ගල්ගමුවේ ඇත් රජවරුන්ගේ ඛේදවාචකය
ගත වූ දශක දෙක තුළ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම හදවත් කම්පා කළ සිදුවීම් අතරට සුනාමි ව්‍යසනය හා දිට්වා ව්‍යසනය සේම පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අපවත් වීම ද ඇතුළත් වේ. එම දශක දෙක තුළ ඊට කිසිසේත් දෙවැනි නොවන සාතිශය ඛේදනීය සත්ව ඝාතන දෙකක් ද සිදු විය. ඒ ගල්ගමුව ආශ්‍රිත වන කලාපවල දිවි ගෙවූ සියඹලන්ගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජවරුන් සම්බන්ධ ඛේදවාචකයන් ය.
සියඹලන්ගමුවේ ඇතාගේ ඛේදනීය මරණයට එවක වනජීවී නිලධාරීන් කළ නුසුදුසු පරිග්‍රහණයක්, එනම් අල්ලාගෙන වෙනත් ස්ථානයකට රැගෙන යාමක්, හේතු වූ අතර දළ පූට්ටුවාගේ මරණය ඇත් දළ සොරුන් විසින් චේතනාන්විතව සිදු කළ කුරිරු ඝාතනයක් බවට විමර්ශනවලදී අනාවරණය විය.
වේදනාව ඉවසූ බෝධිසත්ත්ව ඇත් රජෙක්
ශ්‍රී ලංකාවේ වන අලි අතරින් ජනතා ආදරයට පත් වූ සුවිශේෂී දළ ඇතෙකු ලෙස ගල්ගමුවේ සියඹලන්ගමුවේ ඇතා සේම දළ පූට්ටුවා ද හැඳින්විය හැකි ය. දළ දෙක එකිනෙක හරස්ව පෙනීම නිසා ඔහුට ලැබුණු නම පමණක් නොව, මිනිසුන්ගේ වෙඩි පහරවලින් තුවාල ලබා දෑස් පෙනීම පවා අහිමිව තිබියදී ඉතා අහිංසක ලෙස ගල්ගමුව හා අවට ජනතාව සමඟ සාපේක්ෂව සාමකාමීව ජීවත් වූ ආකාරය ද ඔහු ජනතා මතකයේ රැඳීමට ප්‍රධාන හේතුවක් විය.
මරණයට කලකට පෙර සිදු වූ වෙඩි තැබීම් හේතුවෙන් ඔහුගේ එක් ඇසක පෙනීම අහිමි වී තිබූ අතර අනෙක් ඇස ද දුර්වලව තිබිණි. දීර්ඝ කාලයක් වනජීවී පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ ශරීරයේ පැරණි වෙඩි තුවාල සහ පාදයේ තුවාල ද තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයට සම්බන්ධ පශු වෛද්‍යවරු සඳහන් කර තිබිණි.
දළ පූට්ටුවාගේ විශේෂත්වය වූයේ මේ සියලු වේදනා මැද වුවද මිනිසුන්ට එරෙහිව කිසිදු ප්‍රචණ්ඩ හැසිරීමක් නොදැක්වීම ය. ගම්වාසීන් අතර ඔහු පිළිබඳව තිබුණේ විශේෂ ආදරයකි. කොටින්ම, ගම්මු ඔහු ජීවත්ව සිටියදීම බෝධිසත්ත්ව ඇතෙකු ලෙස හැඳින්වූහ.
අතුරුදන්වීම, වැටලීම සහ මළ සිරුර හමුවීම

සියඹලන්ගමුව ඇතුළු ගල්ගමුවේ මිනිස් ජනාවාස ආශ්‍රිතව සැරිසැරූ දළ පූට්ටුවා 2017 වසරේ නොවැම්බර් මාසයේදී හිටිහැටියේ අතුරුදන් වීමත් සමඟ ඔහු පිළිබඳ සෙවීම් ආරම්භ විය.
