BCCI හි නිහඬතාව හමුවේ නොසැලී කාන්තා ලෝක කුසලාන සිහිනය හඹා යන අනායා බංගර්.
එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයන් හි ඇඳුම් අඳින කාමරවල නිදා ගනිමින් ඉතිරි කරගත් මුදලින් ලිංග-සංක්‍රාන්ති ශල්‍යකර්මයට ලක්ව නැවත ක්‍රීඩාවට පිවිස සිටින හිටපු ඉන්දීය පිතිකරු හා පුහුණුකරු සන්ජේ බංගර්ගේ දරුවා වන අනායා බංගර් තමාව ප්‍රතික්ෂේප කළ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට ලෝක කුසලාන පණිවුඩයක් දී තිබෙනවා.
හෝමෝන ආදේශන ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසුව මව්පියන්ගෙන් ලැබුණු මුල් උපකාරයට අමතරව දැක්වුණු ඉතා අඩු මූල්‍යමය සහායක් හමුවේ මිල අධික, වේදනාකාරී සහ හුදෙකලා ක්‍රියාවලියකට මුහුණ දීමට අනායා ට සිදුවුණා.
ඇඳුම් අඳින කාමරවල ගෙවූ දුෂ්කර ජීවිතය
එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී නිවසක් නැතිව අධික මුදල් හිඟයේ අසීරුතාවන් ද අත්විඳි අනායා මිතුරන්ගේ කාමරවල හුළං පිරවූ මෙට්ට උඩ හෝ ක්‍රිකට් ක්‍රීඩාංගණවල ඇඳුම් අඳින කාමරවල රැය පහන් කළා.
උපන් බිමෙන් බොහෝ දුරස්ව සිටිමින් තමාගේ අනන්‍යතාව හා ලිංග සංක්‍රාන්තිය හසුරුවන අතරතුර තමාගේ ක්‍රිකට් ක්‍රීඩා දිවියේ ද යෙදී සිටියදී සිදුකළ අප්‍රමාණ පෞද්ගලික හා මුදල්මය කැප කිරීම් අනායා අනාවරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු කාන්තා ලීගයෙන් විවර වූ නව මාවත
මේ හිටපු මුම්බායි වයස්-ඛාණ්ඩ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාගේ බොඳව යමින් තිබූ ක්‍රිකට් සිහින සැබෑ කරමින් ඔස්ට්‍රේලියාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම සඳහා දැන් මං විවර වී තිබෙනවා. ඒ, ඇයට එරට කාන්තා බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩා කිරීම සඳහා වන තෝරා ගැනීම්වලට පෙනී සිටීමේ සුදුසුකම තිබෙන බවට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය අනුමත කර තිබෙන බැවින්. ඒ අනුව, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පිවිසීමේ බලාපොරොත්තු අත්හැර සිටි අනායා ලබන වසරේ මාර්තුවේ සිට උසස් මට්ටමේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදීම ඉලක්ක කරගෙන ඔස්ට්‍රේලියාවේදී යළි වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට සූදානම් වනවා.
මේ වසර මුලදී ලිංගිකත්වය තහවුරු කිරීමේ ශල්‍යකර්මයට බඳුන් වූ අනායා ට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හරහා තිබෙන ප්‍රිමිය ක්‍රිකට් තරගාවලියන් ඇතුළු කාන්තා ප්‍රජාවගේ ක්‍රිකට් තරගාවලියන්ට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගේ අවසරය ලැබී තිබෙනවා.
BCCI වෙතින් ලෝක කුසලානය ඉල්ලන අනායාගේ සටන
සිය ක්‍රිකට් දිවියේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට බලා සිටින මේ මොහොතේ අනායා බංගර් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) පැහැදිලි පණිවුඩයක් දෙමින්, දිනෙක රට වෙනුවෙන් ලෝක කුසලානය දිනා ගැනීමට ඇය අපේක්ෂා කරන බව හඬ නගා කියනවා.
ඉන්දියා කාන්තා ක්‍රිකට් ක්‍රමවේදයේ කොටස්කාරියක බවට පත්වෙමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා තමාට සහාය වන ලෙසට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ නිහඬතාවෙන් බව ඇය පවසනවා.
තමා වැනි ක්‍රීඩිකාවන්ට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අවස්ථාවන් ලබා ගැනීමට හැකිවන පරිදි BCCI විසින් ප්‍රතිපත්ති නිර්මාණය කරනු ඇති බවට තමා ප්‍රාර්ථනා කරන බව අනායා ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. අවසානයේදී, ඇය ට ද උවමනා වී තිබෙන්නේ අනෙක් සෑම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවකට ම අවශ්‍යව තිබෙන කාර්යය ඉටු කර ගැනීමටයි. ඒ, රට වෙනුවෙන් ලෝක කුසලානය දිනා ගැනීමයි.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
සබැඳි පුවත :
ක්‍රිකට් පිටියට ආන්දෝලනාත්මක පිවිසුමක්: ලිංග සංක්‍රාන්ති ශල්‍යකර්මයකට ලක්වූ අනයාට ඔස්ට්‍රේලියානු කාන්තා ලීගයේ දොර ඇරෙයි




