-
මෙඩීරා දූපතේ දුෂ්කර ළමාවිය, හදවත් රෝගය පරදා නැගී සිටි අභියෝගාත්මක ගමන සහ අල්-නසර් කොන්ත්‍රාත්තුවේ අවසන් වසර පිළිබඳ සංවේදී විග්‍රහයක්.
දීප්තිමත් ක්‍රීඩා දිවියක් අවසන් කිරීමට සූදානම් වන අලුත විවාහ වූ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ, දැන් එළඹ තිබෙන්නේ ඔහුගේ අවසාන තරග වාරය විය හැකි බවට අඟවනවා.
41 හැවිරිදි රොනාල්ඩෝ වසර දහයක් තිස්සේ ඔහුගේ ජීවන සහකාරියව සිටි ජෝජීනා රොඩ්රීගෙස් සමග පසුගිය අඟහරුවාදා විවාහ වුණා. ඔහු දැන් කල්පනා කරමින් සිටින්නේ ඔහුගේ පවුල වටා ගොඩනගන අනාගතයක් ගැනයි.
ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන ‘බැලන් ඩෝ’ සම්මානය පස් වතාවක් හිමිකර ගෙන සිටින රොනාල්ඩෝ එංගලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය හා සෞදි අරාබියේ ලීග් ශූරතා දිනා ගෙන ඇති අතර ජාත්‍යන්තර පාපන්දුවේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා ලෙස ද වාර්තාව උසුලනවා.
සෞදි වෘත්තීය ලීග් ශූරයින් වූ අල්-නසර් කණ්ඩායම සමග සිවු වසරකට ආසන්න කාලයක් ගත කර ඇති මේ පෘතුගාල පාපන්දු නායකයාට එම සමාජ කොන්ත්‍රාත්තුවේ තවත් එක් වසරක් ඉතිරිව තිබෙනවා.

“මෙය බොහෝ විට පාපන්දුවේ මගේ අවසන් වසර වේවි. මට ආකර්ෂණීය ලෙගසියක් ඉතිරිකර යන්න අවශ්‍යයි” රොනාල්ඩෝ කියනවා.
“මම මගේ අනාගතය සම්පූර්ණයෙන් සැලසුම් කරලයි තියෙන්නේ. මට කාර්යබහුලව ඉන්න බොහෝ දේවල් තියෙන නිසා එක දෙයක් ගැන පමණක් කීම අමාරුයි. මොකද, පාපන්දුවෙන් ලොකු හිඩැසක් ඉතිරි වෙන්න ඉඩ තියෙන නිසා, එක දේකින් විතරක් නෙවෙයි විවිධ ක්‍රමවලින් මගේ කාලය පුරවා ගන්න මට සිද්ධ වෙනවා.”
“වැඩියෙන් විනෝද වෙමින්, වැඩියෙන් ගමන් බිමන් යමින්, මම ගොඩක් ආසකරන පැඩල් ක්‍රීඩාව නරඹන අතර එය ක්‍රීඩා කිරීමටත් මම හම්බ කරපු, අපි හම්බ කරපු දේවල් දිගටම භුක්ති විඳීමටත් මම හිතාගෙන ඉන්නවා.”
“මොකද, මම අවුරුදු 25ක් තිස්සේ ලොකු කැපවීමක් කර තිබෙන නිසා” යනුවෙන් රොනාල්ඩෝ පවසනවා.
රොනාල්ඩෝ දැන් සිටින්නේ ඔහුගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා දිවියේ ගෝල් දහසට 24ක් පමණක් අඩුවෙන්.
ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන ‘බැලන් ඩෝ’ සම්මානය වාර්තාගත අට වතාවක් දිනා ගත් ලියොනල් මෙසී ද මෑතකදී ප්‍රකාශයක් කරමින්, තමා තව කොපමණ කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නියැලී සිටීවි ද කියා ස්ථිරව කිව නොහැකි බව සඳහන් කර තිබුණා.
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ නැගීම ආරම්භ වුනේ සුඛෝපභෝගීව හෝ කීර්තිමත් ආකාරයෙන් හෝ නෙවෙයි. පෘතුගාලයේ මෙඩීරා දූපතේ පුංචි නිවසකින් එය පටන් ගත්තේ දුප්පත්කම, කැප කිරීම, පවුලෙන් ඈත්වීම, සෞඛ්‍යමය බිය හා මේ සියල්ල වෙනස් කිරීමට පාපන්දුවට හැකි බවට තිබූ ඉතා ප්‍රබල විශ්වාසයකිනුයි.
