තාත්තා නැතිවීමේ පාළුව වචනවලට ගොනු කරන්න බැරි තරම් විශාලය. ඒ සඳහා දාර්ශනික පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. මොකද, අපට හුරුපුරුදු ලෝකය එකවරම අප ඉදිරියේ වෙනස් වී ගිය විට දැනෙන ඒ මූලික යථාර්ථය, තාත්තා නැතිවීම තුළ මට දැන් අත්විඳිය හැකිය.

ඊයේ තිබූ දුරකථන අංකය අදත් තිබේ. ඡායාරූප තිබේ. හඬ මතකයේ තිබේ. ඔහුගේ පුටුව තිබේ. ඔහු භාවිත කළ දේවල් තිබේ. ඔහුගේ කතා තිබේ. නමුත් ඒ සියල්ල අතරින් එක දෙයක් පමණක් නැත — ඔහු.

ගාබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්ගේ One Hundred Years of Solitude — හුදකලාවේ සියවසක් — පොතේ එන මාකොන්ඩෝ නගරයේ හුදකලාව මට මේ මාසය පුරාම මතක් විය. මට දැනුණේ මේ එක මාසය අවුරුදු සියයක් තරම් දිගු, අතිශය දුෂ්කර හුදකලාවක් ලෙසය.

ඒ හිස් තැනට කිසිම වචනයකට ගොස් ළඟා විය නොහැක.

boot.jpg
අවුරුදු දහසය, දාහතේදී පෙම්වතියන්ගෙන් බූට් කෑ විට ඒ වේදනාව විඳින අතරේ යාළුවන්ගෙන් ලැබෙන අවධානයට අපි කැමති වුණෙමු. හැබැයි අවුරුදු හතළිස් පහේදී තාත්තා නැතිවීමේ වේදනාව එවැනි එකක් නොවේ. එය කාටවත් පෙන්නන්න හිතෙන්නේවත් නැති, කියන්න බැරි තරම් මහා අගාධයක් වැනි හුදකලාවකි. විශේෂයෙන්ම පවුලේ අනෙක් අය මහා වේදනාවක සිටින විට, මගේම වේදනාව ඔවුන්ට පෙන්වීමටවත් නොහැකි තත්ත්වයක් තුළ මම තනි වුණෙමි.

ප්‍රාන්ස් කෆ්කාගේ The Trial කෘතියේ මෙන්, එකවරම තමන්ට තේරුම් ගත නොහැකි, තමන්ට පාලනය කළ නොහැකි යථාර්ථයක් ඇතුළේ මිනිසෙකු අසරණ වනවා වැනි හැඟීමක් මට ඇති විය. තාත්තා නැතිවීමේ මේ මහා වියෝව ඇතුළේ මම නිකන් කෆ්කාගේ චරිතයක් වගේ මහා අගාධයක තනි වුණෙමි.

නමුත් මේ සියල්ලට වඩා අමාරුම දෙය එකම එකකි.
කෝල් එකක් ගන්න තාත්තා නැති වීමය.

III - මහා වැව

කට්ටිය කියන්නේ තාත්තා කෙනෙකු මහා රූස්ස ගසක් වගේ, මහා සාගරයක් වගේ, නැත්නම් මහද්වීපයක් වගේ කියලාය. හැබැයි මට දැනෙන්නේ මගේ තාත්තා කියන්නේ මහා වැවක් කියලාය.

තමන්ගේ හදවත තුළ දැවැන්ත බිසෝකොටුවක් හදාගෙන, ජීවිතයේ ඇතිවන සියලු පීඩනයන් සහ වේදනාවන් ඒ බිසෝකොටුව හරහා දරාගෙන, අවශ්‍ය මොහොතේදී පමණක් සොරොව්ව ඇර, තමා වටා ඇති සියලු කෙත්වතු සාරවත් කරමින්; තමන්ගේ වැව් බැම්ම පුපුරා යාමට ඉඩ නොදී ආරක්ෂා කරමින්; මන්ද ඒ බැම්ම බිඳී ගියහොත්, ඔහු තුළ නිහඬව රඳවාගෙන සිටි ඒ විශාල ජල කඳම විනාසයක් විය හැකි බැවිනි. තමන් තුළ ජීවත්වන සියලු ජීවීන්ටත්, තමන් වටා ඇති පරිසරයටත් සිසිලස දෙමින්; කිසිවක් ඉල්ලා නොගෙන සියල්ල පෝෂණය කළ මහා වැවක් තමයි මගේ තාත්තා. තමන්ටම ඒ ජලයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොතිබුණත්, ඔහු අප වෙනුවෙන් එය රඳවාගෙන සිටියේය. මහා වැවක් ඈත සිට බලන විට නිසලය. එහෙත් ඒ නිසල ජල තලයට යටින් ඇත්තේ අසීමිත බරකි.

