බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ වරදට මාස 8 ක සිරදඬුවමක් විඳින බව හෙළිවේ.
ප්‍රමුඛ පෙළේ කෙටි දුර ධාවකයින් අතරමං කර අතුරුදන් වූ එංගලන්ත පුහුණුකරු මොරොක්කෝ බන්ධනාගාරයක සිටින බව තහවුරු වෙයි.
අතුරුදන්ව ඇති බවට මාධ්‍ය වාර්තාවලින් ප්‍රකාශ වූ එංගලන්ත මලල ක්‍රීඩා පුහුණුකරුවකු සහ හිටපු රන් පදක්කම්ලාභියෙකු වන 41 හැවිරිදි ලෙයොන් බටීස්ට් (Leon Baptiste) බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම හේතුවෙන් මොරොක්කෝවේ සිරදඬුවම් විඳින බවට සොයාගෙන තිබෙනවා.
වයස අවුරුදු 18 ට අඩු අය මොරොක්කෝවේදී සැලකෙන්නේ බාලවයස්කාරයින් ලෙසටයි.
පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා එංගලන්තයේ ඉහළම පෙලේ කෙටි දුර ධාවන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පුහුණු කරමින් සිටි බටීස්ට් මීට මාස තුනකට පෙර හදිසියේම ආගිය අතක් නැතිව ගියා.
උපදේශක කෙටි දුර ධාවන පුහුණුකරුවකු ලෙස ඔහු සේවය කරමින් සිටි එංගලන්ත මලල ක්‍රීඩා සංගමය හෝ ඔහු යටතේ පුහුණුවෙමින් සිටි ක්‍රීඩකයින් හෝ ඔහුට සිදුවුනේ කුමක්දැයි දැන සිටියේ නැහැ.
මැයි මාසයේදී, බටීස්ට් ඔහු පුහුණු කරමින් සිටි මලල ක්‍රීඩකයින් කණ්ඩායමට කෙටි පණිවුඩයක් එවමින් තමා ටික කලකට පුහුණුවීම්වලට නොඑන බවට දන්වා තිබෙනවා. ඊට වැඩි යමක් ඔවුන්ට දන්වා නැහැ.
ඔහු දක්නට නොමැති බවත් ඔහු මොරොක්කෝවේදී අතුරුදන්ව ඇතැයි කියන බවත් මාධ්‍ය සති අන්තයේ වාර්තා කර තිබුණා.
2010 පොදුරාජය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 200 රන් පදක්කම දිනා ගත් බටීස්ට් වෙනුවෙන් ඔහුගෙන් පුහුණුව ලබමින් සිටි ක්‍රීඩකයින්ට අඟහරුවාදා යැවුනු කෙටි විද්‍යුත් තැපෑලකින්, ඔහු අනපේක්ෂිත ලෙස රෝගාතුරව සිටින නිසා පුහුණුකරු තනතුර අත්හරින බව දන්වා තිබෙනවා.
මොරොක්කෝවේ මැරකැෂ් නගරයේදී මැයි මාසයේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව වරදකරු කරනු ලැබූ බටීස්ට් දැන් Al-Oudaya බන්ධනාගාරයේ සිරදඬුවමක් විඳිමින් සිටින බව මොරොක්කෝ අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියා තිබෙනවා.
බටීස්ට් ට මාස දහයක සිරදඬුවමක් මුලින් නියම කර තිබෙන අතර පසුව ඔහු ඉදිරිපත් කළ ඇපෑලකින් එය මාස අට දක්වා අඩු කර තිබෙනවා.
බටීස්ට් මැරකැෂ් නගරයට ගොස් තිබෙන්නේ තවත් හිටපු බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයින් තිදෙනෙකු සමග බවත් ඒ තිදෙනා යළි එංගලන්තය ට පැමිණ සිටින බවත් වාර්තා වනවා.
බටීස්ට්ගේ සිරදඬුවම පිළිබඳව ඔහුගේ පවුලේ අය දැන සිටින බව පැවසෙනවා. ඔහු හදිසියේ නොපෙනී යාමෙන්, ග්ලාස්ගෝ හි පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හා බර්මිංහැම් නගරයේ පැවති යුරෝපීය ශූරතාවලිය ඉලක්ක කරගෙන ඔහු යටතේ පුහුණු වෙමින් සිටි එංගලන්ත කෙටි දුර ධාවන තරගකරුවන් කිහිප දෙනෙකුටම තීරණාත්මක අවස්ථාවේදී පුහුණුව අහිමි වූ බවත් වාර්තා වනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




