පියාගේ අභාවය නිසා ප්‍රකාශය ප්‍රමාද කළ බව කියන 39 හැවිරිදි මෙසී, ඉන්ටර් මයාමි සමාජය වෙනුවෙන් දිගටම ක්‍රීඩා කරන බව තහවුරු කරයි.
ආජන්ටිනා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් සිදු කළ විසිඑක් වසරක ජාතික මෙහෙවර ලියොනල් මෙසී සඳුදා අවසන් කළේ “තවත් දෙන්න දෙයක් මට ඉතුරු වෙලා නැහැ” යනුවෙන් පවසමින්. මේ ලෝක පූජිත පාපන්දු පුරාවෘත්තය ජාත්‍යන්තර පාපන්දුවෙන් නික්ම යන්නේ ලෝක කුසලානයක් හා ගෝල් 125ක් තමන් සන්තකයේ තබා ගෙනයි.
“එය වේදනාව ගෙන දුන් තීරණයක්. ඒ වේදනාව මට තවමත් තදින් දැනෙනවා. නමුත් සමුගන්න වෙලාව ඇවිත් කියලා මම අවබෝධ කරගෙන ඉන්නවා” යනුවෙන් 39 හැවිරිදි මෙසී ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් කියා සිටියා.
අමෙරිකාවේ මේජර් ලීග් පාපන්දුවේ ඉන්ටර් මයාමි කණ්ඩායම සමග තවදුරටත් සමාජ මට්ටමෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන මෙසී ලෝක වාර්තාවක් සම කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හයකට ක්‍රීඩා කළා. මීට සිවු වසරකට පෙර කටාර් හිදී සිය අණසක පතුරුවමින් ලෝක කුසලානය දිනා ගත් ඔහු 2014 තරගාවලියේ අවසාන තරගයට (අතිරේක කාලයේදී ජර්මනිය 1-0කින් ජය ගත්තා) මෙන්ම නැවත මේ වසරේ අමෙරිකාවේ පැවති අවසාන තරගය දක්වා ද (අතිරේක කාලයේදී ස්පාඤ්ඤය ට ගෝල් 0-1කින් පැරදුනා) ආජන්ටිනාව මෙහෙයවූවා.
ආජන්ටිනාවේ ම පාපන්දු ලෙජන්ඩ් ඩිඒගෝ මැරඩෝනා සමග කරට කර සිටින මෙසී නිතර ඔහු සමගත්, බ්‍රසීලයේ සංකේතාත්මක පාපන්දු තරුව වන පේලේ සමගත් සංසන්දනය කෙරෙන්නේ ඔවුන් එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයින් ලෙසට පිළිගැනෙමින්.
“අපි හැම දේම දිනපු පහුගිය අවුරුදු කිහිපයේ විතරක් නෙමෙයි, ඊට ඉස්සරත් මම මගේ සියලු දේ ජාතික කණ්ඩායමට ලබා දුන් බවට මම දිවුරනවා” යැයි මෙසී සටහන් කළා. “පාපන්දුව හරහා ආජන්ටිනානු ජාතිකයෙකු වීම ගැන ඔබට ආඩම්බරයක් ගේන්න මම තරග බිමේදී හැමවෙලේම සටන් කරමින් මගේ උපරිමය ලබා දුන්නා.”
ආජන්ටිනාව වෙනුවෙන් තරග 207කට ක්‍රීඩා කළ මෙසී ඔහුගේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා දිවිය ගෝල් 125ක් වාර්තා කරමින් අවසන් කරන්නේ එරට වැඩිම ගෝල්ලාභියා වෙමින්. මෙයින් ගෝල 21ක් ඔහු ලබා ගෙන තිබෙන්නේ ලෝක කුසලාන තරගවලින්. ජාත්‍යන්තර තරග බිමේ මෙසී ට වඩා ගෝල් ලබා ගෙන තිබෙන්නේ එකම එක ක්‍රීඩකයෙක් පමණයි. ඒ, ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ. ගෝල 146ක් ලබා ගෙන සිටින ඔහු තවමත් ඔහුගේ ජාත්‍යන්තර සමුගැනීම ප්‍රකාශයට පත්කර නැහැ.
අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාවේ මෑතකදී අවසන් වූ 2026 ලෝක කුසලාන තරගාවලියේ මාසයක් කාලයක් තුළ මෙසී එදා මෙදා තුර වැඩිම ලෝක කුසලාන ගෝල්ලාභියාව සිටියත් ඔහුට තරගාවලිය අවසන් කිරීමට සිදුවුනේ ප්‍රංශයේ කිලියන් ම්බප්පේ ට එක් ගෝලයක් පිටුපසින් සිටිමින්.
ලෝක කුසලාන තරග 34කින් ගෝල් 21ක් ලබා ගෙන ම්බප්පේ ට පමණක් දෙවැනි වී සිටින මෙසී ‘කෝපා අමෙරිකා’ තරගවලදී ගෝල 14ක් ද, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලදී ගෝල් 36ක් ද, මිත්‍ර තරගවලදී ගෝල 54ක් ද වාර්තා කර තිබෙනවා.
පසුගිය ඔක්තෝබරයේදී මෙසී ඔහුගේ 60 වැනි ජාත්‍යන්තර ගෝල සහාය වාර්තා කරමින් හිටපු බාසිලෝනා හා පැරිස් සැන්-ජමෑන් කණ්ඩායම් සගයා වූ බ්‍රසීලයේ නේමා අභිභවා ගියේ ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ අංක එකේ ගෝල සපයන්නා බවට පත්වෙමින්. ඔහු මේ වන විට එම ප්‍රමාණය 68 දක්වා වැඩි කරගෙන තිබෙනවා.
ආජන්ටිනාවේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දස්කම්වලට අමතරව මෙසී 2008 වසරේ බෙයිජිං නුවරදී ඔලිම්පික් රන් පදක්කම ද හිමිකර ගත්තා. එම තරගාවලියේ පැවති තරග පහකදී තරුණ මෙසී ආජන්ටිනා අවුරුදු 23න් පහළ ඔලිම්පික් කණ්ඩායම වෙනුවෙන් ගෝල දෙකක් ලබා ගෙන ගෝල තුනකට සහාය දැක්වූවා.
සමුගැනීම තීරණය කළේ ලෝක කුසලානය අවසන් වී දින දෙකකට පසුව
ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමේ ලිපිය තමා ලියුවේ තමාට බලපෑමක් ඇති කිරීමට නොහැකි වූ මෙවර ලෝක කුසලාන අවසාන තරගයෙන් දින දෙකකට පසුව - ජූලි 21 වැනිදා බවත් එහෙත් තමා එය ප්‍රසිද්ධ කිරීම ප්‍රමාද කළේ මරණයෙන් කෙළවර වූ අයහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයකට තම පියා මුහුණ දෙමින් සිටි නිසා බවත් මෙසී දීර්ඝ සමාජ මාධ්‍ය පෝස්ටුවකින් විස්තර කර තිබෙනවා.
මෙසීගේ පියා අගෝස්තු 8 වැනිදා මිය ගියා.
2005 ලෝක අවුරුදු 20න් පහළ ශූරතාවලියේ අවසාන ජයග්‍රහණයේදී ආජන්ටිනාවේ ගෝල දෙක ම ලබා ගෙන මාස දෙකකට පසුව මෙසී ට ඔහුගේ ජ්‍යෙෂ්ඨ ආජන්ටිනා මංගල තරගය ලබා දෙන විට ඔහුගේ වයස වී තිබුණේ අවුරුදු 18ක්. ඔහුගේ ඒ පළමු ජාත්‍යන්තර පෙනී සිටීම පැවතුනේ මිනිත්තු දෙකක් පමණයි. බුඩාපෙස්ට් නුවර හංගේරියාව ට එරෙහිව පැවති එම තරගයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරමින් සිටි මෙසී හිතා මතා වැලමිටෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට පහර දුන් බවට විනිසුරු තීරණය කිරීමෙන් පසුව ඔහු පිටියෙන් නෙරපා දැමුණා.
ජාතික කණ්ඩායම සමග මෙසීගේ ගමනේ තවත් අසාර්ථක වීම් අන්තර්ගතව තිබුණා. ඔහු අවසානයේදී මීට සිවු වසරකට ඉහත ලෝක කුසලානය දිනා ගැනීමට පෙර හා පසුව 2021 හා 2024 වසරවලදී කෝපා අමෙරිකා ශූරතා ජයග්‍රහණ කළ ද, ඊට පෙර ප්‍රධාන අවසාන තරග තුනකදී පිට පිට ලැබූ පරාජයන් හේතුවෙන් ඔහු 2016 වසරේදී කෙටි කලකට ආජන්ටිනා කණ්ඩායමෙන් විශ්‍රාම ගියා.