ඔහුගේ ජීවිතයේ මුල් අවදියේ සිටම ඔහුට පැවැත්මේ මහා බරපතළ වගකීම් කරපින්නාගෙන ජීවත් වීමට සිදුවිය. ඔහුගේම වේදනාවන් ඔහු තුළම තබාගෙන, උදේට නැගිට තමන්ගේ වගකීම් ඉටු කිරීමට ඔහු ගියේය. ප්‍රශ්න තිබුණත් ඔහු ජීවිතය නතර කළේ නැත. වේදනාව තිබුණත් ඔහු වගකීම නතර කළේ නැත.

ඒ නිසා ඔහුට මහා වැවක් වීමට හැකි විය.

තාත්තා තමන්ගේ ජීවිතය ගත කළේ තමන් වෙනුවෙන් පමණක් නොවේ. ඔහු වටා සිටි අයගේ ජීවිතවලට ඔහු යම් ආකාරයකින් ජලය දුන්නේය. සෙවණ දුන්නේය. ආරක්ෂාව දුන්නේය. සමහර විට ඔහු කිසිවක් නොකියා සිටීමෙන් පවා ඒ දේ කළේය.

අද ඒ වැව අපෙන් නික්ම ගොස් ඇත.

එහෙත් වැවක් වියළී ගිය පසුවත්, එයින් කලක් පෝෂණය වූ කෙත්වතු එකවර වියළී යන්නේ නැත.

මගේ තාත්තා නැති වූ පසු මට තේරුණේ, මහා වැවක් වී සිටියේ මගේ තාත්තා පමණක් නොවන බවය. ඔහු හරහා මට ලෝකයේ තාත්තලා සියල්ලම වෙනස් ආකාරයකින් පෙනෙන්නට පටන් ගත්තේය. තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ බර තමන් තුළම රඳවාගෙන, අවශ්‍ය මොහොතේ තමන්වම විවර කර, තමන්ගේ ජීවිතයෙන් අන් අයගේ ජීවිත පෝෂණය කරන කොතරම් තාත්තලා මේ ලෝකයේ සිටිනවාද? ඔවුන්ගේ නිශ්ශබ්දතාවය අපට බොහෝවිට සාමාන්‍ය දෙයක් සේ පෙනෙන්නට පුළුවන. නමුත් ඒ නිශ්ශබ්දතාවය යටින් ඔවුන් දරාගෙන සිටින ජල කඳ අපට පෙනෙන්නේ ඔවුන් නැති වූ පසුවය. මගේ තාත්තා මිය ගිය පසු, මට පෙනෙන්නට පටන් ගත්තේ ඔහු පමණක් නොව—තාත්තලා යනු බොහෝවිට තමන් තුළ ලෝකයක් රඳවාගෙන, තමන් වියළෙමින් සිටියත්, තමන්ගෙන් වෙනත් ජීවිතවලට ජලය ලබාදෙන මහා වැව් බවය.

ඒක මට දැන් තේරෙන්න පටන් අරන් තියෙනවා.

IV - මම පුතෙක් වූ කාලය

අපි පුංචි කාලේ තාත්තලා එක්ක හැප්පෙමු. මගේ යාළුවෙකු වූ, අද ඇමරිකාවේ ජීවත් වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ රවී චන්ද්‍රලාල් දවසක් මට ලස්සන කතාවක් කිව්වා:

“මචං, අවුරුදු හතේදී අපිට හිතෙනවා තාත්තා තමයි ලෝකයේ ඉන්න ලොකුම වීරයා කියලා. දොළහේදී හිතෙනවා තාත්තා හැමදේම දන්නවා කියලා. දහසයේදී හිතෙනවා තාත්තා ඔය කියන තරම් පොරක් නෙවෙයි කියලා. විස්සේදී හිතෙනවා තාත්තා මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා. විසිපහේදී හිතෙනවා, ‘තාත්තා නෙවෙයි, මමයි ඔක්කොම දන්නේ’ කියලා. හැබැයි තිස්පහ, හතළිහ වෙද්දී ඇස් ඇරෙනවා — තාත්තා කියපු දේවල් මහා ඇත්ත නේද කියලා. හතළිස් පහ පනිද්දී තාත්තා ගිහින්… එතකොට දැනෙනවා, ‘අඩේ, තාත්තා හිටියා නම්…’ කියලා.”

