කණ්ඩායම් 14ක් සහ 'සුපර් 7' අදියරක් ඇතුළත් වන නව ත්‍රිත්ව-අදියර තරග රටාව ICCයෙන් නිල වශයෙන් එළියට
ලබන වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (ODI World Cup 2027) දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා නැමීබියාව හරහා ස්ථාන 12ක පැවැත්වෙනවා. මේ එක් දින තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණවලින් අටක් ම සත්කාරක රට වන දකුණු අප්‍රිකාව සතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) ඊයේ නිවේදනය කළා.
ඔ්වර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අප්‍රිකාව ට නැවත පැමිණෙන්නේ වසර 24කට පසුව. 2003 වසරේදී දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා කෙන්යාව 8 වැනි ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දැක්වූවා.
2027 තරගාවලියේ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කෙරෙන තරග පැවැත්වෙන්නේ වොන්ඩරර්ස් ක්‍රීඩාංගණය (ජොහැන්නස්බර්ග්), සෙන්චූරියන් (ච්වානෙ), නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය (කේප් ටවුන්), කිංග්ස්මීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය (ඩර්බන්), සාන්ත ජෝර්ජ් පාක් (කෙබේහා), මංගාඋං ඕවල් (බ්ලූම්ෆොන්ටේන්), බෝලන්ඩ් පාක් (පාල්), බෆලෝ පාක් (කූගොම්පො සිටි, කලින් ඊස්ට් ලන්ඩන්) යන ස්ථානවල.
සිම්බාබ්වේ හි තරග පැවැත්වෙන ස්ථාන තුන වන්නේ හරාරේ ක්‍රීඩා සමාජය (හරාරේ), ක්වීන්ස් ක්‍රීඩා සමාජය (බුලවායෝ) සහ අලුතින් ඉදිකෙරුනු ෆේල් මුසි ඔ ටූන්යා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය (වික්ටෝරියා ෆෝල්ස්).
නැමීබියාවේ ක්‍රීඩා කෙරෙන තරග නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (වින්ඩ්හෝක්) පැවත්වීමට නියමිතයි.

2027 ලෝක කුසලාන තරගාවලියට තරග 57ක් ඇතුළත්ව තිබෙන්නේ වඩාත් හොඳ සම්බන්ධතාවක්, තරගකාරිත්වයක් හා ප්‍රතිඵලයක් පිළිගන්වමින්. නව ත්‍රිත්ව-අදියර ක්‍රමවේදයකින් පැවැත්වෙන තරගාවලිය මගින් තරගකාරිත්වයෙන් වැඩි ක්‍රිකට් ක්‍රීඩාවක් ප්‍රදර්ශනය වෙමින් ක්‍රීඩා ලෝලී අත්දැකීම උසස් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙහිදී පැවැත්වෙන සුපර් තරගමාලාවේදී අංක 12 සිට 14 දක්වා ශ්‍රේණිගත කණ්ඩායම් තුන ‘රවුන්ඩ්-රොබින්’ ක්‍රමයට ක්‍රීඩා කරමින් ජයග්‍රාහී කණ්ඩායම ඊළඟ අදියරට පිවිසෙනවා. එහිදී තරග 30කින් සමන්විත වටයට කණ්ඩායම් 12ක් සහභාගි වන්නේ කණ්ඩායම් හය බැගින් වන කොටස් දෙකකට බෙදී ‘රවුන්ඩ්-රොබින්’ ක්‍රමවේදයෙන් තරග වදිමින්.
ඒ ඒ කොටස්වල ඉහළම කණ්ඩායම් තුන කොටස් දෙකේම ඊළඟට හොඳම කණ්ඩායම සමග ‘සුපර් 7’ අදියරට පිවිසෙනවා. එම අදියරට ‘රවුන්ඩ්-රොබින්’ තරග 21ක් ඇතුළත් වන අතර මෙයින් ඉහළටම පැමිණෙන කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




