BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
ක්‍රීඩා

ආසියානු ක්‍රිකට් කුසලාන නාටකය නැවතත් රඟ දැක්වෙයි: 'කුසලාන හොරා' කියා ක්‍රීඩා ලෝලීන් කෑගසද්දී නක්වි පිටව යයි!

T

The Leader Desk

September 14, 2026 • 3:50 PM

ආසියානු ක්‍රිකට් කුසලාන නාටකය නැවතත් රඟ දැක්වෙයි: 'කුසලාන හොරා' කියා ක්‍රීඩා ලෝලීන් කෑගසද්දී නක්වි පිටව යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිරිමි කණ්ඩායමේ අඩිපාරේ යමින් කාන්තා පිලත් ජයග්‍රාහී කුසලානය ප්‍රතික්ෂේප කිරීම නිසා ඩුබායි ක්‍රීඩාංගණයේ තිළිණ ප්‍රදානය විනාඩි 90ක් ප්‍රමාද වෙයි.
  •   ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කුසලානය ආසියානු ක්‍රිකට් ප්‍රධානියාගේ අතින් ලබා නොගැනීමේ නාටකය වසරක් ඇතුළත දෙවැනි වතාවටත් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ රඟ දැක්වුණා.
  • ආසියානු කාන්තා ක්‍රිකට් කුසලාන 2026 තරගාවලියේ අවසාන තරගය ඊයේ රාත්‍රියේ නිමාවට පත්වුණේ මීට වසරකට පෙර ආසියානු පිරිමි කුසලාන තරගාවලිය අවසන් වූ ආකාරයෙන් ම යි.
  • නක්වි අතින් ඉන්දියාව කුසලානය ලබා නොගන්නා බවට අවසාන තරගය ආරම්භ වීමට පෙර සිටම ඔහුට දන්වා තිබියදීත් තමා ම කුසලානය පිරිනැමීමේ තීරණයේ නක්වි නොසැලී රැඳී සිටි බව වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


පැහැල්ගම් ප්‍රහාරය හා දේශපාලන ගැටලු මුල්කරගනිමින් BCCI තීරණයට සහයෝගය පළ කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ සම්මාන උළෙල වර්ජනය කරති.

 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කුසලානය ආසියානු ක්‍රිකට් ප්‍රධානියාගේ අතින් ලබා නොගැනීමේ නාටකය වසරක් ඇතුළත දෙවැනි වතාවටත් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ රඟ දැක්වුණා.

ආසියානු කාන්තා ක්‍රිකට් කුසලාන 2026 තරගාවලියේ අවසාන තරගය ඊයේ රාත්‍රියේ නිමාවට පත්වුණේ මීට වසරකට පෙර ආසියානු පිරිමි කුසලාන තරගාවලිය අවසන් වූ ආකාරයෙන් ම යි. ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කිරීමෙන් පසුව හාමන්ප්‍රීට් කවුර්ගේ කණ්ඩායම එදා සූරියකුමාර් යාදව්ගේ කණ්ඩායම තැබූ පියවර අනුගමනය කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ (ACC) සභාපති මෙන්ම පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ද වන මොසින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා.

කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවයේ මතභේදය හමුවේ අනු ශූරියන්ගේ පදක්කම් පමණක් ශ්‍රී ලංකාව ට පිරිනැමුනා.

නක්වි අතින් ඉන්දියාව කුසලානය ලබා නොගන්නා බවට අවසාන තරගය ආරම්භ වීමට පෙර සිටම ඔහුට දන්වා තිබියදීත් තමා ම කුසලානය පිරිනැමීමේ තීරණයේ නක්වි නොසැලී රැඳී සිටි බව වාර්තා වනවා.

උද්ගත වූ මේ තත්ත්වය හේතුවෙන් තරගයෙන් පසුව සිදුකෙරෙන පදක්කම් ප්‍රදානෝත්සවය මිනිත්තු 90ක පමණ කාලයක් ප්‍රමාද වුණා. අවසානයේදී, පාකිස්තාන දේශපාලනඥයාගේ අතින් කුසලානය ලබා ගැනීම ඉන්දියා කණ්ඩායම ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අනු-ශූර ත්‍යාග මුදලේ චෙක්පත සහ පදක්කම්  බාරගත්තා.

“ජයග්‍රාහී ඉන්දියා කණ්ඩායමට හිමි කුසලානය ලබාගත හැකිව තිබෙනවා” යනුවෙන් ACC ප්‍රකාශකයෙක් කියා සිටියා. ඉන්දියාව දිනා ගත් 2025 පිරිමි ආසියානු කුසලානය පවා ලබාගත හැකිව තිබෙන බව ඔහු පවසන්නේ “අපේ ආකල්පය වෙනස් වෙලා නැහැ” යැයි සඳහන් කරමින්.

පසුගිය වසරේ තිළිණ ප්‍රදානෝත්සවයෙන් කුසලානය ඉවත් කර ගැනීමෙන් පසුව නක්වි එම මතභේදය සම්බන්ධයෙන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවා. කුසලානය තමාගේ අතින් ඉන්දියා කණ්ඩායමට පිරිනමන උත්සවයක් පවත්වන්නේ නම්, එය තමා‌ගේ කාර්යාලයෙන් (ඩුබායි හි ආසියානු ක්‍රිකට් කවුන්සල කාර්යාලය) ලබා ගත හැකි බවට නක්වි ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබුණා.

