'ස්කොට්ලන්තයේ අවසන් රජුගේ' උරුමයෙන් ග්ලාස්ගෝ හි අලුත් රජු වෙන්න යන ගමන
අසිස් අබ්දුල් ට කවදාවත් ඔහුගේ සීයා හමුවී නැහැ. හමුදා ඒකාධිපතියෙකු වූ ඔහු රටින් නෙරපා හැර තිබියදී මිය යන විට පුංචි අසිස් මුලින් ම පිය නඟන ළදරුවෙක්. සීයා නම ඉඩි අමින් වී තිබුණා.
ගෝලීයව ඔහුට තවත් නමක් තිබුණා... ‘උගන්ඩාවේ මිනීමරුවා’.
1971 වසරේදී කුමන්ත්‍රණයකින් උපන්බිමේ බලය අල්ලාගෙන රටේ තෙවැනි ජනාධිපතිවරයා බවට පත්වූ ඉඩි අමින් වසර අටක් තිස්සේ අතිශයින් දරුණු රාජ්‍ය පාලනයක් ගෙන ගියා. එහිදී පුද්ගලයින් මිලියන භාගයක් ඝාතනය කෙරුණු බවට හා රටේ සමස්ත ආසියානු ජනගහණය නෙරපා දැමුණු බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
ඔහු හය වතාවක් විවාහ වෙමින් දරුවන් 60කට පමණ පියෙක් වුණා. වඩා නිවරදව කියනවා නම්, එය ඔහු තමාගේ දරුවන් ලෙස පිළිගත් සංඛ්‍යාවයි. ඒ සියල්ල අතරෙහි කොතැනක හෝ අබ්දුල් ඇතුළත්ව සිටිනවා.
මේ සතියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර සිටින 3,000ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 25 හැවිරිදි අබ්දුල් ද එක් කෙනෙක්. පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට පැමිණ සිටින ක්‍රීඩා ඇඳුම් පැළඳ ගත් අයගෙන් ඔහු තවත් එක් මුහුණක් පමණයි. එහෙත් මේ සුපර්-හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයාට තිබෙන පෙළපත අනෙක් බොහෝ දෙනෙකුට නැහැ.
අබ්දුල් අද එංගලන්තයේ ඩමා තෝමස් සමග කිලෝග්‍රෑම් 90 ට වැඩි බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වැදීමට නියමිතයි. මෙහිදී ලබන ජයග්‍රහණයකින් අවම වශයෙන් ලෝකඩ පදක්කමක් ස්ථිර වෙමින් ඔහු 1990 ඔ්ක්ලන්ඩ්වලින් පසුව උගන්ඩාවේ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං පදක්කම්ලාභියා බවට පත්වන බව අබ්දුල් දන්නවා.
එය ග්ලාස්ගෝ හිදී සිදුවීම විශේෂයෙන් ගැළපෙනවා.
හිතුවක්කාර ඉඩි අමින් වයස අවුරුදු විසි ගණන්වලදී රජුගේ අප්‍රිකානු රයිෆල් බලකායේ (King’s African Rifles) සේවය කිරීමෙන් පසුව ස්කොට්ලන්තය ට වශී වී සිටියා. ඔහුගේ පාලනයේ තියුණුම අවස්ථාවේදී ස්කොට්ලන්ත මිනිසුන්ගේ සම්ප්‍රදායික ඇඳුම ඇඳගෙන bagpipe නම් සුසිර සංගීත භාණ්ඩය වාදනය කිරීමට ආශාවක් දැක්වූ ඔහු 1976දී තමා ‘ස්කොට්ලන්තයේ රජා’ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.
ඊට වසර කිහිපයකට පසුව, ඔහුගේ ඒ අභිරුචිය ‘ස්කොට්ලන්තයේ අවසන් රජතුමා’ (The Last King Of Scotland) නමැති ඔස්කාර් සම්මාන ලැබූ චිත්‍රපටයට වස්තු බීජය වුණා. එම චිත්‍රපටයේ රඟපෑ නළුවන් වුනේ Forest Whitaker සහ James McAvoy.