ඒ අතරතුර 2017 නොවැම්බර් 23 වැනිදා වලාන දූෂණ මර්දන ඒකකය විසින් නිකවැව ප්‍රදේශයේදී ඇත් දළ යුගලයක් සහ ගජමුතු කිහිපයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සිද්ධියේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් විය. එම දළවල හැඩය දළ පූට්ටුවාගේ සුවිශේෂී දළවලට සමාන බවට වනජීවී නිලධාරීන් තහවුරු කිරීමත් සමඟ සැකය තවත් තීව්‍ර විය.
ඉන් අනතුරුව සිදු කළ සෙවීම්වලදී 2017 නොවැම්බර් 29 වැනිදා කහල්ල–පල්ලෙකැලේ අභයභූමියට අයත් සොරොව්වැව ආසන්න ප්‍රදේශයෙන් දළ පූට්ටුවාගේ නරක් වූ මළ සිරුර සොයා ගන්නා ලදී. පසුදා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එය දළ පූට්ටුවාගේ සිරුර බව තහවුරු වූ අතර, මරණයට හේතුව වෙඩි තැබීමෙන් සිදු වූ තුවාල බව ද අනාවරණය විය.
දළ දෙක ලබා ගැනීම සඳහා දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
ශරීරයේ තිබූ කිලෝග්‍රෑම් 50ක ඊයම් සහ ගම්මුන්ගේ ශෝකය

තවද, ඔහුගේ සිරුරේ තිබූ වෙඩි තුවාල පිළිබඳව පරිසර සංවිධාන පසුව පෙන්වා දුන්නේ ඔහු ජීවිතයේ අවසන් කාලයේදී පවා මිනිසුන්ගෙන් සිදු වූ වෙඩි තැබීම්වල දරුණු වේදනාව දරාගෙන සිටි බවයි. වනජීවී සහ ස්වභාවිකත්ව සංරක්ෂණ සංගමය (WCS) නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ඔහුගේ ශරීරයෙන් ඊයම් කිලෝග්‍රෑම් 50කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කළ බවය. එමෙන්ම ඉන් කොටසක් ඇස් ආශ්‍රිත ප්‍රදේශවල තිබූ බව ද සඳහන් වේ. කාටත් වැටහෙන ලෙස කිවහොත්, මෙය සිමෙන්ති කොට්ටයකට ආසන්න බරක් සහිත ඊයම් ප්‍රමාණයක් ඔහුගේ ශරීරය තුළ තිබූ බවකි.
දළ පූට්ටුවාගේ මරණයෙන් පසු අතිශය ප්‍රකම්පාවට පත් ප්‍රදේශවාසීහු එම වසරේ දෙසැම්බර් 8 සහ 9 යන දෙදින තුළ ඔහුගේ ප්‍රියතම වාසස්ථානය වූ සියඹලන්ගමුව වැව ඉස්මත්තේ පිහිටි සියඹලන්ගමුව විහාරස්ථානයේදී මතක බණක් සහ සාංඝික දානයක් සංවිධානය කර තිබිණි. ඉන් අනතුරුව අහිංසා ශ්‍රී ලංකා සංවිධානය විසින් ගල්ගමුව ප්‍රදේශවාසීන් අතර දළ පූට්ටුවා ඇතුගේ වර්ණ ඡායාරූපයක් බෙදාහරින ලදී. ඉන් පසු එහි පිටපත් බොහොමයක් ගල්ගමුවේ නිවෙස් තුළ බුදු පහනට යටින් අලවා තිබූ බව ද අපට දැනගත හැකි විය.
DNA තහවුරු වීම සහ නොවිසඳුණු අභිරහස
ඒ අතර දළ පූට්ටුවාගේ මරණය අනාවරණය වීමත් සමඟ පරීක්ෂණ කඩිනම් විය. 2017 දෙසැම්බර් මුල් දිනවලදී සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගත් අතර, පසුව සැකකරුවන් අට දෙනකු අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරුණු බව වනජීවී සහ ස්වභාවිකත්ව සංරක්ෂණ සංගමය වාර්තා කර තිබේ.
