BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

පසිඳු-කමිඳු සටනක: ඉන්දීය ජය හෙටට කල් යයි

T

The Leader Desk

August 26, 2026 • 5:19 PM

පසිඳු-කමිඳු සටනක: ඉන්දීය ජය හෙටට කල් යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසිඳුගෙන් තවත් විශිෂ්ට 92ක්; කමිඳුගෙන් අර්ධ ශතකයක් – ඉනිමක පරාජයෙන් බේරුණත් ලංකාව ලකුණු 16ක් පමණක් ඉදිරියෙන්.
  • ක්‍රීඩාංගණ‌යේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද සිවු වැනි දිනයේදී පිට පිට නැවත ලකුණු රැස් කරන ලෙසට ඉන්දියාව බල කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව කඩුලු හයකට ලකුණු 229ක් ලබා ගත්තා.
  • පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92ක් රැස් කරමින් ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක් ලබා ගත්තා.
  • මේ දෙදෙන තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සබඳතාවක් පිහිටුවූවා.
අකුරු ප්‍රමාණය (Font Size):


දිනූෂගේ සටන්කාමී ශතකය අපතේ යයි: අවසන් දිනයේ ඉතිරි කඩුලු 4 රැකගැනීමේ දැවැන්ත අභියෝගය ශ්‍රී ලංකාව හමුවේ.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණ‌යේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද සිවු වැනි දිනයේදී පිට පිට නැවත ලකුණු රැස් කරන ලෙසට ඉන්දියාව බල කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව කඩුලු හයකට ලකුණු 229ක් ලබා ගත්තා.

පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92ක් රැස් කරමින් ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක් ලබා ගත්තා. මේ දෙදෙන තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සබඳතාවක් පිහිටුවූවා.

සොනාල් දිනූෂ ඔහුගේ ශතකයට පිවිසි සැණින් ඉන්දියාව පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 290කට දවාලුවේ ලකුණු 213ක දැවැන්ත පෙරමුණක් ලබා ගනිමින්. ඉන්දියාව පළමු ඉනිම නතර කළේ කඩුලු 9කට ලකුණු 503ක් රැස් කරගෙන.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ප්‍රසිද් ක්‍රිෂ්ණා (3/52) හා මානව් සුතාර් (3/85) ඉන්දියාව වෙනුවෙන් කඩුලු 3 බැගින් ලබා ගත් අතර සාරන්ෂ් ජේන් (2/69) ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ පළමු කඩුලු අද පෙරවරුවේ හිමි කර ගත්තා. දෙවැනි ඉනිමේදී ද ඔහු ලකුණු 55කට එක් කඩුල්ලක් ලබා ගෙන සිටිනවා.

අද තරගය නතර කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ඔවුන්ගේ ලකුණු 200 ට වැඩි හිඟය පියවා ගෙන සිටියත් ඉන්දියාව තරගයේ පාලනය දැඩිව ග්‍රහණය කරගෙන සිටිනවා.

සොනාල් දිනූෂ (7) හා කේශර නුවන්ත (3) කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව ලකුණු 16කින් ඉදිරියට පැමිණ සිටිනවා.

දිනූෂගේ ශතකයෙන් පළමු ඉනිමට ජීවයක්

දිනූෂගේ දෙවැනි ශතකය කැපී පෙනෙමින් ශ්‍රී ලංකා පළමු ඉනිම අද තරගයේ හය වැනි ඕවරයේදී ලකුණු 290කට අවසන් වුණා. දර්ශනීය පිතිකරණයක නියැලුනු දිනූෂ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දැවී ගිය අවසන් පිතිකරුවා වෙමින් සාරන්ෂ් ජේන්ගේ පන්දුවට රාහුල් වෙත උඩ පන්දුවක් දීමට පෙර ලකුණු 103ක් වාර්තා කළා. පන්දු 162ක ඔහුගේ ඉනිම හතරේ පහර 8ක් සහ හයේ පහර 3කින් වර්ණවත් වී තිබුණා.