පසුව, නක්වි ඔහුගේ තීරණය මඳක් ලිහිල් කරමින්, කුසලානය ලබා ගැනීම පිණිස ඉන්දියා නායක සූරියකුමාර් පෞද්ගලිකව තමාගේ කාර්යාලයට පැමිණ තමා හමුවන්නේ නම් ඔහුට එය ලබා දෙන බවට එකඟ වී තිබුණා. කෙසේ වෙතත්, නක්විගේ මේ නියම කිරීම BCCI දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබෙනවා.


නක්වි ඔහුගේ කලින් ප්‍රතිපත්තියෙන් අඟලක් හෝ වෙනස් වී නැතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.
                   
BCCI ප්‍රතිචාරය
පැහැල්ගම් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැකීමට සහයෝගය ප්‍රදර්ශනය කරමින් ඉන්දියා  කණ්ඩායම මොසින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ 2025 පිරිමි ආසියානු කුසලාන මතභේදය BCCI ලේකම් දේවජිට් සයිකියා මේ මොහොතේ යළි මතකයට ගේනවා.

පාකිස්තානය සමග සබඳතා අවසන් කරන ලෙසට ඉන්දියානුවන්ගෙන් පීඩනයක් එල්ල වෙමින් තිබෙන බවත් එහෙත් ඔවුන් සමග බහු-කණ්ඩායම් තරගාවලියන් හි ක්‍රීඩා කිරීමට ගිවිසුම් ප්‍රකාර බැඳීම් විසින් ඉන්දියා කණ්ඩායමට බලකර ඇති බවත් සයිකියා පවසනවා.

මේ කාරණයේ වැදගත්කම තේරුම් ගෙන සිටින හාමන්ප්‍රීට් කවුර් හා ඇගේ කණ්ඩායම BCCI ආකල්පය සමග සිට ගැනීමට සූදානම්ව සිටි බව ද ඔහු කියා සිටියා. 

“අපේ පිරිමි කණ්ඩායම මීට අවුරුද්දකට පෙර ආසියානු කුසලානය දිනා ගත්තා. 2025 අප්‍රේල් මාසයේ ඇතිවූ පැහැල්ගම් සිද්ධියෙන් පසුව අපේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ නිසා එම සිද්ධියෙන් පස්සේ, අපේ අසල්වැසි රට සමග කිසිම සම්බන්ධකමක් නොපැවැත්විය යුතු බවට හා ඔවුන් සමග ක්‍රිකට් ක්‍රීඩා නොකළ යුතු බවට අපේ රටවැසියන් අපට බලපෑම් කළා. නමුත් කණ්ඩායම් බෙහොමයක් සහභාගි වන තරගාවලියන් හිදී අපි සෑම රටකටම එරෙහිව ක්‍රීඩා කළ යුතු බව අපේ රජයේ ප්‍රතිපත්තිය වනවා” සයිකියා ඊයේ රාත්‍රියේ කාන්තා ආසියානු කුසලාන අවසාන තරගයෙන් පසුව කියා සිටියා.

“නමුත් එයින් කියන්නේ නැහැ අපි අප ඉදිරියේ දිගහරින හැම කොන්දේසියක්ම පිළිපදිනවා කියලා. අපේ හමුදා ගැටුම තවමත් සිදුවෙමින් තිබෙනවා. අපේ රටේ කටයුතුවලට එරෙහිව ක්‍රියා කරන එක් ප්‍රධාන නායකයෙකු (පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමති) වන මොසින් නක්විගෙන් අපට කුසලානය ලබා ගන්න බැහැ. පිරිමි කණ්ඩායම පසුගිය වසරේදී ගත් තීරණය සමග කාන්තා කණ්ඩායම සහයෝගිතාව පළ කර තිබෙනවා. කුසලානය ලබා නොගැනීමෙන් අපේ කණ්ඩායමේ ක්‍රීඩාව අඩු වෙන්නේ නැහැ. අපි අපේ සියලු තරග ජයගෙන තිබෙන්නේ එක් පැත්තක පමණක් වූ ක්‍රීඩාවක අකාරයෙනුයි.”

“කුසලාන හොරා”
ඉන්දියාව වාර්තාගත අට වැනි ආසියානු කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගත්ත ද, ඔවුන්ගේ ක්‍රීඩිකාවන් තරගයෙන් පසුව පැවැති පදක්කම් ප්‍රදානෝත්සවය සඳහා පිටියට පැමිණියේ නැහැ. නමුත් ක්‍රීඩාංගණයේ සිටි ඉන්දියා ක්‍රීඩා ලෝලීන් “trophy chor (කුසලාන හොරා)” යනුවෙන් කෑගසමින් නක්වි ට අවමන් කළේ ඔහු කුසලාන සොරකම් කරන්නෙකු ලෙස දක්වමින්.

ක්‍රීඩා මණ්ඩප ශාලාවේදී සයිකියා විසින් නන්දිනි ෂර්මා ට හොඳම පන්දු රකින්නියගේ පදක්කම පිළිගැන්වීමෙන් පසුව ඉන්දියා ක්‍රීඩිකාවන් පිටියට ආවේ නැහැ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම නක්වි අතින් අනු-ශූර චෙක්පත ලබා ගත් අතර ඊට පෙර කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් හා සහාය සේවක මණ්ඩලයේ සාමාජිකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධානී එරාන් වික්‍රමරත්න අතින් පදක්කම් ලබා ගත්තා.  

චමරි අතපත්තු ට කුසලානය පිරිනැමූ වහාම නක්වි ක්‍රීඩාංගණයෙන් පිටව ගියද පසුගිය වතාවේ මෙන් ඔහු කුසලානය රැගෙන ගියේ නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...