සැපක් නැති රොනාල්ඩෝගේ ළමාවිය

ජනතාව අද ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ දකින විට, ඔවුන්ට බොහෝ විට පෙනෙන්නේ කුසලාන, වාර්තා, ක්‍රීඩාංගණ, උපහාර හා ආත්ම විශ්වාසය යි. නමුත් ඔහුගේ කතාව එතැනින් ආරම්භ වුනේ නැහැ.
රොනාල්ඩෝගේ ළමා කාලය හැඩගැසුනේ කුඩා දූපතක්, විශාල පිරිසකගෙන් තෙරපුනු නිවසක්, මුදල් ප්‍රශ්න, පවුල් පීඩනය හා පාපන්දුව නමැති එක් පැහැදිලි පිළිතුරක් පමණක් තමන්ගේ හදවතේ රඳවාගෙන ගිය කොල්ලෙකුගෙන්. ඔහුගේ ගමන නිකං සහජ කුසලතාවේ කතන්දරයක් පමණක් ම නෙවෙයි. එය කුසගින්න, කැප කිරීම, විනය හා තමාගේ ක්‍රීඩාව මුලදීම නතර වීමට ඉඩ තිබූ අවස්ථාවන්ගෙන් මිදී පැවතීමේ අන්දරයක් වනවා.
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ දිළිඳුකම උරුම කරගෙන ඔහුගේ සහෝදර සහෝදරියන් සමග මෙඩීරා දූපතේ කුඩා කාමරයක හැදී වැඩෙද්දී ඔහුගේ මව්පියන් පවුල ගෙන යාම සඳහා ඉතාමත් වෙහෙස මහන්සියෙන් වැඩ කළා. Andorinha නමැති දේශීය පාපන්දු ක්‍රීඩා සමාජයෙන් සිය ක්‍රීඩාව ඇරඹූ රොනාල්ඩෝ ඉන්පසුව Nacional සමාජයට මාරුවී ඊටත් පසුව ලිස්බන් නුවර Sporting CP සමාජයට එක්වීම පිණිස 12 වැනි වියේදී නිවසින් පිටව ගියා. තනිකම, පාසලේදී කරදර හා හදවතේ රෝගී තත්ත්වයකට මුහුණ දුන්න ද, ඔහුගේ හික්මීම සහ දියුණු වීමට තිබූ දැඩි අධිෂ්ඨානය ඔහුව පාපන්දු ක්‍රීඩාවේ එක් ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු බවට පත් කළා.
Cristiano Ronaldo dos Santos Aveiro 1985 වසරේ පෙබරවාරි මස 5 වැනි දින උපත ලැබුවේ අත්ලාන්තික් සාගරයේ පිහිටි පෘතුගීසි දූපතක් වන මෙඩීරා හි ෆුන්චාල් අගනුවරදීයි. ඔහු දරුවන් සිවු දෙනෙකුගෙන් බාලයා යි. ඔහුගේ මව Maria Dolores කෝකියෙක් හා පිරිසිදු කරන්නියක ලෙස රැකියාව කළා. නගර සභාවේ උයන්පල්ලෙක් ලෙස සේවය කළ ඔහුගේ පියා Jose Dinis Aveiro දේශීය පාපන්දු සමාජයක ක්‍රීඩකයින්ගේ ඇඳුම් පැළඳුම් භාරව සිටින්නෙකු (කිට් මෑන්) වශයෙන් ද රැකියාව කළා.
ඔහුගේ පවුලට එතරම් මුදල් නොතිබුණු අතර දුප්පත් කතෝලික ගෙදරක උස් මහත් වූ රොනාල්ඩෝ ඔහුගේ සොයුරු සොයුරියන් සමග කාමරයක් බෙදා ගත්තා. එය පැහැදිලි මාවතක් සමග සෑම සිහිනයක් ම සැබෑ වන ආකාරයේ ළමාවියක් වුණේ නැහැ. ඒ තත්ත්වයේ පසුවූ බොහෝ ළමයින්ට දියුණුවීමේ අභිලාෂයට පෙර පැමිණියේ ජීවත්වී සිටීමේ අභියෝගය යි.
පාපන්දුව - දුකෙන් මිදුනු මාර්ගය

රොනාල්ඩෝගේ නියම පාපන්දු පරිසරය වුනේ ඔහුගේ පියා ‘කිට් මෑන්’ ලෙස රැකියාව කළ Andorinha ක්‍රීඩා සමාජය යි. ළමයෙකු ලෙස එහි ක්‍රීඩා කිරීමෙන් පසුව ඔහු මෙඩීරා දූපතේ විශාලතම පාපන්දු සමාජවලින් එකක් වන Nacional ට බැඳුනා. රොනාල්ඩෝගේ ක්‍රීඩාවේ මුල් අවධියේ පවා ඔහු අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් වෙනස් වූ වේගවත්, තියුණු, සංවේදී හා පාපන්දු ක්‍රීඩාව විසින් සම්පූර්ණයෙන් ඇදගනු ලැබූ කෙනෙකු බව ජනතාවට වැටහුනා.
