අද පළ කෙරෙන්නේ: 2023 අප්‍රියල් 22වන දින ශක්තික සත්කුමාර සිය මුහුණු පොත් තබා තිබූ සටහනකින්

‘‘ඇයි ලොකයෙ හැම ආගමක්ම ස්ත්‍රීන් පල්ලෙහට දාලා තියෙන්නේ’’ යනුවෙන් විමසා තිබූ පැනය හා සබැඳි ලිපි පෙළෙහි තෙවන ලිපිය යි.

මෙම ලිපිය තුළින් සාකච්ඡා කෙරෙන්නේ ඔහු සඳහන් කර තිබූ චුල්ලපදුම ජාතකය සම්බන්ධයෙනි.

මෙම ජාතක කතාව බොහෝ සෙයින් ජනප්‍රිය ය. තොරණ, විරිඳු බණ, වෙසක් පහන් කුඩු යනාදියට මෙය පාදක කර ගෙන ඇති අතර වෙනත් බොහෝ තැන්හි ද මෙම ජාතක කතාව නිරන්තරයෙන් අසන්නට ලැබී තිබේ. එසේ වුව ද පළමුව ජාතක කතාව පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කළ යුතු ය.

 

කතා සාරාංශය

dfgdfgr

ජාතක කතාකරුවාට අනුව බෝධිසත්වයෝ එක් භවයක බාල සොයුරන් හයක් සහිත රජ පවුලක පළමු දරුවා ලෙස ඉපිද ඇත. ඔහුට නම් තබා ඇත්තේ චුල්ලපදුම යනුවෙනි. ඔහු ඇතුළු කුමාරවරු වයසින් මුහුකුරා යන විට ඔවුන් රාජ්‍ය උදුරාගනිතැයි පිය රජතුමාට සැකයක් ඉපිද, එය ඍජුවම පවසා නිසි කල එළඹි පසු පැමිණ රාජ්‍ය බාරගන්නැයි පවසා අයියා මලෝ සත් දෙනා ම ඔවුනොවුන්ගේ බිරින්දෑවරු සමග ම වෙනත් දේශයකට පිටුවහල් කර ඇත.

මෙසේ යන අතරමග දී කිසිදු ආහාරයක් සපයාගත නොහැකි වූ බැවින් පිළිවෙළින් බාල සොයුරාගේ බිරිඳගේ සිට ඉහළට සිය බිරින්දැවරු මරා පළහා මස් අනුභව කර කුසගිනි නිවාගෙන ඇත. සත්වන දවස එළඹෙන විට බෝධිසත්යන් වන චුල්ලපදුම කුමරාගේ බිරිඳට එම ඉරණම අත්වන්නට තිබිණ. එහෙත් මෙය කල් තියා ම දැන සිටි චුල්ලපදුම තමන්ට සහ බිරිඳට ලැබුණු මස් කොටස් දෙකෙන් එකක් පමණක් අනුභව කර ඉතිරි කොටස සඟවා තබාගෙන ඇත.

 

නිසි දිනයේ දී බාල සොයුරන් හය දෙනා එකතුව චුල්ලපදුමගේ බිරිඳ මරන්නට සුදානම් වන මොහොතේ අද දිනට අපි සියලු දෙනාට ම මස් තිබෙන බැවින් ඇය හෙට දිනයේ මරමු යැයි යෝජනා කර ඉතිරි කරගෙන තිබූ මස් සොයුරන්ට දී ඇත. එහෙත් ගිවිසගෙන ඇති පරිදි හෙට දිනයේ චුල්ලපදුමගේ බිරිඳ ඝාතනය කළ යුතු ය. එබැවින් චුල්ලපදුම එදින රාත්‍රියේ සිය බිරිඳ ද රැගෙන සොයුරන් තනිකර දමා පලා යන්නේ ය. ඒ යන ගමනේ දි සිය බිරිඳට ඇවිදින්නට අපහසු යැයි පැවසු විට ඇය කර තබාගෙන ගිය බව ද ජාතක කතාකරුවා පවසයි. එය සැමියකුගේ යුතුකමක් මිස විශේෂ කරුණක් නොවේ.