මුල් අවස්ථාවේදී දළ කපා ඉවත් කිරීමට භාවිත කළ බවට සැක කළ උපකරණ, ඇත් දළවලින් සාදන ලද භාණ්ඩ සහ ගජමුතු ආදී දෑ ද සැකකරුවන් සන්තකයේ තිබී හමු වූ බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. එක් අවස්ථාවකදී සැකකරුවන් අට දෙනකු රිමාන්ඩ් භාරයේ සිටි බව ද වාර්තා විය.
එහෙත් මෙහිදී ඉතා වැදගත් නීතිමය කරුණක් අමතක කළ නොහැකිය. අත්අඩංගුවට ගැනීම යනු වරදකරු වීමක් නොවේ. සැකකරුවකුට එරෙහි චෝදනාවක් තහවුරු වන්නේ අධිකරණ ක්‍රියාවලියකින් පසුව ය.
අත්අඩංගුවට ගත් දළ සහ දළ පූට්ටුවාගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල පරීක්ෂා කිරීම සඳහා ජෙනෙටෙක් ආයතනය වෙත යොමු කර තිබිණි. 2018 ඔක්තෝබර් මාසයේදී මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ DNA වාර්තාව අනුව අත්අඩංගුවේ තිබූ දළ යුගලය දළ පූට්ටුවාගේ සිරුරට අදාළ බව තහවුරු වී තිබිණි.
ඒ අනුව දළ පූට්ටුවාගේ දළ දෙක අතුරුදන් වූයේ කොහේද, ඒවා කාගේ සන්තකයේ තිබුණේද යන්න පිළිබඳ තිබූ සැකයට විද්‍යාත්මක සාක්ෂියක් එක් විය. නමුත් DNA පරීක්ෂණයෙන් දළ දෙක දළ පූට්ටුවාගේම බව තහවුරු වුවද, ඔහුට වෙඩි තැබුවේ කවුද, දළ ඉවත් කළේ කවුද, එම දළ ලබාගෙන විකිණීමට උත්සාහ කළේ කවුද සහ ඒ සියල්ල පිටුපස සිටියේ කවුද යන්න තහවුරු කිරීම අත්‍යවශ්‍ය විය.
නඩු ප්‍රමාදය සහ නීතිමය පසුබෑම
දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට විවිධ පුද්ගලයන් හා රාජ්‍ය නිලධාරීන් පිළිබඳ විවිධ චෝදනා සහ සැකයන් මාධ්‍ය හා පරිසර ක්ෂේත්‍රයේ පළ විය. භික්ෂුවකගේ සිට රාජ්‍ය නිලධාරීන් දක්වා පුද්ගලයන් කිහිපදෙනකු පිළිබඳ පරීක්ෂණ සිදුවන බවට ද එදා වාර්තා පළ විය. පරිසරවේදීන් විසින් ද ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් සැක පළ කළ අවස්ථා තිබිණි.
එහෙත් ඒවා එදා ඉදිරිපත් වූ චෝදනා, සැක සහ විමර්ශන තොරතුරු මිස, එම පුද්ගලයන් දළ පූට්ටුවාගේ ඝාතනයට වරදකරුවන් බව තහවුරු කළ අවසන් අධිකරණ තීන්දුවක් ලෙස දැක්විය නොහැකිය.
දළ පූට්ටුවා ඝාතනයට අදාළ නඩුව B/1052/2017 යටතේ මහව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරම්භ වූ අතර පසුව විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දී තිබිණි. WCS වාර්තා අනුව CID විසින් ජීන්ටෙක් ආයතනය හරහා DNA පරීක්ෂණ සිදු කර තිබූ අතර, එම පරීක්ෂණයෙන් අත්අඩංගුවට ගත් දළ දළ පූට්ටුවාගේ DNA සමඟ ගැළපෙන බව තහවුරු වී තිබේ.