මම අද ඉන්නේ අන්න ඒ වයසේය.

මමත් අවුරුදු දහසය, දාහතේදී තාත්තා සමඟ දැවැන්ත දේශපාලනික සහ දාර්ශනික කැරලි ගැසුවෙමි. නෙදර්ලන්තයට ඉගෙනගන්න යාමට පෙර, මම තාත්තා සමඟ කතා කිරීම පවා නවතා දැමුවෙමි. එහෙත් නෙදර්ලන්තයට ගොස් ටික දවසකින්, එවකට තායිලන්තයේ ACFOD ප්‍රධානියා ලෙස සිටි තාත්තා මට කතා කළ විට මම ඇඬුවෙමි.

“තාත්තේ, මට සමාවෙන්න,” මම කිව්වෙමි.

ලෝකය තේරෙන්නට පටන් ගත් විට තමයි තාත්තලා කියූ දේවල්වල ඇත්ත අපට තේරෙන්නේ.

තාත්තෙක් සහ පුතෙක් අතර ඇති සම්බන්ධය සමහර විට ආදරය ගැන කතා කරන සම්බන්ධයක් නොවේ. සමහර විට එය තර්කයකි. සමහර විට කැරැල්ලකි. සමහර විට දුරස්වීමකි. නමුත් කාලය ගෙවී යන විට, අපි නැවතත් හැරී බලන්නේ අපෙන් ඉදිරියට ගිය ඒ මිනිසා දෙසය.

එවිට තේරෙන්නේ, අපි ඔහුගෙන් පලා යමින් සිටියේ අපේම අනන්‍යතාවය සොයා ගැනීමට බවය. එහෙත් අවසානයේ අපි අපේ අනන්‍යතාවයේ කොටසක් ලෙස ඔහු තුළ තිබූ දෙයක් රැගෙන ඉදිරියට ගොස් ඇති බවය.

මගේ තාත්තා මට දුන් ලොකුම දේවල් අතරින් එකක් ඔහු කියූ වචන නොවේ.

ඔහු ජීවත් වූ ආකාරයයි.

අප අතරින් වෙන්ව ගිය විද්‍යාඥයකු වූ මහාචාර්ය අමිත් මොනින්දාස අයියා, අපි තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවෙන් සිටි කාලයේ Astronomy and Space Studies Centre එකේ අපට දේශනයක් කළ දවසක් මට අදටත් මතකය.

දේශනය ආරම්භ කිරීමට පෙර අමිත් අයියා ලෙක්චර් රූම් එකේ සියලුම ලයිට් නිවා දැමුවේය. ඉන්පසු කුඩා ඉටිපන්දමක් දැල්වීය. මොහොතකට පසුව එයද නිවා දමා, අප දෙස බලා ඔහු ප්‍රශ්නයක් ඇසුවේය.

“දැන් සිදුවුණේ මොකක්ද? අඳුර විසින් ආලෝකය උරාගත්තාද? නැත්නම් ආලෝකය විසින් අඳුර උරාගත්තාද?”

එදා ඒ ප්‍රශ්නය මගේ හිතේ තැන්පත් වුණේ විද්‍යාත්මක ප්‍රශ්නයක් විදියට විතරක් නොවේ.

අද තාත්තා නැතිවීමත් එක්ක ඒ ප්‍රශ්නය මට නැවත ඇසෙන්න පටන් අරන් තියෙනවා.

අඳුරු කාමරයකට ආලෝකය පැමිණි විට, අපට පෙනෙන්නේ ආලෝකය අඳුර පරාජය කළ බවද? නැත්නම් අඳුර තුළ තිබූ අවකාශය ආලෝකයෙන් පිරී ගිය බවද? මිනිසකු අප අතරින් නික්ම ගිය විට, ඔහු සමඟ ඔහුගේ ආලෝකයත් නික්ම යනවාද? නැත්නම් ඔහු ජීවත් වූ ආකාරයෙන් අප තුළ ඉතිරි වූ ආලෝකය, ඔහු නොමැති අඳුර තුළ තව තවත් පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවාද?

මම තවමත් ඒ ප්‍රශ්නයට පිළිතුර දන්නේ නැත.