ඊට පෙර, දිනූෂ ට ශතකය කරා යාමට කඩුල්ලේ අනෙක් අන්තයේ සිට මනා සහායක් ලබා දෙමින් ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසානය පමා කළ ලහිරු කුමාර මුළු ලකුණු 288දී දැවී ගියා. ලකුණු 12ක් ලබා ගත් ඔහු දිනූෂ සමග නව වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කළේ මිනිත්තු 83ක් තිස්සේ පන්දු 58කට මුහුණ දෙමින්. දිනූෂ හා කුමාරගේ අගනා සබඳතාව ගොඩනැගුනේ පන්දු 112කින්. කුමාර දැවී ගියේ ජේන්ගේ පන්දුවට ඔහු දුන් උඩ පන්දුව කඩුලු රකින ජුරල් රැක ගැනීමෙන්. මේ අනුව ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු දෙක ම හිමි කර ගත්තේ ජේන්.

පළමු ඉනිමේ ලකුණු 213කින් පිටුපසින් සිටීම හේතුවෙන් පිට පිට දෙවැනි වතාවටත් ලකුණු රැස් කිරීම සඳහා කැඳවනු ලැබූ ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල මුළු ලකුණු 5දී බිඳ වැටෙමින් ලහිරු උදාර (3) දැවී ගියේ පිතිකරණයේ නැවත වරක් අසාර්ථක වෙමිස්. සිවු වැනි ඕවරයේදී එම කඩුල්ල බිඳ වැටුනේ මොහමඩ් සිරාජ්ගේ පන්දුවට උදාර දුන් උඩ පන්දුව ‘ඩීප් ෆයින් ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ජේන් විසින් රැක ගැනීමෙන්. මේ අනුව කඩුලු දෙකක් හා උඩ පන්දුවක් ලබා ගත් ජේන් ට අද පෙරවරුව ප්‍රීතිමත් එකක් බවට පත්වුණා.

කමිල් මිෂාර හා පසිඳු සූරියබණ්ඩාර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68කින් ලකුණු 58ක් එක් කරමින් සිටියදී රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් මිෂාර මුළු ලකුණු 63දී දැවී ගියා. ඒ වන විට යැවෙමින් තිබුණේ 15 වැනි ඕවරයයි  . පන්දු 39කට මුහුණ දුන් මිෂාර හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග රැස් කළ ලකුණු ප්‍රමාණය 32ක්.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ කඩුලු 2ක් අහිමි කරගෙන ලකුණු 83ක් ලබා ගෙන සිටියා.


පසිඳු - කමිඳු සබඳතාවෙන් ඉනිම ගොඩනැගේ

සූරියබණ්ඩාර හා කමිඳු මෙන්ඩිස් නිදහසේ ලකුණු රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 178 දක්වා ඉහළ නංවමින් සිටියදී මෙන්ඩිස් ගුවනට එල්ල කළ පන්දුව ෂුබ්මන් ගිල් දර්ශනීය අයුරින් රැක ගත්තා. ඒ අනුව මෙන්ඩිස් ලකුණු 55කට දැවී ගිය අතර පන්දු 92කට මුහුණ දුන් ඔහු හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් එල්ල කළා. මෙන්ඩිස් ඔහුගේ හත් වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේ ක්‍රීඩා මණ්ඩපයක වහල මතට හයේ පහරක් එල්ල කරමින්. 44 වැනි ඕවරයේදී තෙවැනි කඩුල්ල බිඳ වැටෙන විට මෙන්ඩිස් හා සූරියබණ්ඩාර එම කඩුල්ල වෙනුවෙන් පන්දු 172කින් ලකුණු 115ක් එක් කර තිබුණා.

සවස තේ පානය වන විට ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 199ක් රැස් කරගෙන තරගයේ ලකුණු 14ක් පසුපසින් සිටියා.


