FFE ව්‍යාපෘතිය අකුලා ගත්තත් FIFA තුළ දැඩි අර්බුදයක්: ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් තවමත් සභාපතිවරයාගේ පිලේ.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කොටස් පෞද්ගලික ආයෝජකයන්ට ලබා දීමට උත්සාහ කළ ජියානි ඉන්ෆන්ටීනෝ සභාපතිවරයාට එරෙහි වූවන් දඩයම් කිරීම ආරම්භ කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන කෙවින් ලෙමර් (Kevin Lamour) රැකියාවෙන් නෙරපා දැමීමත් සමග ඉන්ෆන්ටීනෝ ට එරෙහි විරෝධතාව උත්සන්න වී තිබෙනවා.
ලෝක පාපන්දුව පාලනය කරන ලොකු පුටුවේ වෙනසක් සොයන සියලු දෙනාට මේ ක්‍රියාව ඉතාමත් හිරිහැරදායක පණිවුඩයක් ගෙන එන බවට යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලයේ උපසභාපතිනි ලෝරා මැක්ඇලිස්ටර් (Laura McAllister) අනතුරු අඟවනවා. හිටපු වේල්ස නායිකාවක වන ඇය, ලෙමර් යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් ලෙස සිටියදී ඔහු සමග එකට වැඩකර තිබෙනවා.
ලෙමර්ගේ විරෝධය සහ සේවයෙන් පහකිරීමේ තීරණය
ලෙමර් සේවයෙන් පහකිරීම මගින් FIFA “බිය ගන්වමින් කළමනාකරණය කිරීම” ප්‍රදර්ශනය කර තිබෙන බවට නෝවේජියානු පාපන්දු ප්‍රධානී ලීස ක්ලෝවිනස් (Lise Klaveness) විශ්වාස කරනවා.
ලෙමර් සේවයෙන් ඉවත් කර තිබෙන්නේ ඔහු ඉන්ෆන්ටීනෝගේ ලෝක කුසලාන පෞද්ගලීකරණ සැලැස්ම ප්‍රබල අයුරින් විවේචනය කර දින 17කට පසුව. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් FIFA ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ “FIFA සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් ලෙමර් අතර කාර්ය සබඳතාව 2026 අගෝස්තු 17 අවසන් වුණා” යනුවෙන් පමණයි.
ඉන්ෆන්ටීනෝ විසින් ගෙන ආ මතභේදාත්මක සැලැස්ම “එක් පුද්ගලයෙකුගේ ව්‍යාපෘතියක්” බව පසුගිය මාසයේ විස්තර කළ ලෙමර්, “පාපන්දු දේශපාලන නායකයින් තම තමන්ගෙන් නිවැරදි ප්‍රශ්න අසා ගනිමින් නිවැරදි තීරණ ගැනීමේ කාලය එළඹ තියෙනවා” යැයි කියා සිටියා.
ලෝක කුසලාන පෞද්ගලීකරණ සැලැස්ම (FFE) සහ වර්ජන තර්ජනය
දැන් හකුළා ගෙන ඇති එම ව්‍යාපෘතිය මගින් FIFA ඔවුන්ගේ ම පරිපාලනය රවටා තිබූ බවට ඔහු පවසා තිබුණා. “අපේ මෙහෙවර - ක්‍රීඩාවට ආදරය කරන, කැපවුණු හා ආදර්ශවත් සිය ගණන් FIFA සේවකයින්ගේ මෙහෙවර වී තිබෙන්නේ පාපන්දුවට සේවය කිරීමයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.
“සභාපතිවරයෙක් ජනතාව එකට එකතු කළ යුතුයි. එක්සත් කර ඔවුන් ප්‍රබෝධමත් කළ යුතුයි. නමුත් අද, අපි දකිමින් සිටින්නේ එහි විරුද්ධ පැත්තයි.”
“මෙයින් කියන්නේ මට මගේ රස්සාව නැතිවෙනවා කියලා නම්, ඒක එහෙම වුනාවේ. මම ඒක වටහාගෙන ඒ තීරණයට ගරු කරනවා. අඩුම තරමෙන් අද රෑට මට හොඳින් නින්ද යාවි.”
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) නියෝජ්‍ය මහලේකම්වරයාව සිටීමෙන් පසුව 2024 නොවැම්බරයේදී FIFA සමග එක්වූ ලෙමර් සිටියේ එහි කළමනාකාරිත්වයේ ඉන්ෆන්ටීනෝ ට වඩා ස්තර දෙකක් පහළින්.