නමුත් සමහරවිට තාත්තාගේ මරණය මට ඒ පිළිතුර සෙවීමට බල කරයි.

lake.jpg


මහා වැවක ජලය අපේ ඇස් ඉදිරිපිටින් සිඳී ගියත්, එයින් පෝෂණය වූ කෙත්වතු එක දවසකින් වියළී නොයයි.

සමහරවිට මිනිසකු නික්ම යන්නේ ඔහුගේ ආලෝකය අරගෙන නොව, ඔහු දල්වා ගිය ආලෝකය අප තුළ තබාය.

V - තාත්තාගේ කඳුළු

පණ්ඩිත අමරදේවයන් ගයන එක්තරා ගීතයක් මගේ තාත්තාගේ මුළු ජීවිතය පුරාම ලොකු කඳුළක් වී තිබුණි.

තාත්තාගේ පුංචි කාලයේ, අවුරුදු හතක පමණ වයසේ සිටි ඔහුගේ ආදරණීය මල්ලි - කුමාර බාප්පා -ලියුකේමියා රෝගයෙන් මියයන විට ළඟින්ම සිටියේ මගේ තාත්තාය. ඒ මරණයේ අතිශය දරුණු වේදනාව තාත්තා කුඩා කාලයේදීම අත්වින්දේය. පොඩි කාලේ ඒ සිදුවීම මතක් වී තාත්තා දෑසේ කඳුළු පුරවාගෙන සිටිනවා මට මතකය.

ඒ ගීතයේ එන එක් පද පේළියක් අද මගේ හිතටත් හරි තදින් වදියි:

“බාලේ මෙන් පාන්දරේ නැවිදින්නට
යන්ට බැහැ මට තනිකම දැනෙනවා…”
අද මට ඒ තනිකම ඒ විදියටම දැනේ.

එමෙන්ම, අපේ සීයා - තාත්තාගේ තාත්තා -මියගිය අවස්ථාවේත්, තාත්තාගේ අනෙක් මල්ලි වූ අනුර බාප්පා මියගිය අවස්ථාවේත්, තාත්තා අමරදේවයන්ගේ “මලහිරු බසිනා සැන්දෑ යාමේ” ගීතයට සවන්දෙමින් කඳුළු සැලූ හැටි මට මතකය.

එදා සීයාගේ අවමංගල්‍යයේදී, මලහිරු බසින සැන්දෑ යාමක, චිතක කටයුතු සිදුවන මොහොතේ මම සිටියේ තාත්තාගේ අත අල්ලාගෙනය. එදා තාත්තාගේ දෑසේ කඳුළු තිබුණි.

අද මගේ තාත්තා මගෙන් නික්ම යන විට, මගේ පුතා සිටියේ ජර්මනියේය. මට තාත්තා නැතිවන මොහොතේ පුතාගේ අත අල්ලාගෙන සිටීමට ලැබුණේ නැත. යථාර්ථයේ තිත්ත ඇත්ත ඒකය.

එදා මම තාත්තාගේ අත අල්ලාගෙන සිටි පුතෙකි.
අද තාත්තාගේ අත මගේ අතේ නැත.

VI - මරණය

මගේ තාත්තා මරණය දෙස බැලුවේ මරණය සමඟ සටන් කිරීමට වඩා, එය පැමිණෙන බව දැනගෙන එයට ඉඩ දෙන මිනිසෙකුගේ ශාන්ත බවකිනි.

ඛලීල් ජිබ්රාන් මරණය ගැන කියන අදහසක් මට නිතර සිහිපත් වේ:

“ඔබට මරණයේ රහස සැබවින්ම දැකීමට අවශ්‍ය නම්, ඔබේ හදවත ජීවිතයේ දේහයට විවෘත කරන්න. මන්ද ජීවිතය සහ මරණය එකමය; ගඟ සහ සාගරය එකක් වන්නා සේම…”

තාත්තා තමන්ගේ කැන්සර් රෝගය හමුවේ දැක්වූ ඒ අත්හැරීම තුළ තිබුණේ ඒ ආකාරයේ ශාන්ත බවකි.

තාත්තා මිය යාමට සතියකට පමණ පෙර අම්මාට කියූ කතාවක් අම්මා මට පසුව කිව්වා:

“මම තව ඉන්නේ සතියයි. කියන්න දෙයක් තියෙනවා නම් කියන්න. අහන්න දෙයක් තියෙනවා නම් අහන්න.”

එවිට අම්මා අසා තිබුණේ, “අපි දෙන්නම එකට යමු” කියලාය.

