BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා පසු පෙළෙන් සටන්කාමී පිතිකරණයක්: ශ්‍රී ලංකාව කඩුලු 8 ට ලකුණු 265 යි

T

The Leader Desk

August 25, 2026 • 3:34 PM

ශ්‍රී ලංකා පසු පෙළෙන් සටන්කාමී පිතිකරණයක්: ශ්‍රී ලංකාව කඩුලු 8 ට ලකුණු 265 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සොනාල් දිනූෂ (85*) සහ පසිඳු සූර්යබණ්ඩාර (80) අර්ධ ශතක රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරයි;
  • ඉන්දීය දැවැන්ත ලකුණු පුවරුව හමුවේ මැද සහ පසු පෙළ පිතිකරුවෝ සටනක; තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 238ක් පිටුපසින්.
  • ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කරගෙන සිටියා.
  • මේ අනුව, ඉන්දියාව වාර්තා කළ 503/9 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව තරගයේ ලකුණු 238ක් පිටුපසින් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ෆලෝ-ඔන් බේරා ගැනීමට තවත් ලකුණු 39ක් අවශ්‍යයි.

ඉන්දීය දැවැන්ත ලකුණු පුවරුව හමුවේ මැද සහ පසු පෙළ පිතිකරුවෝ සටනක; තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 238ක් පිටුපසින්.

ඉන්දියානු පන්දු ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගෙන් ප්‍රදර්ශනය වූ  සටන්කාමී ක්‍රීඩාව මධ්‍යයේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කරගෙන සිටියා. මේ අනුව, ඉන්දියාව වාර්තා කළ 503/9 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව තරගයේ ලකුණු 238ක් පිටුපසින් සිටිනවා.

පිට පිට දෙවැනි වතාවට පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමට නම් ශ්‍රී ලංකාව ට තවත් ලකුණු 39ක් අවශ්‍යව තිබෙනවා.

මුළු ලකුණු 173දී හත් වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව සොනාල් දිනූෂ ප්‍රමුඛ කේෂර නුවන්ත හා ලහිරු කුමාර යන පසු පෙළ පිතිකරුවෝ ටෙස්ට් ක්‍රීඩාවට උචිත සංයමය හා ඉවසීම මනාව ප්‍රදර්ශනය කරමින් අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිම අවසන් නොවීමට වග බලා ගත්තා.

අති විශිෂ්ට පිතිකරණයක නියැලුනු අංක 7 පිතිකරු සොනාල් දිනූෂ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 137කින් නොදැවී ලකුණු 85ක් රැස් කළා. මෙහි විශේෂත්වය වන්නේ මෙය ඔහු පිට පිට ලකුණු 50 ට වැඩියෙන් ලබා ගත් තෙවැනි අවස්ථාව වීමයි. ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී සොනාල් ලකුණු 100ක් හා 84ක් ලබා ගත් අතර ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා දිවියේ මෙතරම් ඉක්මනින් මෙසේ දස්කම් දැක්වීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

දිනූෂ හා අංක 10 පිතිකරු ලහිරු කුමාර මිනිත්තු 65ක් තිස්සේ පන්දු 92කට මුහුණ දෙමින් නව වැනි කඩුල්ල ආරක්ෂා කර ගත්තේ ඒ වෙනුවෙන් ලකුණු 35ක් එක් කරමින්. මෙහිදී කුමාර (8) පන්දු 50කට මුහුණ දුන් අතර මෙය ඔහු ඔහුගේ ක්‍රීඩා දිවියේ ටෙස්ට් ඉනිමක මෙතෙක් මුහුණ දී තිබෙන වැඩිම පන්දු ප්‍රමාණය වීම විශේෂත්වයක්.

ඊට පෙර පසිඳු සූර්යබණ්ඩාර ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුණා.  

පසිඳු - කමිඳු සබඳතාව බිඳ වැටෙයි

ශ්‍රී ලංකාව ට තෙවැනි කඩුල්ල අහිමි වෙමින් කමිල් මිෂාර අද තරගයේ හත් වැනි ඕවරයේදී දැවී ගිය ද, පසිඳු සූර්යබණ්ඩාර හා කමිඳු මෙන්ඩිස් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව සියය ඉක්මවා ගෙන ගියා.

ලකුණු 19ක් රැස් කරගෙන සිටි මිෂාර මුළු ලකුණු 35දී ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ පන්දුවට කඩුල්ල පිටුපස ධුරව් ජුරල් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගියා. ජුරල් අද කඩුලු රැක්කේ පෙර දින ක්‍රීඩාවේ අතේ ආබාධයට ලක්වූ රිෂාබ් පාන්ට් වෙනුවට. පන්දු 25කට මුහුණ දුන් මිෂාර දැවී යාමට පෙර හතරේ පහර තුනක් එල්ල කර තිබුණා.

මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ 30 වැනි ඕවරයේදී ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ පන්දුවට ‘මිඩ් විකට්’ හි පන්දු රකිමින් සිටි රවින්ද්‍ර ජඩේජා අතට පහසු උඩ පන්දුවක් දීමත් සමග ඔහු සහ සූර්යබණ්ඩාර ගොඩනගමින් සිටි සබඳතාව අවසන් වුණා. මේ දෙදෙන සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 126කින් ලකුණු 87ක් එක් කළා. පන්දු 58කට මුහුණ දුන් මෙන්ඩිස් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග ලකුණු 32ක් රැස් කළා. එම කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 122දී.  

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 130ක් වාර්තා කර තිබුණා.

දිවා ආහාරයෙන් පසුව යැවුණු තෙවැනි ඕවරයේදී නායක ධනංජය ද සිල්වා (8), මානව් සුතර්ගේ පන්දුවට දුන් උඩ පන්දුව ‘ස්ලිප්’ ක්‍රීඩක කේ.එල්. රාහුල් රැක ගැනීමෙන් දැවී ගියා. ඒ අනුව ශ්‍රී ලංකා 5 වැනි කඩුල්ල මුළු ලකුණු 137දී බිඳ වැටුණා.

ධනංජය දැවී යාමෙන් පසුව සොනාල් දිනූෂ කඩුල්ලට පැමිණ සූර්යබණ්ඩාර සමග එක්වෙමින් මුළු ලකුණු ප්‍රමාණය 171 දක්වා ගෙන එමින් තිබියදී සූර්යබණ්ඩාර අවාසනාවන්ත අයුරින් දැවී ගියා. 45 වැනි ඕවරයේ ජඩේජාගේ අවසාන පන්දුව සූර්යබණ්ඩාරගේ පිත්තේ අග වැදී ඉන්පසුව පසු පාදයේ කලවය සිපගෙන කඩුල්ල සමග ගැටුණා. සිය මංගල ටෙස්ට් ක්‍රිකට් අර්ධ ශතකය වාර්තා කර තිබූ පසිඳු සූර්යබණ්ඩාර පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමග ලකුණු 80ක් රැස් කළා.

ඊළඟ තෙවැනි පන්දුවෙන් නිරෝෂන් දික්වැල්ල බින්දුවට දැවී යන විට ලකුණු පුවරුවට එක්ව තිබුණේ තවත් ලකුණු දෙකක් පමණයි. මොහමඩ් සිරාජ්ගේ පන්දුවට දික්වැල්ලගේ පිත්තෙන් ගිලිහුනු පන්දුව කඩුලු රකින ජුරල් අල්ලා ගත්තා.

සවස තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 216ක් රැස් කරගෙන සිටියා.
                

පසු පෙළ පිතිකරුවන්ගේ දස්කම්
ඉන්දියානු පන්දු යවන්නන්ට පන්දු 137ක් තිස්සේ ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටි කේෂර නුවන්ත හා සොනාල් දිනූෂ අට වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක අගනා සබඳතාවක් ගොඩනගමින් සිටියදී තේ පානයෙන් පසුව සිවු වැනි ඕවරයේ නුවන්ත දැවී ගියා. පන්දු 74කට මුහුණ දෙමින් හත‌රේ පහර 2ක් සහ හයේ පහරක් සමග ලකුණු 18ක් රැස් කළ නුවන්ත 69 වැනි ඔ්වරයේදී සුතර්ගේ පන්දුවට ‘මිඩ් ඔෆ්’ හි සාරන්ෂ් ජයින් අතට උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු සංඛ්‍යාව 230ක්ව තිබියදී දැවී ගියා. අනතුරුව කඩුල්ලට පිවිසියේ ලහිරු කුමාර.

ඕවර  80යි පන්දු දෙකකින් පසුව මුළු ලකුණු සංඛ්‍යාව 262/8ක් ලෙස සටහන්ව තිබියදී ඉන්දියාව දෙවැනි නව පන්දුව ලබා ගත්තා. ඒ වන විට පන්දු යවමින් සිටියේ ජයින්. නව පන්දුව ලබා ගෙන ඔහු යැවූ තෙවැනි පන්දුවට ලහිරු කුමාර කඩුල්ල මුවා කළ බවට විනිසුරු තීරණය කළ ද කුමාර එය තෙවැනි විනිසුරුගේ නිරීක්ෂණයට යොමු කරන ලෙසට ඉල්ලා සිටියා. තෙවැනි විනිසුරු එය දැවී යාමක් නොවන බවට තීරණය කළා.

වැසි පතිත වෙමින් අද තෙවැනි දින තරගය පස්වරු 5.02 ට නතර වුණා. ඒ වන විට ශ්‍රී ලංකාව ඕවර 83.4කදී කඩුලු 8ක් දැවී ලකුණු 265ක් සටහන් කර තිබුණා.
ඉන්දියාව වෙනුවෙන් ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 47 ට කඩුලු 3ක් ද, මානව් සුතර් ලකුණු 83 ට කඩුලු 3ක් ද ලබා ගත්තා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com     

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...