සාර්ථක බොක්සිං සටන්කරුවෙකු වූ ඉඩි අමින් 1951 සිට වසර නවයක් උගන්ඩාවේ ලයිට්-හෙවිවේට් කිරුළ හිමි කරගෙන සිටියා. කෙසේ වෙතත්, එය ද මතභේදයට ලක්ව තිබුණා.
ඒ කාලයේදී එක් තරගයකින් පරාජය වීමෙන් පසුව, ඉඩි අමින් බලය අත්කර ගත් විගස එහි නැවත තරගයක් පවත්වන ලෙසට නිල නියෝගයක් නිකුත් කරමින්, පරාජයක් කලින්ම සැලසුම් කර තිබූ එම තරගයේදී සූට් හා ටයි පටියක් පැලඳගෙන ප්‍රතිවාදියා බිම හෙලූ බවට වාර්තා වී තිබෙනවා.
මේ ඒකාධිපතියාගේ මුනුපුරා වීම පිළිබඳව ආඩම්බර වන්නේ ද යනුවෙන් මාධ්‍ය සාකච්ඡාවකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දීම ‘රිංගෝ’ යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන අසිස් අබ්දුල් ප්‍රතික්ෂේප කළ ද, එවැනි දුෂ්ට ප්‍රසිද්ධියක් තිබෙන කෙනෙකු සමග තිබෙන සම්බන්ධය පිළිබඳව ඔහු අදහස් දක්වා සිටියා.
“සමහර වෙලාවට මිනිස්සු ඔහු ගැන ධනාත්මකව කතා කරනවා, නමුත් අනෙක් අය ඔහු ගැන සෘණාත්මක දේවල් කියනවා. මම එයා ගැන වැඩිය කතා කරන්න කැමති නැත්තේ ඒ නිසයි” අබ්දුල් කියනවා.
“ජීවතුන් අතර නැති කෙනෙක් ගැන අසුබවාදීව කතා කිරීම හොඳ නැහැ. ඒ වගේම එහෙම සිදුවීම් වුනා නම්, එය සිද්ධ වෙද්දී එතැන නොසිටි කෙනෙක් විසින් ඒ පුද්ගලයා ගැන සෘණාත්මකව කතා කිරීමත් හොඳ නැහැ.”
ඉඩි අමින්ගේ කෘෘර පාලනය යටතේ මරා දැමුනු පුද්ගලයින් මෙන්ම තව බොහෝ දෙනෙකුව සිරගත කර ඔවුන්ට වධ හිංසා පමුණුවා තිබුණා.
2003 වසරේදී සෞදි අරාබියේ මිය යාමට පෙර කිසිවිටෙකත් ඉඩි අමින් ඔහු කළ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම පිළිබඳව මානව හිමිකම් සංවිධාන හා උගන්ඩා රජය ද ඔවුන්ගේ කනස්සල්ල පළ කර තිබෙනවා.
පැහැදිලිවම, මේ සියල්ල අබ්දුල් ඉපදීමට පෙර ඇතිවූ සිදුවීම්. කම්පාලා නුවර ඔහුගේ ජීවිතය මෙතෙක් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණත් දැන් උගන්ඩාවේ කීර්තිය වෙනුවෙන් ධනාත්මක දායකත්වයක් ලබා දීමේ අවස්ථාව ඔහුට ලැබී තිබෙනවා.
ඔහු ගෙල වටා පැලඳ සිටින රත්තරං මාලය වෙනුවට මේ සතියේ දිනා ගන්නා රන් පදක්කම දමා ගැනීමට ඔහුට අවශ්‍යව තිබෙනවා. තමාගේ ‘රිංගෝ මුෂ්ටි ප්‍රහාරය’ ප්‍රතිවාදී තරගකරුවන්ට දරාගත නොහැකි වනු ඇති බවට ඔහු විශ්වාස කරනවා.
ග්ලාස්ගෝ හි තරගය සිදුවනු ඇත්තේ දෙවියන්ගේ සැලැස්මට අනුව බව අසිස් අබ්දුල් (Aziz Abdul) පවසනවා. “මම ස්කොට්ලන්තයේ අලුත් රජතුමා වෙන්නත් ඉඩ තියෙනවා!”
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




