BREAKING
Top Ad
විදේශ

ඉන්දීය අගමැති 'ත්‍රස්තවාදියෙක්' යැයි කියූ මාලදිවයින් ඇමතිවරුන්ගේ ධූර අත්හිටුවයි

T

The Leader

January 8, 2024 • 9:57 AM

ඉන්දීය අගමැති 'ත්‍රස්තවාදියෙක්' යැයි කියූ මාලදිවයින් ඇමතිවරුන්ගේ ධූර අත්හිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් අවමන්සහගත ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරුන්
  • අගමැති මෝදි විසින් තබන ලද සමාජ මාධ්‍ය සටහනකට මෙම නිලධාරීන් ප්‍රතිචාර දක්වා තිබුණේ, ඔහුව "කවටයෙක්", "ත්‍රස්තවාදියෙක්" සහ "ඊශ්‍රායලයේ රූකඩයක්" ලෙස හඳුන්වමිනි.
  • එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම ප්‍රකාශ පෞද්ගලික ඒවා වන අතර රජයේ මතය නියෝජනය නොකරන බව ය.
  • මාලදිවයින් රජයේ ප්‍රතිචාරය පැමිණියේ මෙම ප්‍රකාශ ඉන්දීය සමාජ මාධ්‍යවල කැළඹීමක් ඇති කිරීමෙන් පසුව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

තිදෙනෙකුගේ ධුර අත්හිටුවීමට මාලදිවයින් රජය පියවර ගෙන තිබේ.

අගමැති මෝදි විසින් තබන ලද සමාජ මාධ්‍ය සටහනකට මෙම නිලධාරීන් ප්‍රතිචාර දක්වා තිබුණේ, ඔහුව "කවටයෙක්", "ත්‍රස්තවාදියෙක්" සහ "ඊශ්‍රායලයේ රූකඩයක්" ලෙස හඳුන්වමිනි.

එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම ප්‍රකාශ පෞද්ගලික ඒවා වන අතර රජයේ මතය නියෝජනය නොකරන බව ය.

මාලදිවයින් රජයේ ප්‍රතිචාරය පැමිණියේ මෙම ප්‍රකාශ ඉන්දීය සමාජ මාධ්‍යවල කැළඹීමක් ඇති කිරීමෙන් පසුව ය.

"ප්‍රකාශවලට වගකිව යුතු සියලු ම රාජ්‍ය නිලධාරීන්ගේ තනතුරු වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත", ජනාධිපති මොහොමඩ් මුයිසුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසීය.


මුයිසු පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු 75ක් පමණ වන ඉන්දීය හමුදා භට පිරිසකට මාලදිවයිනෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීමත් සමග ඉන්දියාව සහ මාලදිවයින් රජය අතර දැනටමත් ආතතියමය තත්ත්වයක් නිර්මාණය වී තිබේ.


තාවකාලික ධුර අත්හිටුවන ලද අමාත්‍යවරුන් තිදෙනා වන්නේ. මල්ෂා ෂරීෆ්, මරියම් ෂිඋනා සහ අබ්දුල්ලා මහ්සූම් මජිඩ් ය.

ඔවුන් ධූරවලින් නෙරපා හරින ලෙසට දැඩි ලෙස ඉල්ලීම් යොමු වී තිබුණ ද, මාලදිවයින් මාධ්‍ය සඳහන් කළේ, එම නිලධාරීන් තිදෙනාගේ රාජකාරී තාවකාලිකව අත්හිටුවීම පමණක් සිදු කර ඇති බව ය.

ඉන්දීය දූපත් දාමයක් වන ලක්ෂද්වීප්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ඡායාරූප ඇතුළත් මෝදි විසින් තබන ලද X (මීට පෙර ටිව්ටර්) සටහනට ප්‍රතිචාර වශයෙන් ඔවුන් තිදෙනා මෙම මතභේදාත්මක අදහස් පළ කර තිබිණි.

ෂිඋනා ඉන්දියාව ගොම ගොඩක් සමග ද සංසන්දනය කර තිබිණි.

මෙය ඉන්දියානු සමාජ මාධ්‍යවල පරිශීලිකයින්ගේ කෝපයට තුඩු දුන් අතර #BoycottMaldives සහ #ExploreIndianIslands වැනි හැෂ්ටැග් ප්‍රසිද්ධියට පත් වීමට ද හේතු විය.

මාලදිවයින්හි නිවාඩු ගත කිරීමට ඇති සැලසුම් අවලංගු කරන බවට ඇතැමෙක් පැවසූහ. පසුගිය වසරේ මාලදිවයින් වෙත පැමිණි විශාලතම සංචාරක කණ්ඩායම අතර ඉන්දියානුවෝ ද වූහ. ඉන්දියානු ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවියක් වන EaseMyTripහි ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ, තම සමාගම මාලදිවයින් වෙත සිදු කෙරෙන සියලු ම ගුවන් ගමන් වෙන්කිරීම් අත්හිටුවා ඇති බව ය.