එහෙත් නඩුවේ විශාලම ගැටලුව වූයේ CID පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර චෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය දිග්ගැස්සීමය. වනජීවී සහ ස්වභාවිකත්ව සංරක්ෂණ සංගමයේ වාර්තා කිහිපයකම මෙම තත්ත්වය සඳහන් කර තිබේ. 2023 වාර්තාව දක්වාම සම්පූර්ණ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නොතිබූ බව එහි සඳහන් විය.
තවත් වැදගත් වර්ධනයක් වන්නේ 2024දී CID විසින් HC/194/24 යටතේ ඉහළ අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීම පිළිබඳව සීමාසහිත පාරිසරික පදනම (EFL) විසින් දක්වා ඇති තොරතුරයි. එම පදනම සහ වනජීවී හා ස්වභාවිකත්ව සංරක්ෂණ සංගමය මෙම නඩු කටයුතුවලට මැදිහත් පාර්ශ්ව ලෙස සම්බන්ධ වී තිබේ.
සත්ව අහිංසා ස්මාරකය සහ නොවිසඳුණු පැනය

මේ අතර, දළ පූට්ටුවාගේ ඝාතනය මුල් කර ගනිමින් සමස්ත ජාතියේම ද්වේෂය, නින්දා සහ අවමන් සමස්ත ගල්ගමුවේ ජනතාව වෙත එල්ල වන පසුබිමක, අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සංවිධානය ගල්ගමුව පුරවරයේ දළ සියඹලන්ගමුවේ ඇතා සහ දළ පූට්ටුවාගේ සජීවී ප්‍රමාණයේ මූර්ති සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ඉදිකිරීමට ඉදිරිපත් විය.
එම යෝජනාව එවක ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මා හමුවට ඉදිරිපත් වූ අතර, සභාවේ සියලු සභිකයන්ගේ එකඟත්වය මත අහිංසා ශ්‍රී ලංකා සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ, හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ මහතා ලබා දුන් ප්‍රතිපාදන මඟින් 2022 වසරේ ඔක්තෝබර් 9 වැනිදා ගල්ගමුව පූලංචිය වැව අද්දර එම ස්මාරකය ඉදිකර විවෘත කිරීමට අපට අවකාශ ලැබිණි.
එය සමස්ත ගල්ගමුවේ ජනතාව ඇතුළු ශ්‍රී ලාංකිකයන් තුළ සත්ව අහිංසා සංකල්පය පුබුදු කරවන්නක් බව අපගේ වැටහීමය.
නමුත් “දළ පූට්ටුවා ඝාතනය කළවුන්ට මොකද වුණේ?” යන පැනය විවිධ පුද්ගලයන් විසින් අද ද මා වෙත යොමු කරනු ලැබේ.
“සැකකරුවන් අත්අඩංගුවට අරගෙන. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළා. පසුව ඒ අය ඇප මත මුදාහැරුණු බව සංරක්ෂණ සංවිධානවල වාර්තා සඳහන් කරනවා. දළ දෙක දළ පූට්ටුවාගේම බව DNA පරීක්ෂණයෙන් තහවුරු වෙලා තියෙනවා. නමුත් දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කවුද යන්න අවසන් අධිකරණ තීන්දුවකින් තහවුරු වූ බවට පැහැදිලි සාක්ෂියක් මේ වන විට හමු වන්නේ නැහැ.”
එවිට මා ඔවුන්ට දෙන පොදු පිළිතුර එයයි.
නමුත් වසර ගණනාවකට පෙර සිදු වූ එවැනි බරපතළ වනජීවී අපරාධයකදී මෙය සරල නඩු ප්‍රමාදයක් ලෙස පමණක් බැලිය නොහැකිය. දළ පූට්ටුවාගේ ඝාතනයෙන් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වූයේ කෙසේද, විමර්ශන අවසන් කිරීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයි, නීතිපති උපදෙස් සඳහා විමර්ශන වාර්තා යොමු කිරීම ප්‍රමාද වූයේ ඇයි යන ප්‍රශ්න ද මේ සමඟ මතුවෙයි.
