කාබන් පිටවීම් 50%කින් අඩු කිරීමේ FIFA උපායමාර්ගයට දැඩි ප්‍රහාරයක්: 2026 තරගාවලියෙන් කාබන් ටොන් මිලියන 9ක් වාතයට
දේශගුණික වෙනස්වීම් පාලනය කිරීමට කටයුතු කරන බවට පොරොන්දුවක් දී තිබියදීත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ක්‍රීඩා ඉතිහාසයේ පරිසරයට වඩාත්ම හානිකර වූ තරගාවලියකට දායක වී සිටිනවා.
අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවති 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවති දින 39 මුළුල්ලේ ඉන්ෆන්ටීනෝ කිලෝමීටර් 96,560කට ආසන්න ප්‍රමාණයක් ගුවන් යානයෙන් ගමන් කර තිබෙනවා.
ලෝ වටා යන දුර ප්‍රමාණය කිලෝමීටර් 40,075ක් පමණ වනවා. ඒ අනුව ඉන්ෆන්ටීනෝ ලෝක කුසලාන තරගාවලිය පැවති කාලය තුළ දෙවතාවකට වැඩියෙන් ලෝකය වටා පියාසර කර තිබෙනවා.
ස්විස් ජාතික මේ ගෝලීය පාපන්දු ප්‍රධානියා මෙසේ සංචාරය කර තිබෙන්නේ ලෝක කුසලානයේ අනුග්‍රාහකයෙකු වන කටාර් ගුවන් සමාගමේ කුලියට සේවා සපයන අංශය විසින් මෙහෙයවන ගල්ෆ්ස්ට්‍රීම් (Gulfstream G650) විශේෂ ගුවන් යානයකින්.
ලෝක කුසලාන තරගාවලියේ තරග පැවති දින 34න් දින 31කදී අවම වශයෙන් එක් තරගයකට හෝ ඉන්ෆන්ටීනෝ පෙනී සිටි අතර අවස්ථා 13කදී එක් දිනයක තරග දෙකකට සහභාගි වීමට ද ඔහු සිය කාලය කළමනාකරණය කර ගත්තා.
සම්පූර්ණ වශයෙන් ඔහු තරගාවලිය යටත් පැවති තරග 104න් තරග 44කට සහභාගි වීමට සමත් වුණා. එම කාලය තුළ ඔහුගේ කෙටිම ගුවන් ගමන වූයේ ජූලි 6 වැනිදා සිඇටල් සිට වැන්කුවර් දක්වා ගිය මිනිත්තු 28ක ගමන.
කාබන් පිට කිරීම 2030 වසර වන විට සියයට 50කින් අඩු කිරීමටත්, 2040 වන විට එය බින්දුවට ගෙන ඒමටත් ප්‍රතිඥා දුන් දේශගුණික උපායමාර්ගයක් FIFA ට තිබෙනවා.
නමුත් එය දැන් විය නොහැකි දෙයක් බවට පත්ව ඇති සෙයක් පෙන්නුම් කරනවා. 2026 ලෝක කුසලාන තරගාවලිය GHG ටොන් මිලියන නවයක පමණ කාබන් පිට කිරීමක් නිපදවනු ඇතැයි අපේක්ෂා කෙරුනු අතර එය කටාර් 2022 ලෝක කුසලානයට වඩා සියයට 137ක වැඩිවීමක්.
මේ කාබන් ප්‍රමාණයෙන් ටොන් 7.7ක් පමණ ගුවන් සංචාරවලින් අඩංගු වී තිබෙනු ඇතැයි ප්‍රකාශ වී තිබුණා. මෙය වසර 2010 හා 2022 අතර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් සඳහා තිබූ සාමාන්‍යය මෙන් සිවු ගුණයකට වඩා වැඩිවීමක් බව අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මිනිස් ඉතිහාසයේ එක් වඩාත්ම පරිසර හානිකර ක්‍රීඩා ඉසව්වක් බවට පත්ව තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