මිනිත්තු 10කදී තරගය කණපිට හැරවූ කඩුලු ත්‍රිත්වය

තේ පානයෙන් පසුව පැවති ක්‍රීඩාවේදී මිනිත්තු දහයක් ඇතුළත තරගය කණපිට පෙරළෙමින් ශ්‍රී ලංකාව ට තීරණාත්මක කඩුලු තුනක් වේගයෙන් අහිමි වුණා. සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 94කින් ලකුණු 31ක් රැස් කරගෙන සිටි සූරියබණ්ඩාර හා ධනංජය ද සිල්වා අතරෙන් ධනංජය දුන් උඩ පන්දුව ‘ගලී’ ස්ථානයේ පන්දු රකිමින් සිටි දෙව්ඩට් පඩික්කල් රැක ගැනීමත් සමග ශ්‍රී ලංකා සිවු වැනි කඩුල්ල මුළු ලකුණු 209දී බිඳ වැටුණා. ඒ 59 වැනි ඕවරය යැවුවේ මානව් සුතා.

දඟ පන්දු යවන සුතාගේ ඊළඟ ඕවරයේ දෙවැනි පන්දුවට සූරියබණ්ඩාර කඩුල්ල මුවා කළ බවට පිටියේ තරග විනිසුරු තීරණය කළ ද තෙවැනි විනිසුරු එය ප්‍රතික්ෂේප කළා. එහෙත් සූරියබණ්ඩාර තමන්ට ලැබුණු ඒ වාසනාවට පයින් ගසමින් ඉතාමත් අනුවණ අයුරින් ඊළඟ පන්දුවෙන් දැවී ගියා. සුතා ඉතාමත් සූක්ෂම ලෙසින් සූරියබණ්ඩාර මුළා කිරීමට සමත් වුණා. ඔහු තෙවැනි පන්දුව එවන විට පිතිකරුවා සිටින්නේ ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට සූදානමින් යැයි ඔහුට හැඟුණා. ඒ අනුව සුතා පිට ඉන්නට ඈතින් යන පරිදි පන්දුව එවුවා. ඔහු බලාපොරොත්තු වූ ලෙසින් ම සූරියබණ්ඩාර ඔහුගේ සීමාවෙන් පිටතට පැමිණියා. ඔහු පන්දුවට පැරදුණා. දෙවැනි ඉනිමේදී නැවත කඩුලු රකිමින් සිටි රිෂාබ් පාන්ට් පන්දුවෙන් කඩුල්ල බිඳ දමන විට සූරියබණ්ඩාර ඔහුගේ සීමාව අසලකවත් සිටියේ නැහැ. ඒ අනුව ස්ටම්ප් කිරීමට හසුවෙමින් පසිඳු සූරියබණ්ඩාර මේ තරගයේ දෙවැනි වතාවටත් ශතකයක් අහිමි කර ගනිමින් ලකුණු 92කට දැවී ගියා. පන්දු 173කට මුහුණ දුන් ඔහු හතරේ පහර 10ක් සහ හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් කරගෙන තිබුණා. ශ්‍රී ලංකාව 212/5 යි.

ඒ 61 වැනි ඕවරයේදී ශ්‍රී ලංකාව තරගයේ ඔවුන්ගේ ලකුණු පරතරය වූ ලකුණු 213 පසු කළා.

කඩුලු ආරක්ෂා කිරීම ඉතාමත්ම වැදගත්ව තිබූ අවස්ථාවක නිරෝෂන් දික්වැල්ල (6) ද ජේන්ගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් දැවී ගියා. දික්වැල්ල හය වැනි කඩුල්ල ලෙස 65 වැනි ඕවරයේ දැවී ගියේ මුළු ලකුණු ප්‍රමාණය 218ක් ලෙස සටහන්ව තිබියදී. මේ අනුව ශ්‍රී ලංකා පිලේ අවසාන කඩුලු හතර ලකුණු 40කට බිඳ වැටී තිබුණා.

වර්ෂාව හේතුවෙන් තරගය පස්වරු 4.37 ට නතර කරන විට ශ්‍රී ලංකාව 229/6ක් වාර්තා කර තිබුණේ ලකුණු 16කින් පමණක් ඉදිරියෙන් සිටිමින්. ඔවුන්ට තවත් ඉතිරිව තිබෙන්නේ කඩුලු හතරක් පමණයි. මෙයින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ලකුණු තත්ත්වය 16/6ක් ලෙසයි.

හෙට තරගයේ පස් වැනි හා අවසාන දිනය යි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com    
  

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පසිඳු-කමිඳු සටනක: ඉන්දීය ජය හෙටට කල් යයි | The Leader