මාලදිවයින් දූපත් සමූහය රිදී පැහැති වෙරළ තීර, නිවාඩු නිකේතන සහ කොරල් දූපත් සඳහා ප්‍රසිද්ධ ය.

බොලිවුඩ් තරුවක් වන අක්ෂේ කුමාර් මෙන් ම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානුවන් මෙම ප්‍රකාශ පිළිබඳව තම කණගාටුව පළ කළහ.


මාලදිවයින්හි හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මෙම නිලධාරීන් තිදෙනා විසින් සිදු කරන ලද ප්‍රකාශ "ඉන්දියාවට එරෙහි වෛරී ප්‍රකාශ" ලෙස හඳුන්වමින් දැඩි ලෙස හෙළා දුටුවේ ය.


"ඉන්දියාව සැමවිට ම මාලදිවයින්හි හොඳ මිතුරෙකු වූ අතර, දෙරට අතර පැරණි මිත්‍රත්වයට අහිතකර ලෙස බලපෑ හැකි එවැනි නිර්දය ප්‍රකාශවලට අපි ඉඩ නොතැබිය යුතු ය", ඔහු Xහි පැවසීය.

තවත් හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂීඩ් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස භාෂාව [පෝස්ට්වල] භාවිත කිරීම "ඉතා අශෝභන" ලෙස හැඳින්වීය.

නැගුණු විරෝධයෙන් පසු මෙම මතභේදාත්මක පෝස්ට් මකා දමනු ලැබ ඇත.

මුයිසු සඳුදා සිට ඉන්දියාවේ ප්‍රතිවාදියා වන චීනයේ පස්දින රාජ්‍ය සංචාරයක නිරතවීමට පෙර මෙම මතභේදය හටගත්තේ ය.

මීට පෙර මාලදිවයින් නායකයින් තේරී පත්වීමෙන් පසු ප්‍රථම සංචාරය ඉන්දියාවේ සිදු කළ බැවින් මුයිසුගේ බීජිං සංචාරය ඉන්දියාවට කරන බරපතළ නින්දාවක් ලෙස සැලකේ.

ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන චීන ආධිපත්‍යයට සම වීමට උත්සහ දරන දිල්ලියට මෙය රාජ්‍ය තාන්ත්‍රික බාධාවක් ලෙස පෙනෙනු ඇත.

xgtgtrපසුගිය ඔක්තෝම්බර් මාසයේදී මුයිසු (මැද) ලද ජයග්‍රහණය ඉන්දියාවට පසුබෑමක් ලෙස සැලකේ

 

මුයිසුගේ බීජිං සංචාරය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පසුගිය සතියේ පැවසුවේ, "ඔවුන් යන්නේ කොතැනට ද සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සබඳතා පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන්න තීරණය කිරීම ඔවුන් සතුයි," යනුවෙනි.

මාලදිවයින් භූමියෙන් ඉන්දීය හමුදා ඉවත් කර ගැනීම පිළිබඳ නව තොරතුරක් නොමැති බව ද ඔහු පැවසීය. මාලදිවයින් රජය වෙත පරිත්‍යාග කළ සමුද්‍රීය ගලවා ගැනීමේ සහ අවේක්ෂණ ගුවන් යානා තුනක් නඩත්තු කිරීම සඳහා තම ආරක්ෂක නිලධාරීන් මාලදිවයින්හි රැඳී සිටින බව ඉන්දියාව පවසයි.

මෙම ඉන්දියන් සාගර දූපත් සමූහය දිගු කලක් පුරා ඉන්දියාවේ බලපෑමට යටත්ව පවතින අතර මුයිසු පසුවන්නේ එය වෙනස් කිරීමේ අවශ්‍යතාවෙනි.

දෙසැම්බරයේදී මාලදිවයින් රජය සඳහන් කළේ, මාලදිවයින් මුහුදු සීමාවේ ඇති මුහුදු පතුල සිතියම්ගත කිරීමේදී සහයෝගීව කටයුතු කිරීමට ඉන්දීය රජයට අවසර දුන් ද්විපාර්ශ්වික ගිවිසුම අවසන් කරන බව ය.

ලබන වසරේ ජූනි මාසයේදී අවසන් වීමට නියමිතව ඇති එම ගිවිසුම නැවත අලුත් නොකරන බව මාලදිවයින් රජයේ ප්‍රකාශකයෙකු පැවසීය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මැතිවරණයෙන් ජයග්‍රහණය කළ විගස ම, මුයිසු බීබීසීයට පැවසුවේ, 'පළමුව ඉන්දියාව' යන ප්‍රතිපත්තිය අනුගමනය කළ සෝලිගේ රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද සියලු ම ද්විපාර්ශ්වික ගිවිසුම් නැවත සමාලෝචනය කරන බව ය.


ඉන්දියාව සහ චීනය, උපායමාර්ගික වැදගත්කමක් සහිතව පිහිටා ඇති මෙම දූපත් සමූහයේ තම පය තැබීම සඳහා තරග කරමින් සිටියි.


(අන්බරසන් එතිරාජන්)
බීබීසී පුවත්, කොළඹ

(උපුටා ගැනීම - BBC සිංහල සේවය )

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...