BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
ක්‍රීඩා

FIFA සැලසුම් අනුමත වුවහොත් යුරෝපය ලෝක කුසලානය වර්ජනය කරයි: උතුරු හා මධ්‍යම ඇමෙරිකාවෙන් ද දැඩි විරෝධයක්!

T

The Leader Desk

August 1, 2026 • 8:02 AM

FIFA සැලසුම් අනුමත වුවහොත් යුරෝපය ලෝක කුසලානය වර්ජනය කරයි: උතුරු හා මධ්‍යම ඇමෙරිකාවෙන් ද දැඩි විරෝධයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ලෝක කුසලාන හිමිකම් පෞද්ගලික ආයෝජකයන්ට දීමේ ඉන්ෆැන්ටිනෝගේ යෝජනාවට එරෙහිව UEFA සහ CONCACAF එක පෙළට
  • මේ රටවල් ඉන්ෆන්ටීනෝ කෙරෙහි තබා ඇති විශ්වාසය නැතිවීගෙන යන බව ද පැවසෙනවා.
  • ඉන්ෆන්ටීනෝ‌ගේ යෝජනා තක්සේරු කිරීම පිණිස තමන්ගේ සභාපතිවරයා ලබන සතියේදී විධායක කමිටු රැස්වීමක් පවත්වන බව අප්‍රිකානු පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා.
  • ලෝක කුසලාන තරගාවලිය ආයෝජන නිෂ්පාදනයක් ලෙස සැලකිය නොහැකි බවට ඔවුන් ප්‍රකාශ කරනවා.  “එය පාපන්දුවේ ශ්‍රේෂ්ඨතම උරුමයන්ගෙන් එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):

*ඩොලර් මිලියන 40ක මූල්‍ය ඇමක් සහ ට්‍රම්ප්ගේ පවුලට සම්බන්ධ ආයෝජන සමාගම ගැන ක්‍රීඩා ලෝකයේ දැඩි ආන්දෝලනයක්

 

පාපන්දු ක්‍රීඩාවේ පාලක මණ්ඩලය වන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ලෝක කුසලාන තරගාවලියේ කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමේ සැලැස්මේ ඉදිරියට ගියහොත් ලෝක කුසලාන තරගාවලියන් වර්ජනය කිරීමට යුරෝපීය පාපන්දුවේ සාමාජික රටවල් 55 (UEFA) තීරණය කර තිබෙනවා. 

මේ වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දැක්වූ උතුරු හා මධ්‍යම අමෙරිකාවේ පාපන්දුව පාලනය කරන CONCACAF හි සාමාජික රටවල් 41 ද FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ මේ සැලැස්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ රටවල් ඉන්ෆන්ටීනෝ කෙරෙහි තබා ඇති විශ්වාසය නැතිවීගෙන යන බව ද පැවසෙනවා.

 

සැලසුම ප්‍රසිද්ධ වීමට පෙර තමන්ගෙන් විමසා බැලීමක් සිදු නොකිරීම පිළිබඳව ආසියානු පාපන්දු සම්මේලනය කලකිරීමට පත්ව සිටිනවා.


ඉන්ෆන්ටීනෝ‌ගේ යෝජනා තක්සේරු කිරීම පිණිස තමන්ගේ සභාපතිවරයා ලබන සතියේදී විධායක කමිටු රැස්වීමක් පවත්වන බව අප්‍රිකානු පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා.

 

හදිසි රැස්වීමක්

 

 

යුරෝපීය පාපන්දු සම්මේලනය විසින් කැඳවනු ලැබූ හදිසි රැස්වීමකදීයි ලෝක කුසලාන තරගාවලියන් වර්ජනය කිරීමේ තීරණය ගෙන තිබෙන්නේ. ලෝක කුසලාන තරගාවලිය ආයෝජන නිෂ්පාදනයක් ලෙස සැලකිය නොහැකි බවට ඔවුන් ප්‍රකාශ කරනවා. 

“එය පාපන්දුවේ ශ්‍රේෂ්ඨතම උරුමයන්ගෙන් එකක්. එය ගොඩනැගුනේ සෑම මහාද්වීපයක් හරහා සිටින පරම්පරා ගණනාවක ක්‍රීඩකයින්, ජාතික කණ්ඩායම් හා ක්‍රීඩා ලෝලීන්ගෙන්. එහි කිසිම කොටසක් කිසිවිටෙකත් පෞද්ගලික ආයෝජකයින්ට යටත් නොවිය යුතුයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තිබෙන්නේ විකිණීමට නෙවෙයි” UEFA නිවේදනයක් නිකුත් කරමින් තරයේ කියා තිබෙනවා.

 

යුරෝපීය පාපන්දු සම්මේලනයේ වර්ජනයකට පිරිමි හා කාන්තා ලෝක කුසලානයන් සහ පාපන්දු සමාජ ලෝක කුසලානය ඇතුළු සියලුම FIFA තරගාවලියන් ආවරණය වන අතර සාමාජික රටවල සංගම් ඉන්ෆන්ටීනෝගේ යෝජනාවට ඡන්දය දුන්නොත් යුරෝපීය වර්ජනය දියත් වීමට ඉඩ තිබෙනවා.

 

ඔවුන් දරන මේ මතය පරීක්ෂා කෙරෙන පළමු අවස්ථාව වනු ඇත්තේ ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලානයේ තීරණාත්මක තරගාවලිය.