මේ මස මුලදී ඉන්ෆන්ටීනෝ ට මොරොක්කෝවේ පැවති රැස්වීමකදී ජ්‍යෙෂ්ඨ විධායකවරුන්ගේ සහයෝගය ලැබුනත් එම රැස්වීම සඳහා ලෙමර් ට ආරාධනා කර තිබුණේ නැහැ.
ලෝක කුසලානය ඇතුළු FIFA තරගාවලියන් හි වාණිජමය හා ප්‍රවේශ පත් අයිතීන් කළමනාකරණය කිරීම පිණිස FFE නමින් නව කොම්පැනියක් නිර්මාණය කිරීමේ යෝජනාවෙන් පසුව ඉන්ෆන්ටීනෝ ට සභාපති තනතුරෙන් ඉවත් වන ලෙසට නැගෙන හඬ වැඩිවෙමින් තිබෙනවා.
ඉන්ෆන්ටීනෝ වටා ගොඩනැගෙන සහයෝගය සහ බෙදී ගිය ආසියාව
UEFA සහ උතුරු හා මධ්‍යම අමෙරිකාවේ පාපන්දුව පාලනය කරන CONCACAF ද, ආසියානු පාපන්දු සම්මේලනය (AFC) ද, ප්‍රසිද්ධියේ ම එම සැලසුමට විරුධත්වය ප්‍රකාශ කර සිටි අතර එම සැලැස්මේ ඉදිරියට ගියහොත් තමන් ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවට UEFA දන්වා සිටියා.
ලෙමර්, ඉන්ෆන්ටීනෝව විවේචනය කරද්දී ඉන්ෆන්ටීනෝගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකුව සිටි කාලොස් කොඩෙරෝ (Carlos Cordeiro) ඉල්ලා අස්වුණා.
යෝජනාව කුණු බක්කියට විසිවීමෙන් පසුව UEFA සහ CONCACAF, ඉන්ෆන්ටීනෝ ලබන වසරේ මාර්තුවේ පැවැත්වෙන FIFA කොංග්‍රසයේ සිවු වැනි වරටත් සභාපති තනතුරට ඉදිරිපත් වෙද්දී ඔහුට ලබා දෙන සහයෝගය ඉල්ලා අස්කර ගත්තා.
කෙසේ වෙතත්, ඉන්ෆන්ටීනෝ පලවා හැරීම සඳහා යුරෝපය එකමුතු වෙමින් සිටියදී 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එක් සත්කාරක රටක් වූ මෙක්සිකෝව ඇතුළු CONCACAF සාමාජිකයින් කිහිප දෙනෙක් ඔවුන්ගේ සම්මේලනයේ තීරණයට එරෙහිව ක්‍රියා කරමින් තමන්ගේ සහයෝගය ඉන්ෆන්ටීනෝට ලබා දෙන බවට කියා තිබෙනවා. අප්‍රිකාව, දකුණු අමෙරිකාව හා ඔ්ෂනියා සම්මේලන ද ඔහුගේ සහායට ඉදිරිපත්ව සිටිනවා.
ඉන්ෆන්ටීනෝ වටා ගොඩනැගෙන සහයෝගය සහ බෙදී ගිය ආසියාව
කිසිම පූර්ව සාකච්ඡාවක් නොපැවැත්වීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කරන කටාර් පාපන්දුවේ සභාපති හමාඩ් බින් ඛලීෆා අල්-තානි, ආසියානු පාපන්දු සම්මේලනය කටාර් ඇතුළු ඔවුන්ගේ සාමාජික සංගම් 47 වෙනුවෙන් කතා කළේ මොන පදනමක් යටතේදැයි පැහැදිලි කරන ලෙසට ඉල්ලා තිබෙනවා.
ඉන්ෆන්ටීනෝ ට සහයෝගය දැක්වීමේදී කටාර් දේශය AFC සාමාජිකයින් අතරෙහි තනි වී නැහැ. කුවේටය, ලෙබනනය, පිලිපීනය හා ශ්‍රී ලංකාව ද ස්විස් ජාතික සභාපතිවරයාට ප්‍රසිද්ධියේ සහාය දක්වා තිබෙනවා.
ඊශ්‍රායලය - සහයෝගයෙන් ඉවත් වූ අලුත්ම රට
FIFA ව්‍යවස්ථාව යටතේ අවසර ලැබෙන උපරිම වාර තුන ඉන්ෆන්ටීනෝ දැනටමත් සේවය කර ඇති බැවින් සභාපති වශයෙන් තවත් ධූර කාලයක් ඉල්ලා සිටීම සඳහා ඔහුට සුදුසුකමක් නැති බවට නියම කරන ලෙසට මානව අයිතීන් සංවිධානයක් වන FairSquare ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට තරයේ දන්වා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




