*සැප්තැම්බර් 17දා ඇරඹෙන කාන්තා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පළමු ප්‍රතිවාදියා මැලේසියාව
ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ අදියරට ශ්‍රී ලංකාව කෙළින්ම පිවිස සිටිනවා.
ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය ද මේ ‘නොක්-අවුට්’ වටයේ ඔවුන්‌ගේ ස්ථාන සුරක්ෂිත කරගෙන සිටිනවා.

කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් නගෝයා නුවරදී සැප්තැම්බර් 24 වැනිදා තරගාවලිය ආරම්භ වන්නේ ඇෆ්ගනිස්තානය, හොංකොං, ජපානය, මැලේසියාව, නේපාලය හා ඔ්මානය යන රටවල් අර්ධ අවසන් පූර්ව වටයේ ඉතිරිව තිබෙන අනෙක් ස්ථාන හතර වෙනුවෙන් තරග වදිමින්.
මෙහිදී ඇෆ්ගනිස්තානය, ජපානය හා නේපාලය ‘ඒ’ කොටසට ඇතුළත්ව සිටින අතර හොංකොං, මැලේසියාව හා ඔ්මානය ‘බී’ කොටසේ තරග කරනවා. ඒ ඒ කොටස්වල ඉහළටම පිවිසෙන කණ්ඩායම් දෙක පිළිමලුන් පිටුදැකීමේ වටයට පිවිස අනෙක් ඉහළම කණ්ඩායම් හතර සමග එක්වනවා.
ශ්‍රී ලංකා කාන්තා පළමු ගැටුම මැලේසියාව සමග

සැප්තැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වෙන ආසියානු ක්‍රීඩා කාන්තා ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 8ක් සහභාගි වන අතර එය ආරම්භ වන්නේ අර්ධ අවසන් පූර්ව අදියරෙන්. මෙහිදී, වර්තමානයේ මේ කිරුළ හිමි කරගෙන සිටින ඉන්දියාව සත්කාරක ජපානය සමගත්, බංග්ලාදේශය චීනය සමගත් තරග කරන අතර ශ්‍රී ලංකාව ට මැලේසියාව ද, පාකිස්තානයට තායිලන්තය ද මුණගැසෙනවා.
ආසියානු ක්‍රීඩා පිරිමි හා කාන්තා සියලු තරග ක්‍රීඩා කෙරෙන්නේ විස්සයි20 ආකෘතියෙන්.
2023 වසරේ චීනයේ හැංජෝ නගරයේ පැවති 2022 ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉන්දියාව පිරිමි හා කාන්තා ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමිකර ගත්තා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