 

මේ යන අතර මගදි දැඩි හිරු රශ්මිය හේතුවෙන් චුල්ලපදුමගේ බිරිඳට දිය පිපාසයක් හට ගෙන ඇත. ඒ ස්ථානයේ දිය නොමැති බැවින් පසුව හමුවු තැනකින් බොමු යැයි පැවසුව ද බිරිඳ එයට සවන් නොදෙන බැවින් චුල්ලපදුම තම උරිස පළා ඔහුගේ රුධිරය බිරිඳට දී ඇගේ පිපාසය සංසිඳුවා ඇත.

පසුව ගඟක් අසබඩට පැමිණ දිය බී පිපාසය සංසිදුවාගෙන ඒ අසල ම වනයේ පන්සලක් ඉදිකරගෙන පැවිදි දිවියක් අරඹා ඇත.

 

මෙසේ ජීවත්වන අතර දිනක්: රාජ දණ්ඩණයට ලක්වීම හේතුවෙන් දැත්, දෙපා, කන්, නාසා යනාදිය කපා දැමුණු මිනිසෙකු ඔරුවක පාවෙමින් තම ජීවිතය බේරාගන්නැයි විලාප දෙමින් සිටිය දී චුල්ලපදුමට හමුවී තිබේ. චුල්ලපදුම ඔහු ගොඩට ගෙන තමන් වසන ස්ථානයට රැගෙන ගොස් තුවාල සුවපත් කර එහිම වසන්නට ඉඩ සලසා ඇත.

 

එම අත් පා අහිමි පුද්ගලයා පැමිණි මුල් කාලයේ චුල්ලපදුමගේ බිරිඳ ඔහු පිළිකුල් කළ ද කාලයාගේ ඇවෑමෙන් අත පය අහිමි පුද්ගලයා සහ චුල්ලපදුමගේ බිරිඳ අතර පෙම් සබඳතාවක් ඇරඹී චුල්ලපදුම ආහාර සපයාගෙන එන්නට කැලයට යන ඇසිල්ලේ ඔහුගේ බිරිඳ සහ අතපය අහිමි පුද්ගලයා රිසිසේ කම් සැප විඳ ඇත.

cxfgdst

කලක් ගතවන විට චුල්ලපදුමගේ බිරිඳ සහ අතපය අහිමි පුද්ගලයා කතිකා කරගෙන චුල්ලපදුම ඝාතනය කරන්නට සැලසුම් කර ඇත. ඒ අනුව චුල්ලපදුම රවටා ගලක් මුඳුනට රැගෙන ගිය බිරිඳ ඔහු ගලෙන් පහළට තල්ලු කර ඇත. නමුදු ගලෙන් පහලට වැටෙන අතර චුල්ලපදුම ගසක රැඳි තිබේ. එහෙත් ගස විශාල හෙයින් ඉන් බැසගත නොහි සිටින විට එහි සිටි විශාල ගොයෙකු (‘ගොයා’ යන්නට විවිධ අරුත් තිබුණ ද මෙහි ‘ගොයා’ යනු තලගොයෙකු බව පැහැදිලි ය) චුල්ලපදුම ගසෙන් බිමට බස්සවා ඇත. ඉක්බිත් චුල්ලපදුම යළි සිය ගම් පෙදෙසට පැමිණ ඇත. ඒ වන විට සිය පියා මිය ගොස් සිටි බැවින් ඔහු එරටේ රජු බවට පත්ව ඇත; රජු බවට පත් හෙතෙම දන් පින් කරමින් රට පාලනය කර ඇත.

මේ අතර දිනක් අතපය අහිමි මිනිසකු සහිත පැසක් හිස තබාගෙන සිඟමන් යදින ගැහැනියක් මෙම නුවරට පැමිණ ඇත. මේ ආකාරයට අත පය නැති මිනිසෙකු හිස මත තබාගෙන සිඟමන් යදින්නේ මන්දැයි නුවර වැසියන් මෙම කාන්තාවගෙන් විමසන විට ඇය පවසා ඇත්තේ ඒ ආකාරයට හිස මත තබාගෙන යන්නේ ඇගේ නැන්දම්මාගේ පුතණුවන් බවයි; දැන් ඔහු ඇගේ ස්වාමිපුරුෂයා බව ද පවසා ඇත.