රොනාල්ඩෝ ට පාපන්දුව විනෝදයක් පමණක් වී තිබුණේ නැහැ. එය ඔහුට දුප්පත්කමෙන් ගැලවීමේ මාර්ගයක් ද වුණා. එය ඔහුට අනන්‍යතාවක් ලබා දුන්නා. නිර්මාණාත්මක ව්‍යුහයක් ලබා දුන්නා. එය ඔහුට දිළිඳුකමට වඩා ප්‍රයත්නය, වේගය, ධෛර්යය හා පන්දුවේ පාලනය වැදගත් වන ස්ථානයක් ලබා දුන්නා.
රොනාල්ඩෝ වයස අවුරුදු 12දී Sporting SC සමග පරීක්ෂණයකට ඉදිරිපත් වුණා. ඔවුන්ගේ යොවුන් ක්‍රමවේදයට ඇතුළත් කිරීමට ප්‍රමාණවත් හැකියාවන් ඔහු සතුව තිබෙන බව එම ක්‍රීඩා සමාජයට අවබෝධ වුණා. එය ප්‍රධාන පියවරක් වූවත්, ඒ නිසා ඔහුට ළමයෙකුව සිටියදීම මෙඩ්රීඩ් අත්හැර ලිස්බන් යාමට සිදුවුණා.
තමාගේ මවගෙන්, සොයුරු සොයුරියන්ගෙන්, තමාගේ දූපතෙන් හා තමා පාපන්දු ක්‍රීඩාව ඉගෙන ගත් සුපුරුදු වීදිවලින් ඈතට ගිය රොනාල්ඩෝ පීඩනය හා බලාපොරොත්තුවලින් වට කර තිබූ වඩාත් ලොකු නගරයකදී ඔහුගේ සිහිනය හඹා ගියා.
රොනාල්ඩෝගේ පාසල් දිවිය අසීරු එකක්. ඔහු පන්තියේ සමහර සගයින් අතරෙහි ජනප්‍රියව සිටියත් ඔහුට විනය සමග ගැටළු තිබුණා. තමාට අගෞරවයක් දැනුණු බව කියමින් ගුරුවරයෙකුට පුටුවෙන් දමා ගැසීම හේතුවෙන් ඔහුව පාසලෙන් නෙරපා දැමුණු බවක් වාර්තා වී තිබෙනවා.
වෘත්තීය මට්ටමෙන් තමාට පාපන්දු ක්‍රීඩා කළ හැකි බවට වයස අවුරුදු 14 පමණ වන විට රොනාල්ඩෝ විශ්වාස කළා. සිය මවගේ හා Sporting ක්‍රීඩා සමාජයේ සිටි පුද්ගලයින්ගේ සහායෙන් ඔහු විධිමත් පාසල් මඟ වෙනුවට පාපන්දු ක්‍රීඩාව කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළා.
ඒ තීරණය වික්‍රමාන්විත එකක් බවට පෙනී යන්නේ එහි අවසානය දැන් මුළු ලෝකය ම දන්නා බැවින්. එහෙත් ඒ කාලයේ එය අවදානම් සහිත තීරණයක් වී තිබුණා. තරුණ ක්‍රීඩකයින්ගෙන් වැඩි දෙනෙක් ගෝලීය තරු බවට පත්වන්නේ නැහැ. බොහෝ දෙනෙක් වෘත්තීය ක්‍රීඩකයින් වෙන්නේත් නැහැ. රොනාල්ඩෝගේ පවුල සම්බන්ධයෙන් බලන විට ඔහුගේ සිහිනය තුළ අපේක්ෂාව මෙන්ම අනතුර ද ගැබ්ව තිබුණා. පාපන්දු ක්‍රීඩාවේ අසාර්ථක වුවහොත් ඔහුට පිවිසිය හැකි වෙනත් පහසු අතිරේක ක්ෂේත්‍රයක් තිබුණේ නැහැ.
හදවත් රෝගය

රොනාල්ඩෝගේ තරුණ ජීවිතයේ තිබූ එක් අසීරුතම කොටසක් වුනේ ඔහුගේ හදවතේ තිබූ රෝගී තත්ත්වය යි. අසාමාන්‍ය වේගවත් හදගැස්මකින් යුත් Tachycardia නමැති ආබාධය ඔහුට තිබෙන බවට නිර්ණය කර තිබුණා. එය දිගටම පාපන්දු ක්‍රීඩා කිරීමේ ඔහුගේ ශක්තියට තර්ජනයක් වීමට ඉඩ තිබුණා.
