සාප්පු සේවිකාවකගේ සිට මිලියන 77ක අනුගාමිකයන් සිටින ගෝලීය සංකේතයක් වූ ජෝජීනාගේ අපූර්ව ජීවන ගමන
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ ජෝජීනා රොඩ්රීගෙස් දැන් නිල වශයෙන් සැමියා හා බිරිඳ වනවා.
ඔවුන්ගේ දරුවන් පස් දෙනාගේ සහභාගිත්වයෙන් දෙදෙනා ඊයේ (අඟහරුවාදා) විවාහ වූ ආචාරසම්පන්න උත්සවය පෞද්ගලික හා සංවේදී මොහොතක් වූ බව පෘතුගාල පාපන්දු තරුව නියෝජනය කරන මහජන සබඳතා ආයතනය නිවේදනය කළා. විවාහෝත්සවය පැවැත්වුනේ ලිස්බන් අගනුවර අසල පිහිටි කැෂ්කායිස් නමැති බටහිර පෘතුගාලයේ වෙරළබඩ නගරයේ.
යුවල මංගල මුදු පෙන්වන ඡායාරූපයක් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් වේදිකාවල පෝස්ට් කළා. ස්පාඤ්ඤයේ මෙඩ්රීඩ් අගනුවරදී මුණගැසීමෙන් පසුව මේ දෙදෙන පසුගිය දශකය තිස්සේ එකට ජීවත් වෙමින් සිටිනවා.
මේ දෙදෙනාගේ ජීවිත සලකුණු වී තිබෙන්නේ රොනාල්ඩෝගේ පාපන්දු චාරිකාවෙන්. රොනාල්ඩෝ 2018 වසරේදී යූවෙන්චස් පාපන්දු සමාජයට මාරු වීම හේතුවෙන් දෙදෙන ඉතාලියේ මෙඩ්රීඩ් සිට ඉතාලියේ ටියුරින් නගරයේ පදිංචියට ගියා. පසුව ඔවුන් එංගලන්තයේ පදිංචියට ගියේ රොනාල්ඩෝ නැවත මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායමට ක්‍රීඩා කළ බැවින්. ඔහු දැන් අල්-නසර් කණ්ඩායම නියෝජනය කරන නිසා අවසානයේදී මේ යුවල සෞදි අරාබියේ රියාද් නගරයට පැමිණ සිටිනවා.
රොනාල්ඩෝ සහ ජෝජීනා නිල වශයෙන් විවාහ වීමට පෙර ඔහු මාධ්‍ය සාකච්ඡා හා සමාජ මාධ්‍ය පෝස්ට්වලදී ඇයව ඇතැම් විට “බිරිඳ” ලෙසින් හැඳින්වීමට පටන් ගත්තා. අවසානයේදී, මේ දෙදෙන විවාහ දිවුරුම් හුවමාරු කරගත් දවස 2026 අගෝස්තු 11 වැනිදා උදාවුණා.
ජෝජීනා රොඩ්රීගෙස්...ගෝලීය සංකේතයක් බවට පත්වූ සිල්ලර බඩු කඩේ සේවිකාව!
යුවලක් වශයෙන් ඔවුන්ගේ ජීවිත 2022 වසරේ අප්‍රේල් මාසයේදී ඛේදවාචකයකට ද මුහුණ දුන්නා. ඒ, ඔවුන්ගේ අලුත උපන් පුතා වූ Angel දරු උපතේදී ම මිය ගිය අවස්ථාවේ.
වර්තමානයේ මිලියන 77ක ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් සිටින ජෝජීනා පැවත එන්නේ පහත් පසුබිමකින්. ස්පාඤ්ඤයේ හාකා නුවර ඇය හැදී වැඩුනේ ඇගේ සොයුරිය වන ඉවානා සහ ස්පාඤ්ඤ මවක් හා ආජන්ටිනානු පියෙකු සමගයි.
කතෝලික පාසලකට ගිය ජෝජීනා ඇගේ තරුණ කාලයේදී මහාඅපේක්ෂා සහිත බැලරීනාවියක්. මෙඩ්රීඩ් නගරයට පැමිණීමෙන් පසුවයි ඇයගේ දෛවය වෙනස් වුණේ. Massimo Dutti නමැති සිල්ලර රෙදිපිළි සමාගම වෙනුවෙන් සිය රැකියාව ආරම්භ කළ ඇය Gucci නමැති සුඛෝපභෝගී මෝස්තර ආයතනයට මාරු වී සිටියදීයි ඇයට රොනාල්ඩෝ හමුවුනේ. ඒ වන විට රොනාල්ඩෝ ‘රේආල් මෙඩ්රිඩ්’ කණ්ඩායමට ක්‍රීඩා කරමින් නිසැකවම ඔහුගේ ගෝලීය කීර්තියේ මුදුනට පිවිස සිටියා. ඒ සිල්ලර මෝස්තර සාප්පුවේ අහම්බෙන් සිදුවූ මුණගැසීම දෙදෙනාගේ හදවත් එක් කළා.
ජෝජීනා පසුව මෝස්තර නිරූපණය කිරීමේ සාර්ථක දිවියක් ගොඩනගා ගනිමින් ප්‍රසිද්ධ මෝස්තර ලේබල ගණනාවක් සමග කටයුතු කළා.
2021 වසරේදී ඇය ඇගේ මෝස්තර ලේබලය වන OM by G ආරම්භ කරමින් ඇගේ ආයෝජන ප්‍රසාරණය කළා. මීට අමතරව ජෝජීනා Insparya නමැති හිසකෙස් රෝපණය කිරීමේ සමාගම ඇතුළු විවිධ වෙළෙඳ ව්‍යාපාර සමග සම්බන්ධ වුණා. ඇය රොනාල්ඩෝ සමග එම කොම්පැනියේ සම-අයිතිකරු හා පරිපාලක ලෙස සේවය කළ බවට වාර්තා පළවී තිබුනත් ඇය ඇගේ පරිපාලන තනතුරෙන් 2024 වසරේදී ඉවත් වූ බව පසුව වාර්තා වුණා.
I Am Georgina නමැති Netflix රිඇලිටි වැඩසටහන ජෝජීනාගේ වඩාත්ම ප්‍රසිද්ධ මාධ්‍ය ව්‍යාපෘතිය යි. 2022 වසරේදී මංගල දර්ශනයක් පැවැත්වුණු මේ වැඩසටහන් මාලාව සීසන් තුනක් විකාශය වී තිබෙනවා. නිරූපිකාවක්, ව්‍යාපාරිකයෙක්, බලවත් කාන්තාවක් හා මවක් වශයෙන් ජෝජීනා රොඩ්රීගෙස් ගැන එම වේදිකාවෙන් විස්තර කෙරෙන්නේ එය නරඹන අයට ඇගේ පෞද්ගලික හා වෘත්තීය ජීවිතයට එබී බැලීමේ අවස්ථාවක් පිළිගන්වමින්.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
සබැඳි පුවත් :
රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහය යැයි සිතා වෙනත් යුවලකගේ මංගල්‍යයට පාපන්දු ලෝලීන් දහස් ගණනක් කඩා පනිති!