 

එබස් ඇසු නුවර වැසියෝ මෙම දෙපළට අධාර කරන අතර ම පවසා ඇත්තේ රජතුමා දන්සල් පවත්වන බැවින් එහි යන්නේ නම් සිඟමන් නොගොස් යැපිය හැකි බවයි. ඒ අනුව මෙම දෙපළ දන්සලට ගිය දිනයක දී රජු ද (චුල්ලපදුම) දන්සල පරික්ෂා කිරීමට පැමිණ ඇත. එහි දී අතපය අහිමි මිනිසා කර තබාගෙන යන්නේ පෙර සිය බිරිඳ බව හැඳින ඇගෙන් ප්‍රශ්න කර ඇත. එවිට ඇය බොරු කීව ද රජු ඇය පිළිබඳ සියල්ල පවසා එක පැහැර කිපී ඇගේ ද අත පය කපන්නැයි අණ කර යළි සන්සුන්ව එම දෙපළ එනුවරින් පිටුවහල් කරන්නැයි අණ කර ඇත.

 

ජාතක කතාව එතැනින් නිම ය.

 

බෝධිසත්වයෝ ආත්මාර්ථකාමි නොවන්නේ ද...?

මෙම කතාව කියවිමෙන් ඉක්බිති එක පැහැර සිතට නැගෙන්නේ බෝධිසත්ව බිරිඳ චපල ස්ත්‍රියක යන්න ය. එසේ වන්නට ඇත්තේ ඇයි ද යන්නට කිසිවකු නොසිතන බව සහතික ය. නමුදු කතාව තුළ ම ඊට හේතුවක් දක්වා ඇත එය පසෙක තිබිය දි මෙම කතාවේ එන බෝධසත්වයෝ පූර්ණ ශුද්ධවන්තයෙකු දැයි පළමුව විමසා බලමු.

 

මෙහි දී බෝධිසත්වයෝ ඉතා ආත්මාර්ථකාමි දිවියක් ගත කර ඇති බව පැහැදිලි ය. එනම් සිය සොයුරන්ගේ බිරින්දෑවරු සියලු දෙනාම ඝාතනය කර එම මස් අනුභව කරමින් යැපෙන තෙක් ඒ පිළිබඳව කිසිදු විරෝධයක් පා නොමැත. නමුදු කල් තියා ම තමන්ගේ බිරිඳ බේරාගැනීම සඳහා සැලසුම් කර ඇත. අවසන සොයුරන් අතැර ඇය සමග පලා යන්නේ ය. එය ආත්මාර්ථකාමි සිතුවිල්ලක් සහ ක්‍රියාවක් නොවන්නේ ද?

 

ඇතැම් විට මෙහි දී ජාතක කතාකරුවා උත්සාහ කරන්නට ඇත්තේ බෝධිසත්වයෝ සිය බිරිඳට බොහෝ සෙයින් ආදරය කර ඇති බව ප්‍රකට කරන්නට විය හැකි ය. එහෙත් ඒ ආදරය වෙනුවෙන් සිය සොයුරන් සය දෙනාගේ බිරින්දැවරුන්ගේ මස් අනුභව කර තමන් යැපීම කෙතරම් අසාධාරණ ක්‍රියාවක් ද යන්න ජාතක කතාකරුවා කල්පනා කර නැත.

බොහෝ ජාතක කතාවල එන පරිදි බෝධිසත්වයෝ යනු බොහෝ ඇසු පිරු තැන් සහිත පුද්ගලයෙකි. එසේ නම් සොයුරන්ගේ බිරින්දැවරු ඝාතනය කර, ඔවුන්ගේ මස් අනුභව කිරීම හැර අන් විකල්පයක් නොවේදැයි හෙතෙම කල්පනා නොකළේ මන් ද...? ඒ හුදු ආත්මාර්ථකාමය ම නොවේ ද...?

 

බෝදිසත්ව බිරිඳ කම්සැප සෙවූ හේතුව

cfghdfg

බෝධිසත්වයේ සිය බිරිඳ සමග වෙන්ව පැමිණ ගෙවා ඇත්තේ පැවිදි දිවියකි. ජාතක කතාකරුවා එය වඩාත් පැහැදිලි කරන්නේ මේ ආකාරයට ය.

