*ලෝක කුසලාන අයිතීන් පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමේ සැලැස්මට එංගලන්ත පාපන්දු සංගමය ඇතුළු පාලක මණ්ඩලවලින් දැඩි විරෝධයක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පෞද්ගලික අංශයට විකිණීමේ තම සැලැස්මට එකඟ වන්නේ නම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සාමාජික රටවලට ඩොලර් මිලියන 40 (පවුම් මිලියන 30.1) බැගින් ලබා දෙන බවට සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ දන්වා තිබෙනවා.

FIFA Forward Enterprise නමැති ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහෝදර ආයතනයක් හරහා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ලොකු කුට්ටි මිලදී ගැනීම සඳහා පෞද්ගලික ආයෝජකයන්ට ඉඩ ලබා දීමේ FIFA ප්‍රධානියාගේ අපේක්ෂාවන් අඟහරුවාදා අනාවරණය වීමෙන් පසුව පාපන්දු ලෝකයේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.
මේ යෝජනාවට අනුව තමන්ට හිමි සැලකිය යුතු ප්‍රමාණයේ මුදල ලබා ගැනීමට නම් දින 53ක් ඇතුළත මේ සැලැස්මට අත්සන් කළ යුතු බවට FIFA සෑදී තිබෙන ජාතික පාපන්දු සංගම් 211ට ඉන්ෆන්ටීනෝ කියා ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.
පාපන්දුවේ ප්‍රධානතම තරගාවලියේ අයිතීන් මිලදී ගැනීම පිණිස පෞද්ගලික ආයෝජනයට ඉඩ දීමෙන් සාමාජික සංගම්වලට ලැබෙන මුදල්මය දීමනා පිළිබඳව හෙළිදරව් වී තිබෙන්නේ රහසේ පිටව තිබෙන ලිපියකින්.
මේ සන්නිවේදනයේ කොටසක් වශයෙන් ඉන්ෆන්ටීනෝ සාමාජිකයන්ට පවසා තිබෙන්නේ ඔවුන් තමාගේ සැලැස්මට අත්සන් කළහොත් ඔවුන්ට ඩොලර් බිලියන 10ක (පවුම් බිලියන 7.5) නව සංවර්ධන අරමුදල යටතේ මේ මුදල් ලබා ගැනීමට අවස්ථාව තිබෙන බවයි. ඔවුන් අත්සන් නොකළහොත් ඔවුන්ට පිළිගන්වා තිබෙන ඩොලර් මිලියන 40 බැගින් වන මුදල ඩොලර් මිලියන 10 (පවුම් මිලියන 7.5) දක්වා අඩුවනවා. ඒ පැකේජයේ වටිනාකම ඩොලර් බිලියන 2.7ක් (පවුම් බිලියන2) පමණයි.
එම ලිපියෙන් මෙසේ කියා තිබෙනවා: “මේ යෝජනාව සමග ඉදිරියට යනවාද නැද්ද යන තීරණය සම්පූර්ණයෙන්ම තිබෙන්නේ ඔබ සතුවයි.”
“මේ ඩොලර් බිලියන 10 පැකේජය සමග ඉදිරියට යන්න ඔබ කැමති නම් මෙය 2027 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.”
“අප එක්ව යන ගමනේ මේ ඊළඟ අදියරට අකමැති වෙමින් පවතින තත්ත්වයේම සිට මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, අපට තවමත් අපි කලින් සැලසුම් කළ ඩොලර් බිලියන 2.7ක සංවර්ධන මුදලේ වැඩසටහන තියෙනවා.”
“සමස්තයක් ලෙස 2027 ජනවාරි 1 වැනිදා ඇරඹෙන චක්‍රයේදී සෑම සාමාජික සංගමයකටම මේ යෝජනාව යටතේ ඩොලර් මිලියන 40ක් දක්වා පිවිසීමේ හැකියාවක් තිබෙනවා.”
joshua kushner
අඟහරුවාදා අනාවරණය කරන ලද මේ යෝජනාවන්ට අනුව ලෝක කුසලාන තරගාවලියන් අධීක්ෂණය කිරීම පිණිස නව සහෝදර ආයතනයක් ස්ථාපනය කෙරෙනු ඇති අතර එමගින් පෞද්ගලික ආයෝජකයින්ට කොටස් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. පිරිමි හා කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියන් හා අන්තර් සමාජ ලෝක කුසලාන තරගාවලියන් පාලනය කරනු ඇති මේ Fifa Forward Enterprise ආයතනයේ එක් ආයෝජකයෙකු වන්නේ Joshua Kushner. ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන Jared Kushner ගේ බාල සොහොයුරෙක්.
මේ ආයතනයේ කොටස් වැඩි ප්‍රමාණය FIFA සතු වූවත් ආයෝජකයින්ට සියයට 20 සිට 30 දක්වා කොටස් මිලදී ගත හැකිවන අතර ඒවායේ වටිනාකම ඩොලර් බිලියන ගණන් වීමට ඉඩ තිබෙනවා.
FIFA හි සාමාජික සංගම් 211 ට ද පවුම් මිලියන 15කට ආසන්න කොටස් අයිතියක් බැගින් ලැබෙනු ඇති අතර ඒවා තමන් සතුව තබා ගැනීමට හෝ අලෙවි කිරීමට ඔවුන්ට අවසර තිබෙනවා.
මේ යෝජනාව සම්මත වුවහොත් ඉන්ෆන්ටීනෝ ට ද සැලකිය යුතු මුදලක් බෝනස් වශයෙන් ලැබෙනවා. මීට අමතරව ඔහු 2031 වසරේ ඔහුගේ FIFA සභාපති ධූරයෙන් ඉවත් වීමෙන් පසුව නව ආයතනයේ ‘කොමසාරිස්’ තනතුරේ නියැලීමට පවා ඉඩ තිබෙනවා. එය ද, ඔහු වෙත තවත් මිලියන ගණනින් මුදල් ගලා එන තනතුරක්.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කොටස් විකිණීම සඳහා හදිසියේ ඉදිරිපත් කෙරුනු මේ සැලැස්මේ තිබෙන විනිවිදභාවයේ අඩුව පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් විශේෂයෙන් එංගලන්ත පාපන්දු සංගමය (FA) ඇතුළු පාලක මණ්ඩල කිහිපයක්ම ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




