හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගේ පුත් රමිත් රඹුක්වැල්ල ජූනි මස 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී නියෝග කළාය.
අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුගෙන් අද (21) ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් කොමිසමින් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුත්‍රයා බවත්, ඔහු හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය.
මෙම සැකකරු විසින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා පුද්ගලයින් 15 දෙනකු නම් කරමින් ඔවුන්ව පත් කරන ලෙස සිය අත්සනින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලැයිස්තුවක් යොමු කර තිබූ බව නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. එම පුද්ගලයින් 15 දෙනා කිසිදිනක අමාත්‍යාංශයේ සේවය කර නොමැති අතර, ඔවුන් එම තනතුරු සඳහා පත්කර තිබෙන්නේ නාමිකව බවත් ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාලා දීමනා සියල්ල පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවක ගිණුමකට බැරකර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද එම නිලධාරීන් පැවසීය.
පසුව එම මුදල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දේශපාලන ආධාරකරුවන්ට හා හිතවතුන්ට ලබා දී ඇති අතර, අමාත්‍යවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහාද යොදාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනවරණය වී තිබේ.
එසේ නාමිකව පත් කරන ලද පුද්ගලයින්ගේ දීමනා සියල්ල අනුමත කර තිබෙන්නේ මෙම සැකකරු විසින් බවත් මේ හරහා රජයට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 80කට අධික බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකිරීම සඳහා මෙම සැකකරු ඇතුළු සෙසු පිරිස එක්ව සංවිධානාත්මකව ක්‍රියාත්මක වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බැවින් මෙම සැකකරු ලබන 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ සඳහන් කළේ, අල්ලස් කොමිසම එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. අල්ලස් කොමිසම පවසන ආකාරයට මෙම සිද්ධිය හරහා කිසිදු මුදලක් තම දායකයාගේ ගිණුමට බැරවී නොමැති බවත් ඔහු කටයුතු කර තිබෙන්නේ පවතින නීතිමය තත්ත්වයන්ට අනුකූලව බවත් නීතිඥවරයා පවසා සිටියේය.
ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
| adaderana.lk



