සැකකරුවන් එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට; විමර්ශන වාර්තාවක් කැඳවයි
ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් (ඇ.ඩො. මිලියන 1000ක්) නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමකට ආධාර අනුබල දුන්නේ යැයි කියන මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හතරක කළමනාකරුවෙකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු එළැඹෙන අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන අද (17) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෙලාන් බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ කළමනාකාර ශිරාන් මාරියෝ පෙරේරා, සම්පත් බැංකුවේ උමේෂ් රන්දික ප්‍රනාන්දු, යූනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රසාන්ත් සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (NTB) අමිල උදාර ලියනමාන්න යන සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ව්‍යාජ සමාගම් 36ක් සහ ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) 199ක්
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා පෙන්වා දුන්නේ, මෙම මහා මූල්‍ය අපරාධයේ ප්‍රධාන සැකකරු වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් නමැත්තා විසින් පුද්ගලයින් අට දෙනෙකුගේ නම් භාවිත කරමින් ව්‍යාජ සමාගම් 36ක් ලියාපදිංචි කර ඇති බවයි.
කිසිදු ආනයනික භාණ්ඩයක් මෙරටට නොගෙනැවිත්, අදාළ ව්‍යාජ සමාගම් හරහා ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) අවස්ථා 199කදී ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධීව රටින් පිටකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ගනුදෙනු සඳහා අදාළ සමාගම්වල හිමිකරුවන් හෝ ලේකම්වරුන් බැංකු පරිශ්‍රයන් වෙත නොපැමිණි බවත්, ප්‍රධාන සැකකරුගේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලුම්පත් අදාළ බැංකු නිලධාරීන් විසින්ම සකස් කර අනුමත කර ඇති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළේය. සැකකාර නිලධාරීන් රාජකාරියේ නොමැති අවස්ථාවල මෙවැනි ගනුදෙනු අනුමත වී නොමැති බවද අධිකරණය හමුවේ අනාවරණය විය.
අයථා මුදල් ඉපැයීම් හා මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම්
ශ්‍රී ලංකා මහ බැංකුව පනවා ඇති විනිමය පාලන රෙගුලාසි හා රේගු ආඥා පනතේ විධිවිධාන සෘජුවම උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය හරහා සැකකාර නිලධාරීන්ගේ පෞද්ගලික ගිණුම්වලට ලක්ෂ ගණනින් මුදල් බැරවී ඇති බව පැමිණිල්ල කියා සිටියේය.
විශේෂයෙන්ම සතියේ සෑම සිකුරාදා දිනකම ප්‍රධාන සැකකරු හමුවී මුදල් ලබාගැනීම සහ පුද්ගලික ගිණුම් වෙත රුපියල් ලක්ෂ 3, ලක්ෂ 10 සහ පනස්දහස ආදී වශයෙන් වූ මුදල් තැන්පත් කරවා ගැනීම හරහා සිදුව ඇති අයථා වත්කම් ඉපැයීම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
විත්තියේ තර්කය: බැංකු නිලධාරීන්ට ආනයන සොයා බැලීමේ ප්‍රායෝගික නොහැකියාව
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ මණ්ඩලය කරුණු දක්වමින් කියා සිටියේ, පෞද්ගලික වාණිජ බැංකු අනුගමනය කරන පාරිභෝගික කේන්ද්‍රීය ක්‍රමවේදය යටතේ සිදු වූ ගනුදෙනුවලදී, අදාළ සමාගම්වල නීත්‍යානුකූලභාවය හෝ භාණ්ඩ ආනයනය කර ඇත්දැයි ක්ෂේත්‍ර මට්ටමින් සොයා බැලීමට ශාඛා නිලධාරීන්ට ප්‍රායෝගික හැකියාවක් නොමැති බවයි.
මෙම විමර්ශනය මාස දෙකකට අධික කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වූවක් බවත්, තම සේවාදායකයින් විමර්ශනවලට කිසිදු බාධාවක් සිදුකර නොමැති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසත් විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියහ.
දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් දීර්ඝ ලෙස සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, චෝදනාවල බරපතළකම සහ විමර්ශනවල පවතින සංවේදී ස්වභාවය හේතුවෙන් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ඔවුන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, එදිනට විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළේය.