එවිට තාත්තා කියා තිබුණේ:

“එහෙම බැහැ. මම ඒ යන තැනට ගිහින් ගේ හදන්න ඕනේ. ඔයා එනකන් මම ඒක හදලා තියන්නම්.”

අන්න ඒ තමයි තාත්තා.

ජීවිතයේ අවසාන දිනවලදී පවා තමන් ගැන නොව, තමන්ගෙන් පසුව ඉතිරිවන මිනිසා ගැන සිතූ මිනිසෙකි.

මියගියාට පසුවත් අම්මාට බරක් නොදී, තමන් යන තැන පවා කලින් ගොඩනඟා තබන්නට සිතූ මිනිසෙකි.
තාත්තා මට මරණය ගැන දේශනයක් දුන්නේ නැත.

ඔහු මට මරණය ජීවත් වී පෙන්වීය.

බුදුදහමේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවයත්, ජරා සහ මරණය පිළිබඳ ගැඹුරු දර්ශනයත් මට සිහිපත් වෙයි. මරණය යනු පැවැත්මේ සම්පූර්ණ නිමාවක් නොව, අපට තේරුම්ගත නොහැකි දිගු ගමනක තවත් එක් සංක්‍රාන්තියක් බවට වූ සිතුවිල්ල මගේ හිතට යම් සහනයක් ගෙන දෙයි.

රෙනේ දෙකාත් කිව්වේ:
Cogito, ergo sum — “මම සිතමි, එබැවින් මම සිටිමි.”
හැබැයි මට හිතෙන්නේ තාත්තලාගේ පැවැත්ම ඊට වඩා ගැඹුරු බවය.
“මම කැපවෙමි; එබැවින් මාගේ දරුවෝ ජීවත් වෙති.”
ඒ තමයි තාත්තලාගේ දර්ශනය.

VII - මරණය: විද්‍යාව, ව්‍යාකරණය සහ ආඛ්‍යානය

මරණය කියන්නේ ඇත්තටම මොකක්ද?

ජීවිතය අවසන් වූ විට අවසන් වන්නේ මිනිසා පමණක්ද, නැතහොත් ඔහුගේ පැවැත්ම වෙනත් ආකාරයකින් තවදුරටත් පවතිනවාද?

තාත්තාගේ මරණයෙන් පසුව, මේ දින තිහ පුරාවටම මම නැවත නැවතත් ඒ ප්‍රශ්නය වෙත පැමිණියෙමි. මීට පෙර දැන සිටි දේවල් පවා නැවත කියවුවෙමි. අලුත් දේවල් සෙව්වෙමි. මරණය ගැන මිනිසා මෙතෙක් සිතා ඇති ආකාරයත්, මරණයෙන් පසුව කුමක් සිදුවේද යන ප්‍රශ්නයට ඔහු දී ඇති පිළිතුරුත් නැවත සොයා බැලුවෙමි.

බුදුදහම, හින්දු දර්ශනය, ජෛන දර්ශනය, ක්‍රිස්තියානි සහ යුදෙව් සම්ප්‍රදායන්, ඉස්ලාම් දහම, පුරාණ ඊජිප්තු සහ වෙනත් සංස්කෘතීන් සියල්ලම තම තමන්ගේ ආකාරයෙන් මරණය ගැන මිනිසාට පිළිතුරු සෙවීමට උත්සාහ කර ඇත.

සමහරු එය නැවත උපතක් ලෙස දුටහ. සමහරු සංක්‍රාන්තියක් ලෙස දුටහ. සමහරු විනිශ්චයක් හෝ සදාකාලික පැවැත්මක් ලෙස දුටහ.