“පහුගිය අවුරුදු විස්සේදී මට දැක්වූ ආදරයට ඔබට ස්තූතියි” යනුවෙන් මෙසී පවසනවා. “ක්‍රීඩාංගණය ඇතුළේ ඉඳන් ඔබ සියලු දෙනාගේ හඬ ඇසීම අහිමි වීමේ දුක මට ගොඩක් දැනේවි. දැන් මම ඔයාලගෙන් කෙනෙක් බවට පත්වෙලා පිට ඉඳන් චියර් කරමින් ඔබට සහාය දෙනවා.”
තමා තව කොපමණ කාලයක් ක්‍රීඩා කරවිද යන්න මෙසී එම ලිපියෙන් කියා නැහැ. මෑතක පැවති ලෝක කුසලාන තරගාවලිය මෙන්ම මොන්ට්‍රියල් පාපන්දු සමාජයීය කණ්ඩායමට එරෙහිව සතිඅන්තයේ වාර්තා වූ ගෝල් 7-1ක ජයග්‍රහණයේදී ඉන්ටර් මයාමි කණ්ඩායම වෙනුවෙන් සටහන් කළ ගෝල හතරක දක්ෂතාව මගින් ද මෙසී ලෝකයේ තවමත් සිටින දක්ෂතම ක්‍රීඩකයින්ගෙන් කෙනෙකු බවට ප්‍රදර්ශනය කර තිබෙනවා.
“මම නික්ම යන්නේ හිතේ නිදහසෙන් හා අපි වරක් සිහිනයෙන් පමණක් දුටු අවස්ථාවන් මගේ කණ්ඩායම් සගයින් සමග ඔබට ලබා දීමට හැකිවීමේ ආඩම්බරයත් සමගයි. ඔබත් සමග මේ අත්දැකීම ලබා ගත්තා කියා විශ්වාස කරන්න අමාරුයි. ඔබ සියලු දෙනාටම මම ආදරෙයි!” මෙසී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
දෙවැනි විශ්‍රාමය
ආජන්ටිනාව සමග මෙසීගේ මෑත කාලීන සුවිශේෂ සාර්ථකත්වය ඇති නොවීම ට ද ඉඩ තිබුණා.
2016 Copa America අවසාන තරගයේදී තමාටත් මඟහැරුණු පෙනල්ටිය ද ඇතුළුව පෙනල්ටිවලින් ආජන්ටිනාව චිලී කණ්ඩායමට පරාජය වීමෙන් පසුව මෙසී මීට දශකයකට ඉහතදී ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගියා.
මැරඩෝනා සහ රටේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ගෙන ගිය මහජන මෙහෙයුමක් මෙසීගේ සිත වෙනස් කළ අතර තමාට ලොකු තරග දිනීමට නොහැකි බවට තිබෙන මතය සිතෙන් බැහැර කරමින් යළි ආජන්ටිනා කණ්ඩායමට පැමිණි ඔහු බාසිලෝනා කණ්ඩායම වෙනුවෙනුත්, ඉන්පසු පැරිස් සැන්-ජමෑන් සමාජය වෙනුවෙනුත්, ඊටත් පසුව ඉන්ටර් මයාමි කණ්ඩායම වෙනුවෙනුත් දිගටම ශිල්ප දැක්වුවා.
අමෙරිකවේ ප්‍රධානම පාපන්දු ලීගයේ දෙවතාවක්ම ශූරතාව දිනූ සුපිරි තරුව බවට පත්වූ ඔහු එම තරගාවලියේ තීරණාත්මක අවස්ථාවලදී තවමත් ගෝල නිර්මාණය කරමින් සිටිනවා.
මීට අමතරව මෙසී වාර්තාගත අට වතාවක්ම වසරේ හොඳම ක්‍රීඩකයාට පිරිනැමෙන ‘බැලන් ඩෝ’ සම්මානය දිනාගෙන තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
වැඩිදුරටත් විස්තර :
CNN පුවත් වාර්තාව | Lionel Messi announces he is retiring from Argentina’s national team