 

‘‘....බිසවුන් ඇරගෙන ගඟක් සමීපයට පැමිණ ඒ ගඟින් පැන්බී නා සන්තර්පිතව වනයට වැද පන්සලක් කොටගෙණ පලාළුල කා පැවිදිව දවස් අරණාහ.’’

 

මෙහි දී ජාතක කතාකරුවා පවසන්නේ බෝධිසත්වයෝ සිය බිරිඳ සමග පැමිණ ‘පැළක්’ නොව ‘පන්සලක්’ තනවාගෙන ‘ගිහි දිවියක්’ගෙවූ බව නොවේ. ‘පන්සලක්’ තනාගෙන ‘පැවිදි දිවියක්’ ගත කර බවයි. එසේ නම් පැවිදි දිවියක් ගත කරන බෝධිසත්වයන් වෙතින් සිය බිරිඳට යුතුකම් ඉටුවන්නට ඇතැයි සිතිය හැකි ද? බෝධිසත්වයෝ ඇය සමග කාමභෝගයෙන් තොර දිවියක් ගත කරන්නට ඇතැයි අපට උපකල්පනය කළ නොහැකි ද...? එසේ සිය බිරිඳට කම්සැප අහිමි වූ කල ඇය වෙනත් පුරුෂයකු කෙරෙහි බැඳෙන්නට ඇතැයි උපකල්පනය කළ නොහැකි ද...? මන්ද බෝධිසත්වයෝ බුදු වන්නට පෙරුම් පුරන පුද්ගලයෙකු වුව ද සිය බිරිඳ එසේ නොවේ. ඇය ලෞකික දිවියක් ගෙවන්නියකි. ඇය ආශා ප්‍රහීණ කළ තැනැත්තියක නොවේ. එමෙන් ම අත පය අහිමි වුව ද එම පුද්ගලයාට කාන්තාවක පිනවන්නට නොහැකි බව ජාතක කතාවේ සඳහන් නොවේ; එනම් හෙතෙම නෂ්ටකාමයෙන් පෙළෙන්නේ යැයි ජාතක කතාකරුවා පවසා නැත. බෝධිසත්වයෝ කාම දිවිය පසෙක ලුව ද අනෙක් දෙපළ ම හුදු පාතග්ජනයෝ පමණි. එසේ නම් ඔවුන් සිය ශාරීරික අවශ්‍යතා සපුරාගැනීම වරදක් යැයි නිගමනය කළ හැකි ද...?

එහෙත් එම දෙපළ බෝධිසත්වයන් ඝාතනය කිරීමට සැලසම් කිරීම වැරැදි යැයි කිසිවකු තර්ක කළ හැකි ය. එහි දී ද පැවසිය යුත්තේ එම දෙපළ ම පෘතග්ජනයෝ වන බවයි. එම දෙපළ ම ආත්මාර්ථකාමිහු ය. බෝධිසත්වයෝ ද ආත්මාර්ථකාමි වූයේ නම් එම දෙපළ ආතාමාර්ථකාමි වීම අරුමයක් ද...?

 

‍ජාතක කතාකරුවා මේ සියලු කාරණා මගින් පසක් කරන්නට යත්න දරන්නේ කාන්තාව පමණක් වැරැදිකාරියක යැයි ස්ඵුට කිරීම නොවන්නේ ද...? නමුදු මඳක් විමසිල්ලෙන් අවධානය යොමු කරන්නේ නම් බෝධිසත්ව බිරිඳ වෙනත් පුරුෂයකු සමග කාම සම්භෝගයේ යෙදුණේ හුදු ඇගේ වරදින් ම පමණක් ද යන්න ජාතක කතාව පරිශීලනය කරන පාඨක ප්‍රජාව කල්පනා කළ යුතු ය.