socratise.jpg
Socrates මරණය ආත්මය සහ පැවැත්ම පිළිබඳ අවසාන ප්‍රශ්නයක් ලෙස දුටුවේය; Stoics මරණය අපගේ පාලනයෙන් පිටත දෙයක් ලෙස දැක, අපට පාලනය කළ හැකි අපගේ ජීවිතය කෙරෙහි අවධානය යොමු කළහ; Hegel මරණය ජීවිතයේ සීමාව සහ පරිවර්තනය හමුවන ස්ථානයක් ලෙස සිතුවේය; Heidegger මරණීය බව පිළිබඳ අවබෝධය මිනිසාට තම ජීවිතය වඩාත් සත්‍ය ලෙස ජීවත් වීමට බල කරන බව පෙන්වා දුන්නේය; Lacan මරණය මිනිස් ආශාව සහ “death drive” සමඟ බැඳුණු මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් ලෙස කියවා බැලීය; Derrida මරණයෙන් පසුවත් අනෙකාගේ මතකය, trace සහ absence තුළ මිනිසා යම් ආකාරයකින් ඉතිරි වන ආකාරය ගැන සිතුවේය; Slavoj Žižek මරණය අවසානයක් පමණක් නොවන බවත්, මිනිසා මිය ගිය පසුවත් ඔහුගේ පැවැත්මේ බලපෑම් ජීවත්ව සිටින අය තුළ දිගටම ක්‍රියා කරන බවත්, death drive පිළිබඳ අදහස හරහා සාකච්ඡා කරයි. Ubuntu මිනිසාගේ පැවැත්ම “I am because we are” යන සම්බන්ධතාව තුළ දකියි.

Confucius අවසානයේ අපට මතක් කරන්නේ:
“ජීවිතය ගැන තවමත් නොදන්නා මිනිසා, මරණය ගැන කෙසේ දැනගන්නද?”
මේ සියල්ල කියවමින් මම මගේම ප්‍රශ්නයක් ඉදිරියේ නතර වුණෙමි.
තාත්තා කොහේද?

එතැනදී මම නැවතත් ශාස්වතවාදය සහ උච්ඡේදවාදය අතර හිරවුණෙමි.

තාත්තා කොහේ හෝ තවමත් සිටිනවා යැයි සිතන්නට මගේ හිතට අවශ්‍යය. ඔහු වෙනත් ලෝකයකද, වෙනත් දිවියකද, වෙනත් පැවැත්මකද කියා සිතන්නට මට අවශ්‍යය.

එහෙත් අනෙක් පැත්තෙන්, ඔහු ගියා; ඔහුගේ ජීවිතය අවසන් විය; එතැනින් පසුව කිසිවක් නැතැයි පිළිගැනීමට සිදුවන උච්ඡේදවාදයේ නිහඬ යථාර්ථයද මා ඉදිරියේ තිබේ.

ඒ දෙක අතර මම තවමත් හිරවී සිටිමි.

ඒ අතරම, මෑතකාලීන බටහිර විද්‍යාවේ මරණයට ආසන්න මොළයේ ක්‍රියාකාරකම්, cardiac arrest අතරතුර ඇතිවන අත්දැකීම් සහ විඥානයේ අවසාන අවස්ථා පිළිබඳ නව සොයාගැනීම් කිහිපයක්ද මම කියවන්නට පටන් ගත්තෙමි.

ඒවා මරණයෙන් පසු විඥානය පිළිබඳ අවසාන පිළිතුරක් දෙන්නේ නැත. නමුත් මරණය සිදුවන මොහොත පිළිබඳව පවා මිනිසාගේ දැනුම තවමත් සම්පූර්ණ වී නැති බව ඒවා මට මතක් කළේය.

මරණයේ විද්‍යාව සෙව්වෙමි.
මරණයේ දර්ශනය සෙව්වෙමි.
මරණයේ ව්‍යාකරණය සෙව්වෙමි.
මරණයේ ආඛ්‍යානය සෙව්වෙමි.
නමුත් මේ සියල්ලෙන් පසුවත් මගේ ප්‍රශ්නය වෙනස් වූයේ නැත.
තාත්තා කොහේ හෝ වෙනත් ලෝකයක සිටිනවාද?
වෙනත් දිවියකද?
ඔහුට තවමත් අප ගැන දැනගන්න පුළුවන්ද?
මට ඔහු සමඟ නැවත කතා කරන්න පුළුවන්ද?
මට ඒ ප්‍රශ්නවලට පිළිතුරු නැත.
මට ඇත්තේ ප්‍රශ්න පමණි.
මට මරණය ගැන තවදුරටත් කියවිය හැකිය.
සිතිය හැකිය.
ප්‍රශ්න කළ හැකිය.
පිළිතුරු සෙවිය හැකිය.
විද්‍යාවෙන් සෙවිය හැකිය.
දර්ශනයෙන් සෙවිය හැකිය.
ආගමෙන් සෙවිය හැකිය.
මතකයෙන් සෙවිය හැකිය.
භාෂාවෙන් සෙවිය හැකිය.
නමුත් ඒ කිසිවක් මට කතා කරන්න හිටපු මිනිසා දැන් නැත.
ඒ මගේ තාත්තා.
ඒ තමයි මේ සියල්ලේම අමාරුම සත්‍යය.
ඒ නිසා මගේ මරණයේ ව්‍යාකරණයත්, මගේ මරණයේ ආඛ්‍යානයත් අවසානයේ එකම වාක්‍යයකට පැමිණෙයි.
තාත්තා නැත.