ඔහු cardiac ablation ලෙසින් හැඳින්වෙන හදවත් පරීක්ෂාවකට ලක් කෙරුණු අතර ටික දිනක් රෝහල්ගතව සිට ඉන් පිටත් වී දින කිහිපයක් ඇතුළත ඔහු යළි පුහුණුවීම්වලට පැමිණි බවට වාර්තා වී තිබෙනවා. තමන්ගේ සම්පූර්ණ ජීවිතය පාපන්දු ක්‍රීඩාව බවට පත්වෙමින් තිබූ තරුණ ක්‍රීඩකයෙකුට, ඒ රෝහල්ගතව සිටීම බිය ගන්වන අවස්ථාවක් වන්නට ඇති.
රොනාල්ඩෝගේ ළමාවිය ඔහුට කුසගින්න ලබා දුන්නා. නිවසෙන් පිටවීම ඔහුට හයියක් ලබා දුන්නා. තරගකාරිත්වය ඔහුව මුවහත් කළා. සෑම අදියරකින් ම ඔහුගේ මානසිකත්වයට තවත් ස්තරයක් එකතු වුණා.
ක්‍රීඩා සමාජයේ සිට ලෝක වේදිකාවට

Sporting ක්‍රීඩා සමාජයීය කණ්ඩායම වෙනුවෙන් රොනාල්ඩෝ දැක්වූ දස්කම් අවසානයේදී ප්‍රධාන පාපන්දු ක්‍රීඩා සමාජයන්හි අවධානයට යොමුවුණා. එතැන් සිට, ඔහුගේ ක්‍රීඩා දිවිය මැන්චෙස්ට යුනයිටඩ්, රේආල් මෙඩ්රිඩ්, යූවෙන්චස්, අල්-නසර් හා පෘතුගාල ජාතික කණ්ඩායම ලෙස වෙනස් වෙමින් ගමන් කළා. කුසලාන හා වාර්තා පැමිණියේ පසුව වූව ද, ඊට අත්තිවාරම ගොඩනැගුනේ බොහෝ කලකට පෙර සිටයි.
මෙඩීරා දූපතෙන් පැවත එන කොල්ලා එක් රැයකින් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ වුණේ නැහැ. ඔහු රොනාල්ඩෝ බවට පත්වුණේ දහස් ගණන් කුඩා තෝරාගැනීම් අතරිනුයි. මහන්සිය තිබියදී වෙහෙසකාරීව පුහුණුවීම, සුවපහසුව අත්හැරීම, පීඩනය බාරගැනීම හා අසාර්ථකත්වයෙන් ඉගෙන ගැනීම ඊට ඇතුළත්ව තිබුණා.
රොනාල්ඩෝගේ ළමාවියේ කතාව තවමත් වැදගත් වන්නේ ඇයි?

රොනාල්ඩෝගේ ළමාවිය වැදගත් වන්නේ එය සාර්ථකත්වයට දුෂ්කර පසුබිම් කතාවක් තිබෙන බවට ජනතාවට මතක් කර දෙන බැවින්. කෙනෙකුගේ අවසාන ස්වරූපය පමණක් බොහෝ විට දකින ජනතාව ගෙදරින් පිටව යාමට, අවිශ්වාසය සමග සටන් කිරීමට, රෝගාතුර වීමේ බියට මුහුණ දීමට හා පවුලේ අපේක්ෂාවන් උසුලා ගෙන යාමට සිදුවූ දරුවා ගැන අමතක කරනවා.
වෙළෙඳ ලාංජන, ලෝක වාර්තා හා ජනප්‍රියතාව පිටුපස සිටින්නේ මෙඩීරා වීදි දිගේ බෝලයකට පයින් ගැසූ දරුවෙක්. ලිස්බන් නුවර නිවස අහිමි වූ දරුවෙක්. විටෙක ශරීරයෙන් අනතුරු ඇඟවීමක් ලද දරුවෙක්. එල්ල වුණු පීඩනයෙන් මානසිකව බිඳී යාමට ඉඩ තිබුනත් ඒ වෙනුවට එයින් පන්නරය ලැබූ දරුවෙක්.
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ ගමන පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටත්වය කරා ගිය එකක් පමණක් ම නෙවෙයි. එය දුෂ්කරතාව, පරමාර්ථය, දරා සිටීම හා දැඩි පුහුණුව එකට එක්වූ විට සිදුවිය හැක්කේ කුමක්දැයි පෙන්වන චාරිකාවක් ද වනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
අදාළ පුවත් මූලාශ්‍ර :
ESPN - Cristiano Ronaldo Profile & Latest News




