*ICC පූර්ණ සාමාජික රටක් වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙයි
ඉන්දියාවේ වයිභාව් සූර්යවන්ශිගේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර ක්‍රිකට් විනාශකාරී පිතිකරණය ඔහුගේ සිවු වැනි තරගයේදී ආරම්භ වුනේ නව ලෝක වාර්තා දෙකක් ද බිහිවෙමින්.
එංගලන්තය ට එරෙහිව ලකුණු 14, 13 හා 15කින් යුත් ඉනිම තුනකින් පසුව සිම්බාබ්වේ ට එරෙහිව සාර්ථක වීමට මේ ළාබාල ප්‍රවේගකාරී පිතිකරුවා වැඩි වේලාවක් ගත්තේ නැහැ. සිම්බාබ්වේ කණ්ඩායමේ ළාමක මට්ටමේ පන්දු ප්‍රහාරයකින් සම්පූර්ණයෙන් ප්‍රයෝජන ගත් සූර්යවන්ශි හතරේ සහ හයේ පහර හතර බැගින් එල්ල කරමින් පන්දු 18කින් අර්ධ ශතකයක් ලබා ගත්තා. ඒ කඩඉමට පිවිස ඊළඟ පන්දුවෙන් ම ඔහු දැවී ගියා.

සූර්යවන්ශි මෙසේ ශිල්ප දැක්වූයේ ඉන්දියාව හා සිම්බාබ්වේ අතර පැවති තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවේ පළමු තරගයේ.

අර්ධ ශතකය ලබා ගැනීමේදී ඔහු 1989 වසරේ සචින් ටෙන්ඩුල්කාර් පිහිටුවා තිබූ වාර්තාවක් ඇතුළුව ලෝක වාර්තා දෙකක් බිඳ දැමුවා.
ජූලි 23 වනදා (ඊයේ) වන විට සූර්යවන්ශිගේ වයස අවුරුදු 15ක් හා දවස් 118ක්. මේ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් අතර තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී මංගල අර්ධ ශතකයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වනවා. මීට අමතරව, ජාත්‍යන්තර T20 අර්ධ ශතකයක් ලබා ගන්නා විට අඩුම වයසේ සිටි ක්‍රීඩකයා වශයෙන් ද ඔහු වාර්තා පොතට ඇතුළත්ව සිටිනවා.
සූර්යවන්ශිගේ ලෝක වාර්තා දෙක:
ජාත්‍යන්තර T20 අර්ධ ශතකයක් ලබා ගන්නා විට අඩුම වයසේ සිටි ක්‍රීඩකයෝ
*අවුරුදු 15, දවස් 118 - වයිභාව් සූර්යවන්ශි (ඉන්දියාව) 2026දී සිම්බාබ්වේ ට එරෙහිව
*අවුරුදු 16, දවස් 56 - ලුවිස් බෲස් (ජිබ්රාල්ටාව) 2021දී මෝල්ටාව ට එරෙහිව
*අවුරුදු 16, දවස් 76 - කවින් චඩ්ඩා (ඉන්දුනීසියාව) 2026දී ස්වීඩනය ට එරෙහිව
*අවුරුදු 16, දවස් 89 - අලුසීන් ටුරේ (සියෙරා ලියෝන්) 2023දී ඝානාව ට එරෙහිව
*අවුරුදු 16, දවස් 118 - ටෙන්ජින් රාබ්ගේ (භූතානය) 2023දී චීනය ට එරෙහිව
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ (පූර්ණ සාමාජික රටවල්) මංගල අර්ධ ශතකයක් ලබා ගනිද්දී අඩුම වයසේ සිටි ක්‍රීඩකයෝ
*අවුරුදු 15, දවස් 118 - වයිභාව් සූර්යවන්ශි (ඉන්දියාව) 2026දී සිම්බාබ්වේ ට එරෙහිව (ජාත්‍යන්තර විස්සයි20)
*අවුරුදු 16, දවස් 213 - සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව) 1989දී පාකිස්තානය ට එරෙහිව (ටෙස්ට්)
*අවුරුදු 16, දවස් 214 - ෂහිඩ් අෆ්රිඩි (පාකිස්තානය) 1996දී ශ්‍රී ලංකාව ට එරෙහිව (ජාත්‍යන්තර එක්දින)
*අවුරුදු 17, දවස් 39 - මුෂ්ටාක් මොහමඩ් (පාකිස්තානය) 1960දී ඉන්දියාව ට එරෙහිව (ටෙස්ට්)
*අවුරුදු 17, දවස් 63 - මොහමඩ් අෂ්රෆුල් (බංග්ලාදේශය) 2001දී ශ්‍රී ලංකාව ට එරෙහිව (ටෙස්ට්)
කුෂල් මල්ලා
සමස්ත පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ (පූර්ණ සාමාජික හා අනුබද්ධිත කණ්ඩායම්) ලකුණු 50කට වැඩියෙන් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ද සූර්යවන්ශි. ඔහුට පෙර, වයස අවුරුදු 16 වීමට කලින් අර්ධ ශතකයක් ලබා ගත් අනෙක් එකම ක්‍රීඩකයා බවට පත්ව සිටියේ නේපාලයේ කුෂල් මල්ලා. ඔහු එම වික්‍රමය සටහන් කර තිබුණේ වයස අවුරුදු 15යි දවස් 340ක්ව සිටියදී අමෙරිකාව ට එරෙහිව 2020 වසරේ පැවති ජාත්‍යන්තර එක්දින තරගයේ.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




