විනිසුරු තීරණය ගැන උගන්ඩා ක්‍රීඩකයාගෙන් දැඩි චෝදනා
"1990න් පසු උගන්ඩාවට හිමිවීමට තිබූ බොක්සිං පදක්කම අහිමි වෙයි: "ජයග්‍රහණය දෙන්න ඕන වුණේ එංගලන්ත ක්‍රීඩකයාටයි"
උගන්ඩාවේ ඒකාධිපති හමුදා පාලක ඉඩි අමින්ගේ මුනුපුරා වන අසිස් අබ්දුල් පොදුරාජ්‍ය මණ්ඩල බොක්සිං වළල්ලෙන් නෙරපා දමා තිබෙනවා. සිය එංගලන්ත ප්‍රතිවාදියාට හිසෙන් පහර දීම හේතුවෙන් ඔහු තරගයෙන් ඉවත් කර තිබුනත් තමාට මේ ඉරණම අත්වුනේ තමා ‘කළු අප්‍රිකානුවෙක්’ වූ නිසා බවට ඔහු චෝදනා කරනවා.
තරගයේ තෙවැනි වටයේදී සටන්කරුවන් දෙදෙනා පොර බැදීමෙන් පසුව ප්‍රතිවාදී ඩමාර් තොමස්ගේ නිකට සමග ගැටෙන අයුරින් හිස තදින් එසවීම හේතුවෙන් අබ්දුල් ට දඬුවම් කර තිබෙනවා.
තමා කළු අප්‍රිකානු ජාතිකයෙකු නිසා තරග විනිසුරුවන් තමාට එරෙහි වූ බවට අබ්දුල් තරගයෙන් පසුව කියා සිටියා.
“ඔබ මීට කලින් පැවති එංගලන්ත තරග නරඹද්දී පේනවා ඔවුන්ගේ බොක්සිං ක්‍රීඩකයින් නීතිවිරෝධී ක්‍රියා බොහොමයක් සිදුකරන බව” යනුවෙන් ඔහු පැවසුවා.
“මම තදින් පහරක් ඔහුට ගැසුවා. නමුත් විනිසුරුවන් එය ගණන් කළේ ම නැහැ. ගණන් කරනවා වෙනුවට ඔවුන් මගේ ලකුණු අඩු කළා.”
“මම කළු අප්‍රිකානුවෙක්. එයා (ප්‍රතිවාදියා) ඉන්නේ එයාගෙ උපන් රටේයි.”
කෲර පාලකයෙකු වූ ඉඩි අමින් සීයා කිසිදිනෙක හමුවී නැති අබ්දුල් හඹා යමින් සිටියේ 1990 ඔක්ලන්ඩ් ක්‍රීඩා උළෙලින් පසුව උගන්ඩාවේ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං පදක්කම. ඔහු ග්ලාස්ගෝ හිදී තොමස් පරාජය කළා නම් ඒ පදක්කම හිමිවීමට ඉඩ තිබුණා.
නමුත් ඒ වෙනුවට ඔහුට තරගයේ කලින් පැවති වට දෙකේදී අවවාද කෙරුනු අතර ඔහු තරග විනිසුරුවන් සියලු දෙනාගේම ලකුණු සටහන් පත්‍රිකාවල සිටියේ ප්‍රතිවාදියාට වඩා පිටුපසින්.
“මට ඒ ගැන කියන්න තියෙන්නේ තීරණය හරි නැති බවයි. මම සතුටු නැහැ” යැයි අබ්දුල් ප්‍රකාශ කළා.
“ඔහු මට වැලමිටෙන් ඇන්නා. ඔහු මාව වැලමිටෙන් අල්ලා ගත්තා.”
“හිසේ චලනය හිතා මතා කළ දෙයක් නෙවෙයි. මම උත්සාහ කරමින් සිටියේ නැවත තරගයට අවතීර්ණ වෙන්නටයි.”
“මම කොහොමද කෙනෙකුට හිසෙන් පහර දෙන්නේ? මම එහෙම කරන්නේ නැහැ.”
“ඔවුන්ට ජයග්‍රහණය කරවීමට අවශ්‍ය කර තිබුණේ ඒ පුද්ගලයාවයි. තරගයට කලින්ම ඔහු තමයි ජයග්‍රාහකයා වී සිටියේ. මම ප්‍රතිවාදියා බිම හෙලුවේ නැත්නම් මට මේ තරගය දිනන්න බැරි බව මම දැන සිටියා.”
මේ අතර, තරගය ජය ගත් තොමස් මාධ්‍යවේදීන් අමතමින්, තමාට තරගය ජය ගැනීමට අවශ්‍ය වුනේ මේ ආකාරයෙන් නොවන බව කියා සිටියා.
“අද වෙච්ච දේ වෙනස් කරන්න මට බැහැ. නමුත් මම ඊළඟ තරගයේ තරග කරන අයුරු පාලනය කරන්න මට පුළුවනි” තොමස් සඳහන් කළා.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
සබැඳි පුවත :