 

එංගලන්ත පාපන්දු සම්මේලනයේ සභාපතිනි ඩෙබී හෙවිට් FIFA උපසභාපතිවරු අට දෙනාගෙන් කෙනෙකුව සිටියදීත්, ඉන්ෆන්ටීනෝ ඔහුගේ මේ යෝජනා සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා පිළිබඳව කිසිවක් ඇය දැන සිට නැහැ.

 

ඉන්ෆන්ටීනෝගේ සැලසුම FIFA හි සාමාජිකයින් 211 දෙනාගේ ඡන්ද විමසීමකින් අනුමත විය යුතුව තිබෙනවා.

 

සැලසුම සම්මත කර ගැනීමට නම් ඉන්ෆන්ටීනෝ ට ඡන්ද 106ක් අවශ්‍ය වනවා. UEFA සහ CONCACAF සාමාජිකයින්‌ගේ එකතුවෙන් ජාතික සංගම් 96ක් තිබෙන අතර ඔවුන් සැලසුමට එරෙහිව ඡන්දය දීමට සූදානමින් සිටිනවා.

 5c41fa11 7b39 4883 a4c5 a225f9981efa

තමාගේ මතභේදාත්මක යෝජනාවට එකඟ වන්නේ නම් ඩොලර් මිලියන 40ක් ලැබෙනු ඇති බවට ඉන්ෆන්ටීනෝ FIFA සාමාජිකයින්ට ලියා තිබෙනවා. ඩොලර් මිලියන 20ක මූලික මුදලක් ලබා ගැනීමට අවශ්‍ය නම් සැප්තැම්බර් 19 වැනිදාට පෙර තමන්ගේ සැලසුම් පිළිගන්නා ලෙසට ඉන්ෆන්ටීනෝ සාමාජික සම්මේලනවලට දන්වා තිබෙනවා. තමාගේ සැලසුම් යෝජනාවක් මිස යුතුකමක් නොවන බව ඔහු කියනවා.

 

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදිසි හස්තය

 

 

එය අනුමත වුවහොත්, FIFA Forward Enterprise (FFE) ආයතනය වෙනුවෙන් යෝජිත ආයෝජක සමූහයට Thrive Eternal මූලිකත්වය දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්ෆන්ටීනෝ පවසනවා.

 joshua kushner

 

Thrive යනු අමෙරිකානු මූල්‍ය ව්‍යාපාරයක්. එහි නිර්මාතෘවරයා වන්නේ Joshua Kushner. ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන Jared ගේ සොහොයුරා යි.

 

ඉන්ෆන්ටීනෝගේ යෝජනා ගැන මේ මොහොතේ කීමට කිසිම දෙයක් නැතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.

 

මේ සිද්ධියේදී තමන්ගේ සාමාජිකයන් 55 දෙනාම එකා මෙන් නැගී සිටින බව පවසන UEFA, ලෝක කුසලානයේ හා අනෙකුත් FIFA තරගාවලියන් හි අයිතීන් පෞද්ගලික ආයෝජකයින්ට ලබා දීමේ FIFA යෝජනාව ඒකමතිකව හා නිසැකව ප්‍රතික්ෂේප කරන බව කියා සිටිනවා.

 

මෙවැනි වැදගත්කමක් ඇති යෝජනාවක් රහසේ සැලසුම් කිරීම වගකීමෙන් තොර හා සාධාරණය කළ නොහැකි ක්‍රියාවක් බව කියන යුරෝපීය පාපන්දු සංගම් සමේලනය, FIFA සභාපතිවරයා ඔහුට සහ ඔහුගේ මිතුරන්ට පොහොසත් වීම පිණිස පාපන්දුව යොදාගෙන තිබෙන බවට චෝදනා කරනවා.

 

UEFA ට තිබෙන්නේ FIFA ‌සාමාජිකත්වයෙන් හතරෙන් එකක් පමණක් වූව ද, එයට ලෝකයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම්වලින් වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙනවා.

 55b5d86a 0fc5 4e2c 9a85 ca856333772d

2026 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී ස්පාඤ්ඤය ද ඇතුළු අර්ධ අවසන් පූර්ව කණ්ඩායම් අටෙන් හයක් ම යුරෝපීය කණ්ඩායම් වී තිබුණා. 2022 හා 2018 තරගාවලියන් හිදී එම සංඛ්‍යාව පිළිවෙලින් පහක් සහ හයක් වී තිබුණා.

 

මේ දක්වා පවත්වා තිබෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් 23න් 13ක් ම ජයග්‍රහණය කර තිබෙන්නේ යුරෝපීය රටවල්. අනෙක් 10 දකුණු අමෙරිකානු රටවල් විසින් දිනාගෙන තිබෙනවා.

 

එංගලන්ත අගමැති ඇන්ඩි බර්නම් ද ඉන්ෆන්ටීනෝගේ සැලසුම් විවේචනය කර තිබෙන්නේ, මේ අදහස සමග ඉදිරියට යාමෙන් අවබෝධ වන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විකුණා තිබෙන බව යැයි ප්‍රකාශ කරමින්.

 

ඉතිහාසයේ වඩාත්ම ලාභදායක ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එයට පෞද්ගලික ආයෝජනයක ඇති අවශ්‍යතාව පිළිබඳව CONCACAF ප්‍රශ්න කරනවා.

 

 warnan Gunasekara

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...