හෙට දවසේ දළ ඇතුන්ගේ ඉරණම
දළ පූට්ටුවාගේ කතාව එක් ඇතෙකුගේ මරණයක් පිළිබඳ කතාවක් පමණක් නොවේ.
ශ්‍රී ලංකාවේ දළ ඇති පිරිමි ඇතුන් අතිශය සීමිත පිරිසක් වීම නිසා ඔවුන්ගේ සංරක්ෂණ වටිනාකම විශේෂ ය. ඔහු වැනි සතෙකුගේ දළ සඳහා ඇති නීති විරෝධී ඉල්ලුම දළ ඇති ඇතුන්ට එල්ලවන දඩයම් අවදානම තවදුරටත් වැඩි කරයි.
එමෙන්ම දළ පූට්ටුවාගේ පෙර වෙඩි තුවාල සහ අන්ධභාවය පිළිබඳව පසුව ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවක ද අවධානය යොමු කර තිබීම වැදගත් ය. එහි සඳහන් වන්නේ ඔහු අන්ධව සිටියදී සහ පාදයේ තුවාලයකට වසර ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ ගමන් රටාව හා ආරක්ෂාව නිසි ලෙස හඳුනා නොගැනීම ඔහුගේ ඝාතනයට වක්‍රව පහසුකම් සැලසූ තත්ත්වයක් වූ බවයි.
එය වනජීවී සංරක්ෂණයේ තවත් අඳුරු පැත්තක් පෙන්වා දෙයි.
වන අලියකු මිනිස් ජනාවාස ආසන්නයේ ජීවත් වන්නේ නම් ඔහුගේ චර්යා රටාව හඳුනාගැනීම, අවදානමට ලක් වූ සතෙකුට ආරක්ෂාව සැපයීම, තොරතුරු හුවමාරු කිරීම, නීති විරෝධී දඩයම් පිළිබඳ බුද්ධි තොරතුරු ලබාගැනීම සහ අපරාධයක් සිදු වූ විට විද්‍යාත්මක සාක්ෂි මත කඩිනම් විමර්ශනය කිරීම ද ඒ හා සමානව වැදගත් ය.
දළ පූට්ටුවාගේ නඩුවේදී DNA පරීක්ෂණය මඟින් දළ දෙක ඔහුගේම බව තහවුරු කරගැනීම එයට හොඳ උදාහරණයකි. එවැනි විද්‍යාත්මක සාක්ෂි අපරාධ විමර්ශනයකදී අතිශය වැදගත් වුවද, එම සාක්ෂි නීතිමය ක්‍රියාවලිය තුළ අවසාන ප්‍රතිඵලයක් බවට පත් කිරීම සඳහා පොලිසිය, CID, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර කාර්යක්ෂම සම්බන්ධීකරණයක් අවශ්‍ය ය.
දළ පූට්ටුවා අද අප අතර නැත. ඒ වෙනුවට ඇත්තේ කෘත්‍රිම ලෙස නිම කළ ඔහුගේ සජීවී ප්‍රමාණයේ පිළිරුවක් හා අනුවේදනීය මතකයකි.
ඒ අනුව දළ පූට්ටුවා වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටීම යනු 2017දී මියගිය එක් ඇතෙකු වෙනුවෙන් පමණක් හඬ නැගීමක් නොවේ. එය මේ වන විට කතාබහට ලක්ව සිටින කාවන්තිස්ස ඇතුළු අද වනාන්තරවල ජීවත් වන දළ ඇතුන්ට හෙට අත් නොවන ඉරණමක් වෙනුවෙන් නීතිය, විද්‍යාව සහ සංරක්ෂණය එකට ක්‍රියා කළ යුතු බව සිහිපත් කිරීමකි.
උපුටා ගැනීම :විනිවිද