VIII - තාත්තාගෙන් තාත්තා කෙනෙකු වෙත

අද මට සිදුවී ඇත්තේ මහා වියෝවක් හිත ඇතුළේ තබාගෙන නැවත ජීවිතයට යාමටය.

උදේට නිදිමතේම ඇහැරෙමි. අම්මාගේ වැඩ ටික කර දෙමි. ඔෆිස් එකේ වැඩ ටික කරමි. නැවත යුරෝපය බලා පිටත්වීමට සූදානම් වෙමි.

හදවත ඇතුළෙන් කොතරම් කඩා වැටුණත්, කපුගේ සූරීන් ගැයූ ගීතයක මෙන්, “හෙට උදේම අවදි වී යා යුතුව තිබේ” යන යථාර්ථයට මුහුණ දීමට සිදුවෙයි.

ජීවිතය අපට දුක විඳීමට පමණක් ඉඩ නොදෙයි. වගකීම් ද ඉතිරි කරයි.

තාත්තා ඒක මට ජීවත් වී පෙන්වූයේය.

ඔහුට වේදනා තිබුණි. ඔහුට බිය තිබුණි. ඔහුට අහිමිවීම් තිබුණි. එහෙත් ඔහු උදේට නැගිට තමන්ගේ වගකීම් ඉටු කළේය.

අද මටත් ඒක කරන්න සිදුවී ඇත.

මේ වියෝවෙන් පසුව, විවිධ යුද්ධ, ත්‍රස්තවාදී ක්‍රියා සහ අපරාධ නිසා තාත්තලා අහිමි වන දරුවන් ගැන මට අලුත් මානුෂීය කෝණයකින් සිතෙන්නට පටන් ගත්තේය. එක් පිරිසකට ත්‍රස්තවාදියෙකු හෝ අපරාධකරුවෙකු වන මිනිසෙකු, තවත් දරුවෙකුට ආදරණීය තාත්තා කෙනෙකි. පියවරුන් අහිමි වීමේ හෝ පියවරුන් අහිමි කිරීමට සිදුවීමේ මේ පරස්පර විරෝධී මහා යථාර්ථය දෙස මම අද බලන්නේ වෙනස් ඇසකිනි.

නංගිට, මල්ලිට, අම්මාට සහ තාත්තා වටා සිටි හැමෝටම මේක අතිශය දුෂ්කර කාලයකි.

මට වෙලාවකට තවමත් හිතෙනවා:
“තාත්තේ, ඇයි ඔයා එච්චර ඉක්මනින් ගියේ? අවුරුදු අසූවක් හිටියා තමයි. හැබැයි තව අවුරුදු දෙකක්, තුනක් හිටියා නම්…”
මට ආසාවක් තිබුණේ තාත්තා අවුරුදු අනූවක්වත් ජීවත් වෙනවා දැකීමටය. ඒක ආසාවකටත් වඩා, තාත්තා නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියන බයට වෙන්න ඇති.

අද ලෝක ළමා දිනය.

මම විශේෂ දිනවලට ලොකු බරක් නොදුන්නත්, ජීවතුන් අතර සිටින සියලුම දරුවන්ට මට කියන්න තියෙන්නේ එකම දෙයකි:

ඔයාලගේ අම්මලා තාත්තලා එක්ක ඉන්න ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ ආදරය, ඒ සෙනෙහස විඳින්න. ඒ බැඳීම් මඟහැරෙන්න ඉඩ දෙන්න එපා.
මොකද ඔවුන් නික්ම ගියාම දැනෙන වේදනාව හරිම දරුණුය.
අපි හිතන්නේ අපට තව කාලය තියෙනවා කියලාය.
හැබැයි සමහර විට අපට තියෙන්නේ අද පමණි.

ඒ නිසා අද කියන්න තියෙන දේ අද කියන්න. ආදරය කරන්න තියෙන කෙනාට අද ආදරය කරන්න. කතා කරන්න තියෙන කෙනාට අද කතා කරන්න. සමාව ඉල්ලන්න තියෙන තැන අද සමාව ඉල්ලන්න.
මොකද, එක් දවසක කෝල් එකක් ගන්න ගියාම එහා පැත්තෙන් හඬක් නොඇසෙන දවස එනවා.