ගංතෙරට පැමිණි බෝධිසත්වයෝ සහ බිරිඳ එතැන් සිට ගිහි ජිවිතයක් ගත කර තිබූ බවට ජාතක කතාකරුවා පවසා තිබුණේ නම් යම් පමණකට හෝ එම කාන්තාවට පරිභව කළ හැකි ය. එහෙත් ජාතක කතාකරුවා පවසන්නේ ‘පන්සලක්’ තනවාගෙන ‘පැවිදි දිවියක්’ ගත කළා යනුවෙනි.

ඉදින් චුල්ලපදුම ජාතක කතාව පිළිබඳව මෙන් ම එහි එන බෝධිසත්ව බිරිඳ පිළිබඳ නව මානයකින් සිතන්නට හැකි නම් ඇයට පමණක් වරද පැටවිය නොහැකිය යන්න මගේ කියැවීම ය.

 

මෙම ජාතක කතාවේ පවත්නා තවත් විශේෂත්වයක් පවතී. එය පොතේ සඳහන් ආකාරය මෙලෙස ය.

‘‘එසමයෙහි මල්ලූ සත්දෙනා නම් බුද්ධවල්ලභ වූ මහතෙරවරුය. බිසව නම් චිංචිමානවිකාය, කොටා නම් දේවදත්ත ස්ථවිරයෝය. ගොයානම් ආනන්ද ස්ථිවිරියෝය. පදුම කුමාරව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.’’

කල්ප කාලාන්තරයක් තිස්සේ බුදු බව පතා එන බෝධිසත්වයන්ගේ බිරිඳ ලෙස මෙම ජාතක කතාවේ හමුවන්නේ සිදුහත් කුමාරයාගේ බිසව වූ යසෝධරා නොව බුදුන්ට අපහාස කළ චිංචිමානවිකාව ය. එනයින් බලන විට ජාතක කතාකරු යනු විශිෂ්ට ප්‍රබන්ධකරුවකු බව නම් සක් සුදක් සේ පැහැදිලි ය.

ඉදිරි ලිපියකින් ශක්තික නම් කර ඇති තවත් ජාතක කතාවක් පිළිබඳ විමසමු.

 

jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/06/11

 

ලේඛකයාගේ සබැඳි ලිපි :

(විශේෂාංග)

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ 02 : රාධ ජාතකය - (ජයසිරි අලවත්ත)

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ - (ජයසිරි අලවත්ත)
 

 

ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන කියවන්න :

 

ජාතක කතා විමර්ශන 13 : 'පිරිමිකම' මැනීමේ වැරැදි ක්‍රම - ජයසිරි අලවත්ත

ජාතක කතා විමර්ශන 12 - ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ඍජු ලිංගික අපයෝජන

ජාතක කතා විමර්ශන 11 - ජාතක කතාවෙන් පිළිබිඹු වන ළමා අපයෝජන

ජාතක කතා විමසුම 10  :ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ව්‍යාභිචාරි ක්‍රියා‍

ජාතක කතා විමසුම 09 :ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ස්ත්‍රී ලිංගික චර්යා 02

ජාතක කතා විමර්ශන 08 : ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ස්ත්‍රී ලිංගික චර්යා

ජාතක කතා විමර්ශන 07 : 'මහා පලෝභන ජාතකය' තුළින් ප්‍රකට කෙරෙන සමාජ ව්‍යසන

ජාතක කතා විමර්ශන 06 - නූතන බිරින්දෑවරු ද කියවිය යුතු ම 'විතීය පුෂ්පරත්න ජාතකය'

ජාතක කතා විමර්ශන 05 - ගුණෝපේත බෝසත්වරු මෙන් ම නිර්ගුණ බෝසත්වරු ද විසූ වගයි...

ජාතක කතා විමර්ශන 04    නීති පැනවීම, වෙනස් කිරීම සහ හකුළා ගැනීම පිළිබඳ 'තිප්පල්ලත්ථිමිග ජාතකය' ඇසුරෙන් 

ජාතක කතා විමර්ශන 03 තමා වරදස නොදිසි වග ප්‍රකට කෙරෙන ‘‘සංකප්ප ජාතකය’’ -

ජාතක කතා විමර්ශන 02'වේදබ්භ ජාතකය' කියවා උගත යුත්තේ මොනවා ද...? - 

ජාතක කතා යනු හුදු කතන්දර පමණක් ද...? - ජයසිරි අලවත්ත 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්