*සිදුවූ වරද පිළිගනිමින් මාසයක කාලයකට සියලු තරගාවලියන්ගෙන් ඉවත් වීමට තීරණය කරයි.
ලෝක ටෙනිස් පිටියේ කැපී පෙනෙන චරිතයක් වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක නික් කිර්ගියෝස් (Nick Kyrgios) තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසාර්ථක වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය ටෙනිස් තරගාවලියන්ගෙන් තහනම් කර තිබේ. ජාත්‍යන්තර ටෙනිස් අඛණ්ඩතා නියෝජිතායතනය (ITIA) විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, ඔහු මෙම තහනමට ලක්ව ඇත්තේ කොකේන් භාවිතය හේතුවෙනි.
මැයෝර්කා තරගාවලියේදී අනාවරණය වූ තහනම් ද්‍රව්‍ය
පසුගිය ජුනි මස 22 වන දින ස්පාඤ්ඤයේ මැයෝර්කා (Mallorca) නුවර පැවති ATP 250 ටෙනිස් තරගාවලිය අතරතුර ලබාගත් සාම්පලයක් පරීක්ෂා කිරීමේදී, එහි 'බෙන්සොයිල්ක්ගොනීන්' (benzoylecgonine) නම් කොකේන්වල අඩංගු ද්‍රව්‍යයක් පවතින බව ලෝක තහනම් උත්තේජක නාශක ඒජන්සිය (WADA) විසින් තහවුරු කරන ලදී.

මෙම වාර්තාව ජූලි 17 වන දින ලැබීමෙන් අනතුරුව, අගෝස්තු 4 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිර්ගියෝස්ව තරගාවලියන්ගෙන් තාවකාලිකව ඉවත් කිරීමට ITIA පියවර ගත්තේය. මෙම තහනම යටතේ, ලෝක ටෙනිස් සංගමය, ATP, WTA හෝ ඕනෑම ජාතික ටෙනිස් සංගමයක් විසින් සංවිධානය කරනු ලබන තරගයකට ක්‍රීඩා කිරීමට, පුහුණු වීමට හෝ සහභාගී වීමට ඔහුට අවසර නොලැබේ.
වරද පිළිගනිමින් කිර්ගියෝස් නිකුත් කළ සමාව අයැදීම
තමාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වමින් නික් කිර්ගියෝස් ප්‍රකාශ කර සිටියේ, තමන් විසින් කරගත් බරපතල වැරැද්දේ සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවයි.
"මම මෑතකදී මැයෝර්කාහිදී සිදුකළ උත්තේජක පරීක්ෂණයකින් අසාර්ථක වුණා. මා අතින් විශාල වරදක් සිදුව තිබෙනවා, ඒ සඳහා මම පූර්ණ වගකීම භාර ගන්නවා," යනුවෙන් ඔහු සඳහන් කරයි.

තවද, තම රසිකයන්, පවුලේ අය සහ අනුග්‍රාහකයන්ගෙන් සමාව අයැද සිටින කිර්ගියෝස්, තමා දෙස බලා සිටින කුඩා දරුවන්ට තමා ආදර්ශයක් විය යුතුව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් පවසා ඇත. පසුගිය කාලයේ තමන් මුහුණ දුන් ක්‍රීඩා ආබාධ තමන්ගේ මානසික තත්ත්වයට බරපතල බලපෑමක් එල්ල කළ බවත්, කෙසේ වෙතත් එය කිසිදු විටෙක තමන් සිදුකළ වරදට නිදහසට කරුණක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තහනම සමඟින් ඔහු අභියාචනයක් ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති අතර, ඉදිරි දින 28ක කාලය තුළ සමාජ මාධ්‍ය සහ පොදු කටයුතුවලින් ඉවත්වී තම මානසික සහ ශාරීරික සෞඛ්‍යය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසීය.
මුලාශ්‍රය :
Nick Kyrgios banned from tennis after testing positive for cocaine - Sky News