IX - මහා වැවෙන් ඉතිරි වූ ජලය

තාත්තා කියන්නේ මහා වැවකි.
ඒ වැවේ දිය සිඳී ගියත්, ඒ වැවෙන් පෝෂණය වූ කෙත්වතු තවමත් අස්වැන්න නෙළති.
තාත්තා මට දුන් ආදරය, ඔහුගේ නිහඬ නායකත්වය, ඔහුගේ දර්ශනය, ඔහුගේ වගකීම, ඔහුගේ ශක්තිය — ඒ කිසිවක් ඔහු සමඟ මිය ගියේ නැත.
ඒවා දැන් අප තුළ ජීවත් වෙයි.
මගේ මතකයේ ජීවත් වෙයි.
මගේ සහෝදරයන් තුළ ජීවත් වෙයි.
අම්මාගේ ජීවිතය තුළ ජීවත් වෙයි.
අපේ පවුලේ ඉදිරි පරම්පරාව තුළ ජීවත් වෙයි.
ඒ වගේම මගේ පුතා තුළත් යම් දවසක ජීවත් වනු ඇත.

මම අද තේරුම් ගන්නා ලොකුම සත්‍යය මෙයයි:

මම තාත්තා නැති වූ පුතෙක් පමණක් නොවෙමි. මම තාත්තාගෙන් ඉතිරි වූ දේ ඉදිරියට රැගෙන යා යුතු පුතෙකි.

මගේ තාත්තා මට ජීවිතය දුන්නා පමණක් නොවේ. ඔහු මට මිනිසෙකු වන්නේ කෙසේදැයි යම් ප්‍රමාණයකින් පෙන්වා දුන්නේය. මට පියෙකු වන්නේ කෙසේදැයි පෙන්වා දුන්නේය. අත්හැරීම කුමක්දැයි පෙන්වා දුන්නේය. වගකීම කුමක්දැයි පෙන්වා දුන්නේය. ආදරය හැමවිටම වචනවලින් කියන්න අවශ්‍ය නොවන බව පෙන්වා දුන්නේය.
දැන් මගේ ඉදිරියේ තියෙන්නේ අලුත්ම වගකීමකි.

මගේ පුතාට ඔහුට දැනගන්නට නොහැකි වූ මගේ තාත්තාගේ ආදරය, ඔහුට නොලැබුණු මගේ තාත්තාගේ සෙවණ, ඔහුට අල්ලාගන්නට නොහැකි වූ මගේ තාත්තාගේ අත - මගේ ජීවිතය තුළින් යම් ආකාරයකින් ඔහුට ලබාදීමය.

තාත්තා මට දුන් මහා වැව දැන් මගේ හදවත තුළය.
එහි ජලයෙන් මගේ පුතාගේ ජීවිතයත් සාරවත් කළ යුතුය.
ඒ නිසා මගේ තාත්තා මගෙන් සමුගත් මොහොතේ, මගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් වූවා පමණක් නොවේ.
තවත් පරිච්ඡේදයක් ආරම්භ විය.
එදා මම ඔහුගේ අත අල්ලාගෙන සිටි පුතෙකි.
අද ඔහුගේ අත මගේ අතේ නැත.
හැබැයි ඔහුගේ අතේ උණුසුම තවමත් මගේ අතේ තිබේ.
ඔහුගේ හඬ තවමත් මගේ හිතේ තිබේ.
ඔහුගේ සෙවණ තවමත් මගේ පිටුපස තිබේ.
ඔහුගේ වැවේ ජලය තවමත් මගේ ජීවිතය තුළ ගලා යයි.
දැන් මට ඒ ජලය ඉදිරියට ගෙන යා යුතුය.

දැන් මගේ පුතාට මගේ තාත්තා වගේ තාත්තා කෙනෙකු වීමට මගේ වාරයයි.
ඒත් තාත්තේ. එදා මෙන් ඔබට කෝල් එකක් දෙන්න අද ඔබ නෑ.
මට තනිකම දැනෙනවා……..

(සටහන | අසංක මාගෙදරගමගේ)

Asanka Magedaragamage
asanka.mg@icloud.com

සබැඳි ලිපියක් :
නමක් නොකෙටූ නායකයෙකුට පුතෙකුගෙන් උපහාරයක්: උපාලි මාගෙදරගමගේ ජීවන සැමරුම (1946–2026)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Sri Lanka#theleader.lk#Upali Magedaragamage
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...